අප්‍රේ‍ල් 28 දීප ව්‍යාප්ත මහා වැඩවර්ජනය කුමක් සඳහාද?

අප්‍රේ‍ල් 28 දීප ව්‍යාප්ත මහා වැඩවර්ජනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අප්‍රේ‍ල් 28 දීප ව්‍යාප්ත මහා වැඩවර්ජනය

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රවල වෘත්තිය සමිති අද (අප්‍රේල් 28) දිනයේදී දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර ඇත.

වරාය, දුම්රිය, විදුලි, තැපැල්, සෞඛ්‍ය, ගුරු, වතු සේවක ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති වැඩ වර්ජනයට එක්ව සිටිති.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධමිමික ජයසුන්දර ප්‍රකාශ කළේ, සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් අද දින දුම්රිය ධාවනය අඩාලවී ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහු ජනතාවට දැනුම් දෙන්නේ විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කරන ලෙසයි.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කළේ, ඉන්ධන මිල බරපතළ ලෙස ඉහළ යාම, ආහාර, ඖෂධ, කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් සිදුකර වැඩ කරන ජනතාවට සහන දෙන ලෙස බලකරමින් මෙම විරෝධතා දිනය ක්‍රියාත්මක කෙරේ.

අප්‍රේ‍ල් 28 දීප ව්‍යාප්ත මහා වැඩවර්ජනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මැයි 6 වැනි දින ද කඩ සාප්පුද වසා දමමින් දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමටත් ජනඅරගලය දිනවන වෘත්තීය සමිති සමුළුවේදී සියළු වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කළ බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේය.

අප්‍රේල් 28 මොකද වෙන්නේ....?

දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් කේෂත්‍ර රැසක සේවාවන්ට මේවන විට බාධා මතුව තිබේ.

වැඩ වර්ජනය ක්‍රියාත්මක වන අද දිනයේ ප්‍රවාහන සේවාවලට කෙසේ බලපායිද, රෝගී සත්කාරක සේවා ඇණ හිටීද? විදුලිය බිඳ වැටෙයිද? පාසල් කටයුතු ඇණ හිටීද? යන කරුණු සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ඇත්තේ සැකයකි. මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

වෛද්‍ය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු අවධාරණය කළේ අද දින විරෝධතා සහ වර්ජනයට එක්වන වෘත්තීය සමිතිවලට සහයෝගය පළ කරමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ශාඛා සමිති සූදානම් කරඇති බවයි. ජනතා මතයට ඇහුම් කන් දෙන්නේ නැත්නම් මීට වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ අද පෙරවරු 11 සිට පස්වරු 2 දක්වා වර්ජන ක්‍රියාමාර්ගයකට යන බවයි. පැය 02ක් සේවයෙන් ඉවත්ව රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයකට යන බව ඔහු සඳහන් කළේය.

ගුරු

සමස්ත ගරුවරු, සමස්ත විදුහල්පතිවරු සහ සමස්ත ගුරු උපදේශකවරු අද දින වැඩ වර්ජනයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලීන් අවධාරණය කළේය.

ප්‍රවාහන

මගී ප්‍රවාහන සේවා පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ, පොදු ප්‍රවාහන කේෂත්‍රය තුළ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි. ලංගම සහ දුම්රිය සහ පෞද්ගලික බස් සංගම් සමග පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බව ඔහු පැවසීය. "මෙතුළින් ජනතාව පීඩාවට පත් වන එක විතරයි වෙන්නේ. අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කියා සිටියේ තමන් අද දින සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

ලංකා පෞද්ගලි බස් හිමියන්ගේ සංගමය අවධාරණය කළේ, ඉදිරි සතියේ පැවැත්වෙන හර්තාලයට තමන් සහයෝගය දක්වන නමුත් සංගමයක් ලෙස අද දින පැවැත්වෙන වැඩවර්ජනයට සම්බන්ධ නොවන බවයි. එහෙත් බස් හිමියන්ට සිය අභිමතය පරිදි අද දින වැඩවර්ජනයට සම්බන්ධවීම ගැන තීරණයක් ගැනීමට අවස්ථාව ලබා දී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අවධාරණය කළේය.

