හදිසි නීති අවස්ථාව සාමාන්‍ය පුරවැසියන්ට බලපාන්නේ කෙසේද?

අප්‍රේල් 02 දා සවස 6 සිට සඳුදා (අප්‍රේල් 04) උදෑසන 6 දක්වා රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ ඒ දිවයින පුරා හදිසි නීතිය තත්ත්වයක් බලාත්මක කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් සිකුරාදා රාත්‍රියේ නිකුත් කිරීමෙන් අනතුරුවයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනය කළෙ මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇති බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනාධිතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව අප්‍රේල් 01 වැනිදා සිට දිවයින පුරා හදිසි නීතිය පැනවෙන බවයි.
රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් , මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් ය.
අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොදු ස්ථානවල ජනතාව ගැවසීම තහනම් කරයි
අද ( අප්‍රේල් 02) පස්වරු 6 සිට ලබන සඳුදා පෙරවරු 6 දක්වා පොදු ස්ථානවල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ මහජන ආරක්ෂ ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඇදිරිනීතිය ප්‍රකාශයට පත් කරමිණි.
මේ යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ හෝ මහජන ආරක්ෂක අමාත්‍යංශය ලේකම් හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස අදාළ කාලය තුල කිසිම පුද්ගලයෙකු පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බව එම ගැසට් නිවේදනය මගින් විධානය කර ඇත.

මෙයට පෙරද ජනපතිවරයා විවිධ අවශ්‍යතාවයන් මත හදිසි නීතීරෙගුලාසි බලාත්මක කළේය. මීට පෙර 2021 අගොස්තු 30 වැනිදා ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීතීරෙගුලාසි බලාත්මක කළේය.
මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලදි.
වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත් හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක කළ බව ජනාධිපති මාධ්‍ය අංශය එහිදී සඳහන් කළේය.
සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එන්. ඩී. එස්. පී. නිවුන්හැල්ල පත් කෙරිණ.
එහේත් මේ වන විට රටේ පනවා ඇති හදිසිනීති තත්ත්වය මෙයට වඩා වෙනස් තත්ත්වයකි. යුද සමයේද මෙවැනි ආකාරයෙන් රටේ හදිසිනීති තත්ත්වයක් පනවා තිබුණි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතීඥ භවානි ෆොන්සේකා කියා සිටියේ මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට හදිසි නීතිය අවශ්‍යදැයි විමසා බැලිය යුතු බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Bhavani Fonseka
"මේක භයානක තත්ත්වයකට යන්න පුළුවන්. සෑහෙන්න විරෝධතා තිබ්බානේ මේ දවස්වල, මිරිහාන හා මොරටුව විරෝධා තිබ්බා.එවා නවත්තන්නද මේක ගේන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා"
"මොනවගේ බලතල ගෙනෙයිද කියලා, බැලිය යුතුයි." භවානි ෆොන්සේකා කියා සිටියාය.
සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇත
මේ අතර සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇතැයි කොළඹ අමෙරිකානු තානාපති ජුලි චෑන්ග් අවධාරණය කළාය.
ඇය පෙන්වා දුන්නේ - ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා එය අත්‍යවශ්‍ය බවයි. පවතින තත්ත්වය තමා සමීපව නිරීක්ෂණය කරමින් සිටි බවද ඇය ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් පැවසුවාය.
ඉදිරියේදී සෑම පාර්ශවයකින්ම සංයමයක් අපේක්ෂා කරන, අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අමෙරිකානු තානාපතිවරිය සඳහන් කළාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
හදිසි නීති නියෝගය අවලංගු කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින්නේ, මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසයි.
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම රටේ වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු බාලපටබැදි නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එහි දැක්වෙන්නේ අවාසනාවකට, බලධාරීහු මෑතක් වන තුරුම මෙම ගැටලුවේ තරම තේරුම් ගැනීමට අසමත් වූ බවයි.
"පෙර නොවූ විරූ විදුලි කප්පාදුව , ඉන්ධන හිඟය, ගෑස් හිඟය, ඖෂධ හිඟය, විදේශ විනිමය අර්බුදය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම මේ සියල්ලටම හේතු වී ඇත."
