ජනපති සර්වපාක්ෂික ආණ්ඩුවකට සැරසෙයි. අගමැති යන්න බැහැ කියයි.

"ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියලා මට විශ්වාසයි." යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේය.
අද (අප්‍රේල් 27) අරලියගහ මැදුරේ දී පළාත් පාලන නියෝජිතයන් සහ දිස්ත්‍රික් නායකයන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
''අපි හැමෝම මේ තැන්වලට පත්වෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්. ඒ ගෞරවය ජනතාවට අදත් තිබෙනවා. ජනතා පරමාධිපත්‍ය බද්ද වෙලාතියෙන්නේ රටේ ව්‍යවස්ථාවට. ජනතාව අපව පත්කළේ රට අර්බුදයක තියලා ඉවත්වෙලා යන්න නෙමෙයි.'' යනුවෙන් ඔහු එහිදී වැඩිදුරත් සඳහන් කළේය.
මේ අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩල ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව ගැන තීරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
ලබන 29 වෙනිදා ආණ්ඩුවේ සහ ස්වාධීන වූ පක්ෂවල නායකයින්ට ජනාධිපතිවරයා විසින් ඒ සඳහා ආරාධනා කර ඇත.
රට මුහුණ දී තිබෙන අර්බුදයට පිළියමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂවල නායකයින් වෙත ලිපියක් යොමු කරමිනි.
එම ලිපිය මගින් ලබන 29 වැනිදා පෙරවරු 10 .30 ට ජනාධිපති මන්දිරයේදී සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.
වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාල සීමාව, වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ඇතුළු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ලබන 29 වැනිදා සාකච්ඡාවේදි , සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා පක්ෂ නාකයින් වෙත වෙත යැවු ලිපියේ සඳහන් ය.
මේ අතර රට අරාජික වීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවත් රටේ දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා තීරණ සමග කටයුතු කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
අගමැතිවරයා මේ බව කියා සිටියේ, පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සමග අප්‍රේල් 26 දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ දී ය.
මහානායක හිමිවරුන් නිකුත් කළ ලිපිය පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුවත් කරනු ලැබූහ.
අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය සිය අදහස් පළකළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ ය.
අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව මහා නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන ආගමික නායකයින්ගේ සහ සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව ලබාගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී මහා සංඝරත්නය හමුවේ පවසා සිටියේ ය.
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා දේශපාලන ස්ථාවර භාවය වැදගත්වන බවත්, ඒ හේතුවෙන් කිසිම මොහොතක රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කළේ ය.
පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ, පූජ්‍ය රජවත්තේ වප්ප ස්වාමීන්වහන්සේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.
"නැහැ මම අස්වෙන්නේ නැහැ"
ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හා පළාත් සභා මන්ත්‍රී සංසදය අතර 26 දා අරලියගහ මන්දිරයේ දී පැවති හමුවක දී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමා ඉල්ලා අස්නොවන බව යි.
"නැහැ මම අස්වෙන්නේ නැහැ, බය වෙන්න එපා," අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැතිබවට පළාත් සභා මන්ත්‍රී සංසදය මෙහිදී ඒකමතිකව යෝජනාවක් සම්මත කළේ ය.
අග්‍රාමාත්‍යවරයා තමා ඉල්ලා අස්වන්නේ නැතැ යි ප්‍රකාශ කළේ මීට ප්‍රතිචාර දක්වමිනි.
ඉන්ධන, ගෑස්, විදුලිය හා, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධා මෙන්ම, ඒ සඳහා පවතින පෝලිම් ක්‍රමය ද වහා නතර කළ යුතුයැ යි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කෙටි කාලයක් තුළ පෝලිම් නතර කිරීමේ හැකියාව ඇති බවට විශ්වාසය පලකළ අග්‍රාමාත්‍යවරයා, එම ප්‍රශ්න නිරාකරණය කළ වහාම භාණ්ඩ මිල පාලනය කරන සාකච්ඡාව ආරම්භ කළ යුතුයැ යි කියා සිටියේ ය.
තව කෙනෙකු අතින් මේ වගකීම් ඉටුවන තුරු බලා සිටීමෙන් සිදුවිය හැකි හානියේ දිග පළල "හොඳටම තේරෙන" බව පැවසූ ඔහු, රට මෙම අර්බුදයෙන් ගොඩගැනීමට තබන හැම පියවරක් පිටුපසම තමන් සිටින බව තරයේ මතක තබාගන්නැ යි කියා සිටියේ ය.