විදුලි

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ අද දින විදුලි බිල්පත් භාර ගැනීම සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවයි. "රටේ ජනතාවට විදුලිය විසන්දි කරලා අපි වැඩ වර්ජනයකට යන්නේ නැහැ. සංඛේතාත්මක විරෝධයක් මේ පළ කරන්නේ. වහාම නම්බු පිටින් ලට්ට ලොට්ට අකුලගෙන ගෙදර යන්න." ඔහු ආණ්ඩුවට බලකර සිටියේය.

කම්කරු

ඉතිහාසයේ පළමු වතාවට වතු කම්කරුවන් නියෝජනය කරන සියලු වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයට සහභාගිවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ අවධාරණය කළේය. "අපි ආණ්ඩුවට කියන්නේ මේ වැඩවර්ජනය රටට එරෙහිව නෙමෙයි. හාම්පුතාට එරෙහිව නෙමෙයි. තකතීරු දුෂිත රාජපක්ෂ පවුල් පාලනය සහිත ආණ්ඩුවට එරෙහිවයි. ඒ නිසා දැන් අපි කියන්නේ වහාම ආණ්ඩුවට බැහැල යන්න කියලා. පොදු ජනතාවගේ අරගලයත් එක්ක වෘත්තීය සමිති ව්‍යාපාරය සම්බන්ධ වන්නේ නිකං නෙමෙයි, ඒ අරගලය ජයග්‍රහණය කරන තෙක්, මේ රටේ වැඩකරන පන්තිය සමග පෞද්ගලික අංශයේ සේවකයෝ අත්වැල් බැඳගෙන මේ සටන අඛණ්ඩව ඉස්සරහට අරන් යනවා."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ රජයේ වෘත්තීය සමිති සම්මේලනය අද පැවැත්වෙන වැඩ වර්ජනයට සම්පූර්ණ සහය ලබා දීමට තීරණය කර ඇති බවයි.

කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව අවධාරණය කළේ, "අපේ රටේ ජනතාවට අපි කියනවා එක්කෝ ගෝඨා පන්නන්න ඕනේ. එක්කෝ මේ රටේ සමස්ථ ජනතාව වළට යන්න ඕනේ. මේ පැති දෙක තමා මේ ඉරණම තීරණය කරන පැති දෙක. පළවෙනි ක්‍රියා මාර්ගය තමා ගෝඨාභය රාපක්ෂ ඉවත් වෙන්න ඕනේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනේ. ඒවගේම මේ රටේ ජනතාවට දැන් ආර්ථික සහන අවශයයි. මේක දැන් ආර්ථික අර්බුද කියන්න එපා."

වෘත්තීය සමිති ස්ථාවරය

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අප දුටු දීර්ඝතම හා බලවත්ම ජන අරගලය මේ වන විට දිග හැරෙමින් පවතින බවත්, වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ක‍්‍රියාමාර්ග නිසාවෙන් මේ වන විට රටේ ජන ජීවිතය මුළුමනින්ම ඇණහිට තිබීම මෙම අරගලයට හේතුව බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අවධාරණය කළේය.

එම සංවිධාන එකමුතුව සඳහන් කළේ, මෙම අරගලය හමුවේ ටික කලකට පෙර ලංකාවේ බිහි වූ ශක්තිමත්ම ආණ්ඩුව යැයි උදම් අනමින් සිටී පාලනය පරඬැල් මෙන් සැලෙන්නට වී ඇති බවයි. ආණ්ඩු පක්ෂය තුළම විවෘත බෙදීම් හට ගෙන ඇති බවත් ආණ්ඩුව විසින් තම බංකොලොත්කමත්, නොහැකියාවත්, අසාර්ථකභාවයත් ඕනවටත් වඩා පෙන්වා ඇති බවත් වෘත්තීය සමිති පැවසීය.

