දරුණු අගාධයෙන් රට ගොඩ ගැනීමට කුමාර වෙල්ගමගෙන් යෝජනා 7 ක්

කුමාර වෙල්ගමගෙන් යෝජනා 7 ක්

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka

වර්තමානයේ රටත්, ජනතාවත් මුහුණ පා සිටින දරුණු අගාධයෙන් රට ගොඩ ගැනීමට නම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැද පාර්ලිමේන්තුව මැදිහත්ව කළ යුතු යැයි අදහස් කරන යෝජනාවලියක් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කතානායකවරයා වෙත අද (අප්‍රේල් 28) ඉදිරිපත් කළේය. ඊට යෝජනා 07ක් ඇතුළත්ය.

කුමාර වෙල්ගමගේ යෝජනා

  • මීළඟ පාර්ලිමේන්තු වාරයේදීම ජනාධිපති වැය ශීර්ෂ සියල්ල අවසන් රුපියල දක්වා කපා හැරීම (එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස් වීමට සිදු වෙයි)
  • පුරප්පාඩු ජනාධිපති ධුරයට මාස 3ක කාලයක් සඳහා වැඩ බැලීමට ජනාධිපති ලෙස අගවිනිසුරුවරයා පත්කර ගැනීම.
  • එම මාස තුන ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු නාමික ජනාධිපති පදවියට පත් කර ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම.
  • ඒ අතරතුර දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉවත් කර හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වැනි රටට ආදරය කරන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීම.
  • එම පිරිස සහ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින දූෂිත නොවන විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින් ද ඇතුළත්ව, 20 දෙනෙකුට නොවැඩි එක් වසරක කාලයක් නොඉක්මන අන්තර් පාලන කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීම.
  • අන්තර් පාලන ආණ්ඩුව පිහිටුවා දෙසතියක් ඇතුළත එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබාදීමට පියවර ගැනීම සහ කඩිනමින් අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, තරුණ කටයුතු සහ ප්‍රවාහනය ඇතුළු කේෂත්‍ර සඳහා ජාතික ප්‍රතිපත්තියක් සම්මත කර ගැනීම
  • අන්තර් පාලන ආණ්ඩුව වසරක් ගත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම.

මන්ත්‍රී කුමාර වෙල්ගම කතානායකවරයා වෙත යැවූ ලිපියේ මෙසෙ ද දැක්වෙයි.

1970 සිට 1977 දක්වා බුද්ධිමත් දේශප්‍රේමී රටට ආදරය කරන පිරිසක් අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කළා. 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමයත් සමඟ පෙරට ආ මනාප ක්‍රමය නිසා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා වරම් ලබා ගත්තේ බුද්ධිමත් රටට ආදරය කරන පිරිසක් නොව, බඩගෝස්තරවාදී ව්‍යාපාරිකයින් පිරිසකි. මෙය භයානක තත්ත්වයක්. රට පිරිහීමට හේතුවක්. රටේ අනාගතය වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් දැන් අවශ්‍ය වන්නේ විධිමත්, ක්‍රමවත් ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන සැලසුමක් පෙරට ගෙන ඒමයි.

දේශයේ මුළු මහත් ජනතාවට නීත්‍යානුකූලව හිමි සියලු දේ අහිමි ව යමින් තිබෙන පසුබිමක කිරිපිටි ,බෙහෙත් , අත්‍යවශ්‍ය ආහාර, විදුලිය, ගෑස්, භූමිතෙල්, පෙට්‍රල් හා ඩීසල්, පොහොර, කඩදාසි මෙන්ම ආර්ථිකය පවත්වා ගෙන යාමට ඩොලර් නැත. එහෙත් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පාලන තන්ත්‍රයේ සිටියද ජනතාවට මෙන්ම රටටද අනාගතයක් නැත.