"රට හමුවේ ඉතා තීරණාත්මක කාලයක් ගෙවෙමින් තියෙද්දී තමයි අද ඔබ හමුවන්නේ. ඔබ දන්නවා රටත්, ජනතාවත් මොනතරම් දුෂ්කරතාවලට මුහුණ දෙනවා ද කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි සියලුදෙනා ඒක දන්නවා. රජය වශයෙන් අපි දිවා රෑ වෙහෙසෙන්නෙ මේ රටේ තියෙන මේ අභියෝගය ජයගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ," ඔහු පැවසුවේ ය.
"පසුගිය ආණ්ඩුව අපිට භාරදුන්නෙ ආර්ථිකය වගේම ජාතික ආරක්ෂාවත් බිඳවැටුණු රටක් බව ඔබලාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබ අපි එදා ජනතාව ළඟට ගිහිල්ලා කිව්වේ ආණ්ඩු බලය අපට දෙන්න අපි මේ කටයුත්ත නිවැරදි කරන්නම් කියලා. හැබැයි ආණ්ඩුව අරන් අපිට ඉස්සරහට අඩිය තියන්න වුණේ කොවිඩ් වසංගතයත් එක්ක කියන එක අමුතුවෙන් මම ඔබට කියන්න ඕනේ නැහැ. මේක මුළු ලෝකෙම බලාපොරොත්තු නොවුණ දෙයක්. ඇතැමෙක් ඒ වගේ අවස්ථාවල මිනිස්සුන්ගෙ ජීවිතවලට වඩා හිතන්නෙ බලය රැකගන්නෙ කොහොමද කියලා. අපි හිතුවේ මිනිස්සුන්ගෙ ජීවිත රැකගන්නෙ කොහොම ද කියලා. ඒකයි අපේ වෙනස. රජයක් විධියට ඒ කාර්යය ඉටු කරන්න අපි ඊට ප්‍රමුඛත්වය දුන්නා. තමුන්නාන්සේල ඒක දන්නවා. වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සාමාජිකයන් ඊට නායකත්වය ගත්තා."
එදා කොවිඩ් මරණ ගණන් කළ සමාජයක් ඉතා ඉක්මනින් වෙනස් කිරීමට තමාට හැකිවූ බව පැවසූ අගමැතිවරයා, ඒ පිරිස අද තමාට එරෙහිව විරෝධතාවල නිරත වෙනවා වෙන්නත් හැකි බව ද ප්‍රකාශ කළේ ය.
රට තුළ ආර්ථික අර්බුදයක් තිබෙන බව නොරහසක් බව ද මෙහිදී අගමැතිවරයා කියා සිටියේ ය.
දිගු පෝලිම් ක්‍රමය වහාම නතර කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල දැනටමත් ක්‍රියාත්මක කර ඇතැ යි ඔහු සඳහන් කළේ ය.
"කිසිම හිඟයකින් තොරව ඉන්ධන දෙන්න පුළුවන් කියන විශ්වාසය අපි ජනතාවට දෙන්න ඕන. මොකද බූලිවලට ගහල, ෆුල් ටෑන්ක් කරගෙන, බෝතල්වලට අරගෙන යන්න පටන්ගත්ත පසුගිය කාලේ. මේවායින් තමයි අපිට ප්‍රශ්න ඇතිවුණේ. විදුලිය කප්පාදුව ගත්තත්, මිනිත්තුවෙන් මිනිත්තුව හරි විදුලි කප්පාදුව අඩු කරන්න අපට පසුගිය කාලේ හැකිවුණා. ගෑස් ප්‍රශ්නයත් අපිට සති කිහිපයක් තුළ විසඳන්න පුළුවන්. ඒ ප්‍රශ්න ටිකට පිළිතුරු සොයාගෙන ඇවිත් අපි ඊළඟට භාණ්ඩ මිල පාලනය කරන, එහෙම නැතිනම් අඩු කරන සාකච්ඡාව ආරම්භ කරන්න ඕනේ. එයත් කරන්න පුළුවන්. අපි එකතු වුණොත් මේ හැමදේම විසඳන්න අපිට පුළුවන් වෙයි," අග්‍රාමාත්‍යවරයා පැවසීය.