දරාගත නොහැකි භාණ්ඩ මිල

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසන්නේ, ආණ්ඩුව විසින් ඇතිකළ මෙම ව්‍යසනයෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ වැඩකරන ජනතාව සහ කම්කරු පන්තිය බවයි. පසුගිය කාලය තුළ ඔවුන්ගේ අදායම් අඩුවී ගොසිනි. එහෙත් වියදම නොසිතූ විරූ අන්දමින් ඉහළ ගොසිනි. 2022 වසරේ මුල් මාස තුනේ උද්ධමනය පිළිවෙළින් 16.8%, 17.5%, හා 21.5% වැනි සිතාගත නොහැකි ඉහළ මට්ටමකට ගමන්කොට ඇත. කිරිපිටි, සීනි, ගෑස්, ඉන්ධන, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය විසින් ඔවුන්ව මහ මඟට ඇද දමා ඇත.

ඔවුන්ට මහපාරේම අරගල කිරීම හැර වෙනත් විකල්පයක් නැති තත්ත්වයකට ඔවුන්ව පත්කොට ඇතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කළේය.

රටේ ධනය මංකොල්ල කෑම

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පෙන්වා දෙන්නේ, "රටේ ආර්ථික අර්බුද මැද ආණ්ඩුව මැති ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වීම සඳහා රු. බිලියන 3.7ක් පමණ වියදම් කළ බවයි. සතොස සුදු ළූණු වංචාව, සීනි බදු වංචාව, ඇන්ටිජන් මගඩිය ආදී වශයෙන් පසුගිය කාලයේ සිදුවූ දූෂණ හා වංචා ලයිස්තුව අති විශාලය. මියන්මාරයෙන් ඩොලර් 340-350 අතර මිළකට අපනයනය කරන සහල් ශ‍්‍රී ලංකාව මිළදී ගෙන ඇත්තේ ඩොලර් 445කට බව වාර්තා විය. පැන්ඩෝරා පත‍්‍රිකා අනුව නිරූපමා රාජපක්ෂගේ සැමියාට 2011 වනවිට තිබී ඇති ඩොලර් මිලියන 160ක ධනය ගැන ආණ්ඩුව කටයුතු කරන්නේ ගොළුවා කසාය බිවූ ආකාරයටය. මේ අනුව ජනයා කුමන දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නත් පාලක නඩය හා ඔවුන්හේ සහචරයන් විසින් රටේ ධනය මංකොල්ල කෑම දිගින් දිගටම කරගෙන ගියේය."

මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවට මෙතරම් එපා වූ ආණ්ඩුවක් 1948 න් පසු මෙරට තිබී නැතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කළේය.

ජීවත්වීමට ඇති මාර්ග අහුරමින්, ජනතාව මත තව තවත් බර පටවමින්, මහජන මුදල් නාස්ති කරමින්, තමන් හා තම සහචරයන්ගේ මඩිය තරකර ගන්නා මෙම පාලනය ඉවත් කළ යුතුමය. ඒ සමඟම මොවුන් වෙනුවට තවත් මෙවැනිම ජනතා ද්‍රෝහීන් රැළක් ජනතාව රවටමින් බලයට පැමිණීම වැළැක්වීමටද අප පියවර ගත යුතුය යන්න වෘත්තීය සමිති ස්ථාවරයයි.