කොකුන් ගේ වාරය අවසන් වෙමින් තිත්තයන් ගේ වාරය එළඹෙමින් තිබේ

"රට පුරා ජනතාව අරගල කරති. ජනපතිට ගෙදර යන්න කියති. අගමැතිට බැන වදිති. මැති ඇමති නිවාස වටලති. ජනතාව විසින් ම පත් කළ ජනතා නියෝජිතයින් බහුතරයක් මේවන විටත් ජනතාව විසින්ම නිවාස අඩස්සියට පත් කර ඇත. කොකුන් ගේ වාරය අවසන් වෙමින් තිත්තයන් ගේ වාරය එළඹෙමින් තිබෙන බව පෙනේ" යනුවෙන් ඔහු එම ලිපුයෙන් පැවසීය.

"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරද්දිම රටට මේ විපත වන බව මම අනතුරු ඇඟෙව්වෙමි. ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ පැවසුවෙමි. පරිපාලනය පිළිබඳව හෝ මහජන සම්බන්ධතාවය පිළිබඳව හෝ දේශපාලනය පිළිබඳ හෝ අබමල් රේණුවක තරම්වත් දැනුමක් නැති, තම අයියාගේ පිහිටෙන් පාරවල් දෙපස මල් හිටවන්න ට පමණක් දන්නා අයකු රටේ නායකයා ලෙස පත් කර නොගන්නා මෙන් මම ජනතාවගෙන්ද ඉල්ලුවෙමි."

"මහින්ද රාජපක්ෂ මැතිතුමා මාගේ මෙන්ම රටේ ජනතාවගේ ද ගෞරවයට භාජනය වූයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම හේතුවෙනි. එයම හේතුවක් කර ගනිමින් දිගින් දිගටම බලයේ සිටීම සඳහා ජනතාව මුළා කිරීම වරදකි. එම වරදේ ප්‍රතිවිපාක ජනතාව භුක්ති විඳිමින් සිටිති."

"ගරු කථානායකතුමනි රටේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව පිළිබඳව මේ වන විට ජනතා විශ්වාසය නැති වෙමින් තිබේ. රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව ජීවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සිදු කර ඇති කාර්යභාරය කුමක්ද? එය ජනතාවද අසන ප්‍රධාන ගැටලුවකි. අද අපි රජයට විශ්වාසභංග ගෙන එමින් සිටිමු."

"අගාධයට ඇදගෙන ගිය කැබිනට් ඇමතිවරුන් මන්ත්‍රීවරුන් අද ආණ්ඩු පක්ෂයේම සිටිමින් ස්වාධීන වීරයන් වන්නට සූදානම් වෙති. රුපියල් 225කට වත් හාල් කිලෝවක් ගන්න බැරි රටක පාර්ලිමේන්තුවේ 225 ම එපා යැයි ජනතාව අරගල කරද්දී 225 න් මෙපමණ ප්‍රමාණයක් අත්සන් අපට තිබේ යැයි ඔහු ජනතාවට කියති. අහිංසක ජනතාව මුලා කරමින් තමන්ගේ බඩගෝස්තරය සවිකරගෙන වින්දනයක් ලබන්නට අන්තර් වාර ආණ්ඩුවක් ගැන ජනතාවට අන්දන - වින්දන ප්‍රසංග පෙන්වති."

විශ්වාසභංගයට හෝ අන්තර්වාර ආණ්ඩුවකට සහයක් නැහැ

"ගරු කතානායකතුමනි මේ විශ්වාසභංග, අන්තර්වාර ආණ්ඩුව හෝ පිළිබඳව ගෙනෙන යෝජනා කිසිවකට මම අත්සන් නොකරමි. ඒ කිසිවකට පක්ෂව හෝ විපක්ෂව මගේ ඡන්දය පාවිච්චි නොකරමි. ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරේ දක්වා රජයේ කිසිදු කටයුත්තකට මම සහාය නොදෙමි."

"ගරු කතානායකතුමනි අවසන් වශයෙන් රටක් ජනතාවක් ඇද දමා ඇති මේ දරුණු අගාධයෙන් ගොඩ ගැනීමට නම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පාර්ලිමේන්තුව මැදිහත්ව කළ යුතු යැයි මා අදහස් කරන යෝජනා මෙලෙස ඉදිරිපත් කරන" බව කුමාර වෙල්ගම කතානායකවරයාට දන්වා ඇත. ඔහු ලිපිය අවසානයේ දක්වා ඇත්තේ "Gota Go Home" පොදු ජන අරගලයට ජය වේවා. යනුවෙනි.