"අපට චෝදනා කරන එක අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. එක එක කාලෙට එක එක චෝදනා. සමහරු කියන්න පටන්ගත්තා මේ දවස්වල අමෙරිකාවේ, එංගලන්තයේ, අප්‍රිකාවේ ඔය හැම තැනම ඉඩම් අක්කර ගණන් තියෙනව කියල. වතු යායවල් තියෙනවා කියල, ගෙවල් හදල තියෙනවා කියල. හැබැයි ඒ කට්ටිය ආවට පස්සේ බලයට පසුගිය අවුරුදු පහම ඒ කට්ටිය හිටියනේ. අපි කිව්වා මේව බලන්න. නඩු දාන්න. නඩු දාල ඒවා ගන්න තියෙනව නම්. හැබැයි ඉතින් ඒවා කරන්නේ නැතිව ඉඳල අපිට බැන බැන ඉන්නවා. ඉතින් එයාලගේ බලය තියෙන කාලේ ඔප්පු කරන්න බැරිවෙච්ච චෝදනා අද අපිට හෝද හෝද මඩ ගහමින් ඒ චෝදනා නැවත නැවත ඉදිරිපත් කරනවා."
තමා යුද්ධය අවසන් කළ නමුත්, යුද්ධය අවසන් කළායැ යි යන්න මත හිඳ දේශපාලනය නොකළ බව පැවසූ අගමැති මහින්ද රාජපක්ෂ, යුද්ධය අවස්ථාවේ තමාගෙන් ගත නොහැකි වූ "වාඩුව අද ගන්නම් කියලා" පෙළ ගැසුණු පිරිසක් ද ගෝල්ෆේස් එකට පැමිණ සිටිනබව මතක තබාගන්නැ යි ප්‍රකාශ කළේ ය.
අරගලකරුවන්ට යළි ආරාධනයක්
අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ "ප්‍රශ්නයක් විසඳගන්න ඕන සාකච්ඡා මාර්ගයෙන්" බව යි.
සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට කළ විවෘත ආරාධනාව අදටත් වලංගු බව ඔහු ප්‍රකාශ කළේ ය.
"ඒ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේ අපි එක්ක ආණ්ඩුවක් හදන්න, අමාත්‍ය වගකීම් දරන්න කියලා විරුද්ධ පක්ෂයටත් ඒ මන්ත්‍රීවරුන්ටත් අපි ආරාධනා කළා. ඔවුන්ට අවශ්‍ය රට හදන එක නම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා කිව්වා. ඒ අවස්ථාව මඟහැරලා අද මාධ්‍ය ඉදිරියට ඇවිත් අපි රටට ආදරෙයි කියන අය ද ඇත්තටම රටට ආදරේද කියලා අපිට අහන්න වෙලා තියෙනවා," ඔහු පවසයි.
තමාට විරෝධතාකරුවන් සමග ගැටුමක් නැතැ යි ප්‍රකාශ කළ ඔහු, විරුද්ධ මත ඉවසීමේ පුරුද්ද පහුගිය වසර ගණනාවක් තිස්සේ දේශපාලනයෙන් ලැබුණු අත්දැකීමක් බව ද සඳහන් කළේ ය.
නමුත් රජයට එරෙහිව කරන විරෝධතා බව කියමින් දෛනික ජීවිතයේ වැඩකටයුතුවල යෙදෙන මිනිස්සුන්ට විවිධ බාධා ඇති කරන, ඔවුන්ගේ සාමකාමී දිවිපෙවත ආඩාල කරන පිරිසක් සිටින වග ඔහු පවසයි.
"රටේ මේ වෙලාවේ උද්ගතවෙලා තියෙන තත්ත්වය අපි එකින් එක විසඳමිනුයි ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධාන වගේම මිත්‍ර රටවල් අපිට මේ වෙලාවේ උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. පහුගිය දවස්වල චීනයේ අගමැතිතුමාට කතා කළා. තව වෙන රටවල අගමැතිවරුන්ට කතා කළා. ඔවුන්ගේ සහයෝගය අපිට දෙනව කියල පොරොන්දු වෙලා තියෙනවා.
"මේ ප්‍රශ්නය කෙටි කාලයක් තුළ විසඳන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියල තියෙනවා විශ්වාසයක්. ඒ නිසා ඔබ අප කෙරෙහි විශ්වාසය තියල රට තුළ අපිත් එක්ක ජනතාව තියා ගැනීම සඳහා අවශ්‍ය කාර්යභාරය ඉටුකරන්න කියන ඉල්ලීම මම ඔබගෙන් කරනවා. තමුන්නාන්සේලා එක ඉල්ලීමක් කළා මට අස්වෙන්න එපා කියල. නැහැ මම අස්වෙන්නේ නැහැ. බය වෙන්න එපා. අස් කරන්න පුළුවන්. අස් වෙන්න නැහැ. කිසිවිටක කාටවත් බයේ දාල දුවන්නේ නැහැ," අග්‍රාමාත්‍යවරයා පැවසීය.