පාලනයේ සිටින ඔළුගෙඩි මාරු කිරීමන් පමණක් අද පවතින මෙම ව්‍යසනයට විසඳුමක් ලබාගත හැකි යැයි සිතීම මුළාවකි. වර්තමානයේ සිටින බංකොලොත් පාලකයන් යනු මෙම ක‍්‍රමයේ නිර්මාණයන්ය. එම නිසා මෙම ක‍්‍රමය පවත්වා ගනිමින් ගෙන ඒමට යෝජනා කරන පැලැස්තර වලින් අද ජනයා මුහුණ දෙන බරපතල අර්බුදයට විසඳුමක් නොලැබෙනු ඇත. එම නිසා පවතින සමස්ත ක‍්‍රමය වෙනස් කිරීම අපගේ මූලික අරමුණ විය යුතු බව තමන් යෝජනා කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

අද වනවිට ආණ්ඩුවට ජනතා සහාය මුළුමණින්ම නැතුව ගොස් ඇතුවාක් මෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර සහායද නැතිව ගොස්ය. තීව‍්‍ර වන ජනතා අරගලය පාලනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් මර්දනය යොදා ගනිමින් සිටින්නේ එහෙයිනි. 2022 අප්‍රේල් 21 දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් සන්නද්ධ හමුදාවලට රටේ දිස්ත‍්‍රික්ක 20ක මහජන සාමය පවත්වාගෙන යාමේ බලතල පවරා දී ඇත්තේද එම මර්දනයේම කොටසක් ලෙසින් බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පෙන්වා දුන්නේය.

ජනතා අරගල මර්දනයට රජය විසින් ගනු ලබන මෙම නිර්ලජ්ජිත හා පිළිකුල් සහගත පියවරයන් පරාජය කිරීමද මේ මොහොතේ තමන් සතු වගකීමක් බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අවධාරණය කළේය.

එබැවින් වැඩ කරන ජනතාව ලෙස මේ මොහොතේ මෙම අසාර්ථක පාලකයින් ඉවත්කර ජනතා අපේක්‍ෂා ඉටු කළ හැකි ජනතා බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට බලකර සිටිය යුතු බවත් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පැවසීය.

අප්‍රේල් 28 දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහභාගි වන්නේ කව්ද?

  • ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
  • ලංකා බැංකු සේවක සංගමය
  • ලංකා ගුරු සංගමය
  • රජයේ එක්සත් කළමනාකාරන සහකාර සංගමය
  • සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය
  • ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
  • අන්තර් සමාගම් සේවක සංගමය
  • කම්කරු අරගල මධ්‍යස්ථානය
  • තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
  • ශ‍්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය
  • ස්වාධීන වරාය සේවක සංගමය
  • ලංකා වතු සේවා සංගමය
  • ශ‍්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය
  • රක්‍ෂණ සේවක එකමුතුව
  • නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානය
  • ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතිය
  • තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය
  • ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
  • වාණිජ හා කාර්මික සේවක සංගමය
  • විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
  • විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය
  • එක්සත් පොදු සේවක සංගමය
  • සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය
  • ශ‍්‍රී ලංකා සියලූ විදුලි සංදේශ සේවක සංගමය
  • තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • එක්සත් කම්කරු සම්මේලනය
  • ශ‍්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
  • ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
  • සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරී සංගමය
  • එක්සත් ජාතික තැපැල් සේවක සංගමය
  • සමස්ථ ලංකා තැපැල් සහ විදුලි පණිවුඩ සේවක සංගමය
  • ශ‍්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තියවේදීන්ගේ සංගමය
  • ශ‍්‍රී ලංකා තැපැල් හා විදුලි පණිවුඩ පොදු සේවක සංගමය
  • ශ‍්‍රී ලංකා කණිෂ්ඨ පරීක්‍ෂක හා තැපැල් තේරීමේ නිලධාරී සංගමය
  • එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
  • ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය
  • තැපැල් රියදුරු සංගමය
  • සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය
  • ලංකා තැපැල් සේවා සංගමය
  • ශ‍්‍රී ලංකා තැපැල් සේවක පෙරමුණ හා පොදු සේවා සංගමය
  • සමස්ත ලංකා තැපැල් සේවා සංගමය
  • ස්වාධීන තැපැල් නිලධාරී සංගමය
  • තැපැල් කණිෂ්ඨ සේවක සංගමය
  • තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන්ගේ එකමුතුව
  • ශ‍්‍රී ලංකා නිදහස් තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
  • ශ‍්‍රී ලංකා නිදහස් රජයේ උප තැපැල් ස්ථානාධිපති සංගමය
  • සමස්ත ලංකා දෙමළ කතා කරන තැපැල් සේවක සංගමය
  • තැපැල් තාක්‍ෂණ නිලධාරී එකමුතුව
  • රාජ්‍ය සේවා කාර්මික වෘත්තීය සමිතිය
  • ශ‍්‍රී ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය
  • පොදු සේවක සංගමය
  • සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති එකමුතුව
  • ශ‍්‍රී ලංකා ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරීන්ගේ සංගමය
  • ශ‍්‍රී ලංකා ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය නිලධාරීන්ගේ සංගමය
  • ලංකා වැවිලි සේවා සංගමය
  • ජාතික පොදු සේවක සංගමය
  • තරුණ වෘත්තියවේදීන්ගේ සංගමය
  • විදුලි සංදේශ ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය
  • රජයේ කර්මාන්තශාලා සේවක සංගමය
  • එක්සත් පොදු සේවක සංගමය
  • ස්වාධීන තටාක සේවක සංගමය
  • කාර්මික නිලධාරීන්ගේ සංගමය
  • ස්වාධීන රියදුරු සංගමය - වරාය
  • වරාය ලිපිකරු සංගමය - වරාය
  • සමස්ත ලංකා හාබර් ඩොක් කම්කරු සංගමය
  • විවිධ කාර්යය සහයක සංගමය
  • සමස්ත ගබඩා භාර කරුවන්ගේ වෘත්තීය සමිතිය
  • ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සැලසුම් ලිපිකරුවන්ගේ සංගමය
  • ස්වාධීන සේවක කොන්ග‍්‍රසය
  • වරාය මුදල් කොට්ඨාශයේ ස්වාධීන සේවක සංගමය
  • එක්සත් සේවක සංගමය
  • ගොඩබෑමේ හා භාරදීමේ ලිපිකරු සංගමය
  • ටග් යාත‍්‍රා ස්වාධීන සේවක සංගමය
  • තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය
  • මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
  • දුම්රිය ශේණිගත වෘත්තිය සමිති එකමුතුව
  • ලංකා විදුලි පොදු සේවක සංගමය
  • ලංවීම නව සේවක සංගමය
  • ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය
  • ඒකාබද්ධ ගුරු සේවා සංගමය
  • ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය
  • ඒකාබද්ධ ජල සම්පාදන සේවා සංගමය
  • පෞද්ගලික සේවක මධ්‍යස්ථානය
  • ගොවි හඩ ජාතික ව්‍යාපාරය
  • ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය
  • පුනරුද ව්‍යාපාරය.
  • රජයේ කර්මාන්තශාලා යාන්ත‍්‍රික අධිකාරී සංගමය
  • නිමි භාණ්ඩ ඇගළුම් හා රෙදිපිළි සේවක සංගමය
  • ස්ටෑන්ඩඅප් සේවක සංගමය
  • සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය
  • රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ
  • වෘත්තීය සමිති සම්මේලනය
  • රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව
  • ශ‍්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය
  • පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව
  • ශ‍්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය
  • ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය
  • රජයේ කළමනාකරණ සේවා නිලධාරී සංගමය
  • ලංකා වෘත්තීය සමිති සම්මේලනය
  • ජාතික වෘත්තීය සමිති පෙරමුණ
  • වැඩහල ලිපිකරු සංගමය
  • සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය
  • සමගි සේවක සංගමය
  • ජාතික සේවක සංගමය
  • ජන බල පවුර
  • ජාතික ළමා රක්ෂක අධිකාරියේ සේවක සංගමය
  • සමස්ත ලංකා සංඛ්‍යාලේඛණ නිලධාරීන්ගේ සංගමය