"මෙය රටේ ජනතාව බලාපොරොත්තු සුන්වු මංමුලා සහගත තත්ත්වයට ඇද දමා ඇති" බව නීතිඥ සංගමය සඳහන් කළේය.
යුරෝපා කොමිසමේ ස්ථාවරය
සාමකාමී විය යුතු නිදහස් රැස්වීමේ අයිතිය සහ විසම්මුතිය ඇතුළු සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව යුරෝපා සංගමය පැවසීය.
ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.
ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ පා සිටින අභියෝගාත්මක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවද යුරෝපා සංගමය සඳහන් කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
අතුරුදහන් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා

ඡායාරූප මූලාශ්‍රය, Tharuka Ranaweera/FB
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන විශ්වවිද්‍යාල ශිෂ්‍ය තිසර අනුරුද්ධ බණ්ඩාර අත්රුදහන් වී ඇති බවට සමාජ ක්‍රියාකාරීන් පැවසීය.
"තිසර බණ්ඩාර කියන්නෙ මේ සාමකාමී අරගලයේ ඔබ කවුරුත් හඳුනන අපේ සටන් සගයෙක්. ඊයේ මධ්‍යම රාත්‍රී 12.15ට තිසරව සිය නිවසට සිවිල් ඇඳුමෙන් පැමිණි මෝදර පොලීසියේ යැයි කියනා පිරිසක් විසින් රැගෙන ගොස් තිබෙනවා. මෝදර පොලීසියට ගොස් විමසූ විට තිසර එහි නොමැති බව පවසල තියෙනවා. මේ ඉල්ලීම මේ සාමකාමී අරගලයේ සිටින ඔබගෙන් තිසර ඉන්න තැන ගැන ලංකාවෙ කොහේ හෝ කොනක ඉන්න ඔබට ආරංචියක් ආවොත් ඒ පිළිබඳව අපිට දැනුම් දෙන්න," යනුවෙන් තරුක රණවිර ටම මුහුණුපොතේ සටහනක් තබමින් පැවසීය.
මේ අතර තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර පොලිස් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවට පොලීසිය පැවසීය.
පොලීසිය පැවසුවේ දඬණ්ඩ නිති සංග්‍රහයේ 120 වැනි වගන්තිය ප්‍රකාරව ඔහු අත්අඩංගුවට ගත් බවයි.මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ, ආණ්ඩුව මර්දනය අතට අරගෙන ඇති බවයි.
"මේ රටේ ජනතාවට කතා කිරීමේ, ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීමේ අයිතිය කිසිලෙසකින්වත් පැහැර ගැනීමට ආණ්ඩුවට ඉඩ තබන්නේ නැහැ," යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති අයිතීන් පවා උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටින බව පැවසූ විපක්ෂවරයා පීඩනය දරාගත නොහැකිව අරගල කරන ජනතාව වෙත මර්දනය දියත් කිරීමට ආණ්ඩුවට ඉඩ නොතබන බවද පැවසීය.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීක තිසර අනුරුද්ධ බණ්ඩාර රඳවාගෙන සිටි මෝදර පොලිසිය වෙත වෙත අද (02) ගිය විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව මාධ්‍යයට මේ බව පැවසීය.
මෙය අරගල වලදී පීඩාවට පත්වන පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා ජනතාව මර්දනය කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය වහාම හකුලා ගත යුතු බවද පැවසීය.
හදිසි අවස්ථා තත්වය යනු කුමක්ද ?
හදිසි අවස්ථාව යන්න මහජන ආරක්ෂක පනතෙහි විස්තර කෙරෙන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරිමට සාමාන්‍ය තත්ත්වයන් හීදී ලබාදෙනු නොලබන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙසම පවතින තත්ත්වයක් ලෙසය.
මෙවැනි තත්ත්වයකදී, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සහතික කිරිම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිම පිණිස ජනාධිපතිවරයාට ඉඩ ලැබේ.
හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය ලැබෙන්නේ කොහේ සිටද සහ එම තත්ත්වය ප්‍රකාශයට පත්කළ හැක්කේ කවුරුන් හටද?
නිවේදනයක් මඟින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනිකර වූ අභිමතානුසාරී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සතු ව පවතී.
එම නිවේදනය පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවීම ද කළ යුතුවේ. දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ.
හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අධිකරණයකදී අභියෝගයට ලක් කළ නොහැකි වේ. ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි සකස් කිරීමට ඇති බලය ඇතුළු මහජන ආරක්ෂක පනතේ ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක බවට පත්වීම හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම මඟින් සිදුවේ. මෙම රෙගුලාසි මඟින් අනෙක් ඕනෑම නීතියක් අක්‍රිය කළ හැකිවන නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අක්‍රීය කිරීමට ඒවාට නොහැකි වේ.
හදිසි අවස්ථා තත්ත්වයක් කොපමණ කාලයක් පැවතිය හැකිද ?
මාසයක කාලයක් වලංගු වන නිවේදනයක් නිකුත්කිරීමට ජනාධිපතිවරයාට හැකිය. ( මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ඔහුට හැකි වන නමුත් ). දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ. එසේ සිදු නොවුවහොත් නිවේදනය අවලංගු වේ. සෑම දින 30කට වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකිය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියෙනි.
පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි හදිසි අවස්ථා රෙගුලාසි වලින් ඇතිවන බලපෑම කුමක්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන් වලින් පැන නගින අයිතීන් ගණනාවක් වෙත හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කිරීම් පැනවෙයි.
එම සීමාවන් එමඟින් වැලැක්වීමට බලාපොරොත්තු වන හානියට සමානුපාතික විය යුතු බවට කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නොපවතී. එහිදී වගකිවයුතු ලෙස ක්‍රියා ක්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම විධායකයේ හොඳ හිත මත පවතින්නකි.
සීමා කරනු ලැබිය හැකි මූලික අයිතිවාසිකම් වනුයේ :
- නිර්දෝෂි බවට වන පූර්ව නිගමනය
- ඔප්පු කිරීමේ භාරය හා ප්‍රතිරෝධනීය දණ්ඩනය
- නීතිය ඉදිරියෙහි සමානාත්මතාවය සහ වෙනස්කම් නොකිරීම
- අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා වන සාමාන්‍ය නෛතික ක්‍රියාවලිය
- අදහස් ප්‍රකාශනයේ, රැස්වීමේ, සමාගම් පැවැත්වීමේ, ගමන් කිරීමේ,රැකියාවේ, ආගමේ සංස්කෘතියේ සහ භාෂාවේ නිදහස කෙරෙහි අදාළ වන මූලික අයිතිවාසිකම්
හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කළ නොහැක්කේ
- සිතීමේ සහ සහෘද සාක්ෂිය නිදහස
- වධහිංසා පැමිණවීමෙන් නිදහස
- නිසි බලතල සහිත අධිකරණයක් මඟින් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය (හදිසි අවස්ථා රෙගුලාසි මඟින් පමුණුවනු ලැබිය හැකි නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම හැරුණු විට )
හදිසි අවස්ථා බලතල වලින් ස්වායත්ත ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) උපයෝගී කොට ගැනීමේ හැකියාව රජය වෙත පවතී. මෙම ත්‍රස්ත විරෝධී බලතල ව්ස්තෘත වන අතර හදිසි අවස්ථා බලතල මෙන් අඛණ්ඩ ලෙස පාර්ලිමේන්තුව අනුමැතිය ලබාගැනීමේ විධිමත් අවශ්‍යතාවයක් ද එම බලතල භාවිතයේදි නොපවතී.
හදිසි අවස්ථාව සාමාන්‍ය පුරවැසියන් හට බලපාන්නේ කෙසේද?
ත්‍රස්තවාදී හෝ කලහකාරී ක්‍රිරියාවන්ට සම්බන්ධ වුවන් හෝ සැකකරුවන් නොවන සාමාන්‍ය පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතය, මෙම හදිසි අවස්ථා රෙගුලාසීන් බල පවත්වන විට දී ඒවායේ බලපෑමට ලක්වන ආකාරයන් ගණනාවක් පවතින් බවට නීති විශාරදයන් පෙන්වා දෙයි.
මාධ්‍යවෙත ඇතිකෙරෙන බලපෑම කුමක් ද?
පුරවැසියන් විසින් ප්‍රකාශයට පත්කළ හැකි දේ පිළිබඳව වන සීමා කිරීම් වලටඅමතරව ප්‍රකාශණයන් පිළිබඳව වන පාලනය මගින් මාධ්‍යය වෙත බලපෑමක් ඇතිවිය හැකිය.










