ශ්‍රී ලංකාව: ඩෙංගු රෝග ලක්ෂණ මොනවාද? ප්‍රතිකාර සහ ඖෂධ තිබේද? ඩෙංගු රක්තපාත උණ යනු කුමක්ද? ප්‍රවේසම් වන්නේ කෙසේද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඩෙංගු වෛරසය ආසාදනය වීමෙන් මෙම වසර තුළදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබේ. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 21,646 කි.
ඩෙංගු රෝගය පිළිබඳ අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
වැසි සමග ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න කියා සිටියේ වැසි සහිත කාලගුණය සමඟ ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවය.
වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එය මුළු ගණනෙන් 68%ක් පමණ වන බව ප්‍රජා වෛද්‍යවරිය පවසයි.
ඊට අමතරව මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වී තිබේ.
කොරෝනාවෛරස වසංගත තත්ත්වය නිසා පසුගිය කාලය තුළ පරිශ්‍ර පරීක්ෂාවන්වල අඩුවක් දක්නට ලැබුණත්, මේ වන විට ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් බස්නාහිර පළාත සහ නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව බලධාරීහු පවසති.
ඊට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් පරිසර පරීක්ෂාවන්, දැනුවත් කිරීම ඇතුළු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නැවත පාසල් ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේ දී පාසල් පරිශ්‍ර තුල මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබෙනවා ද යන්න පරීක්ෂාවට ලක් කර පිරිසිදු කිරීමට කටයුතු කළ යුතු බව වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න අවධාරණය කළාය.
"ඩෙංගු වෛරසය සහිත මදුරුවෙකු දෂ්ට කිරීමෙන් ඕනෑම පුද්ගලයකුට රෝගය වැලඳෙන්න පුළුවන්. එමෙන්ම උණ, හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඬු, හන්දිපත් වේදනාව වැනි රෝග ලක්ෂණ ඩෙංගු රෝග ලක්ෂණයි. එම රෝග ලක්ෂණ තියෙනවනම් දින දෙකකට වඩා කල් නොගෙන සුදුසුකම් තිබෙන වෛද්‍යවරයෙක් හමුවෙලා පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගන්න පුළුවන්," වෛද්‍යවරිය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණ සඳහා යම් ඖෂධයක් ලබා ගන්නවා නම් ඔබ ගත යුත්තේ නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ඖෂධය පමණක් වන අතර, වෙනත් ඖෂධ කිසිම විටක භාවිත නොකළ යුතු බව වෛද්‍යවරිය පැවසුවාය.
එසේ නොමැති වුවහොත් ඩෙංගු රෝගය නිසා ඇතිවන සංකූලතා නිසා රුධිර වහනයක් ඇති වී සුව කිරීමට අපහසු වීමට ඉඩ වැඩි බව විශේෂඥ වෛද්‍ය මතයයි.
ඩෙංගු රෝගය වළක්වා ගත හැකි රෝගයක් බැවින් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට ක්‍රියා කළ යුතු බව ද වෛද්‍යවරු අවධාරණය කරති.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ වාහක රෝගයන් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර පළමු වරට රසායනාගාර පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය බවට තහවුරු කරන ලද රෝගියකු වාර්තා වුයේ 1962 වසරේදීය.
වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කරන ලද පර්යේෂණවලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු රෝග ව්‍යාප්තිය නොකඩවා සිදු වී ඇති අතර, වසංගත තත්ත්වයක් ද යම් කාල වකවානු තුළ හටගෙන තිබේ.
කෙසේනමුත්, මෙම කාලය තුළ තීව්‍ර ඩෙංගු රෝග තත්ත්වයක් වන ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්ත්වයන් වාර්තා වී ඇත්තේ ඉතා කලාතුරකිනි.
තවද 1980 -1985 කාලයේ දී වෛරස් රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 14% - 24% කට ඩෙංගු ආසාදනය වී තිබී ඇති අතර, වෛරස් කාණ්ඩ හතරම මේ කාලයේදී ශ්‍රී ලංකාව තුළ පැතිර ගිය බවට ද සොයා ගෙන ඇත.
එලෙසම ඩෙංගු වෛරස් 2 හා 3 යන කාණ්ඩ වැඩි රෝගීන් සංඛ්‍යාවක් තුළ තිබූ බවටද හඳුනාගෙන ඇත.
ඩෙංගු වෛරස් කාණ්ඩ 3 හේතුවෙන් පළමුවරට ඩෙංගු රක්තපාත හා කම්පන තත්ත්වය සහිත වසංගත තත්ත්වයක් 1989- 1990 දී වාර්තා විය.
ඩෙංගු 3 වෛරස් කාණ්ඩය ලංකාවේ සංසරණය වී වසර ගණනාවකට පසුව පළමුවරට මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ඩෙංගු 3 වෛරස් කාණ්ඩයේ සිදු වූ ජානමය වෙනස් කමක් හේතුවෙන් බවට ද පරීක්ෂකයෝ අනුමාන කරති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එතැන් සිට නියත කාල පරාසයන් වලදී ක්‍රම ක්‍රමයෙන් රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් සහ වඩාත් තීව්‍ර ඩෙංගු රක්තපාත හා කම්පන තත්ත්ව සහිත වූ වසංගත තත්ත්වයන් ශ්‍රී ලංකාව තුල වාර්තා විය.
මෙම තත්ත්වයන් මත 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.
ඩෙංගු රෝගයේ වර්තමාන තත්ත්වය
ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශයන්වල විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන්වල වසර මුළුල්ලේම පැතිර යෑමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරයි.
වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර කාලයේදී ) නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද වසර අගදී ( ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වේ.
ඩෙංගු මදුරුවා
ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140 ක් පමණ සිටින අතර ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක පමණක් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වේ. මෙම මදුරු විශේෂ දෙක ඔවුන්ගේ ශරීරයේ ඇති විශේෂ සලකුණු නිසා පහසුවෙන් හඳුනාගත හැකිය.
ඊඩිස් මදුරුවාගේ බිත්තර වලට අහිතකර පාරිසරික හා දේශගුණික තත්ත්වයන් දරා ගෙන මාස ගණනාවක් වුවද නොනැසී සිටීමේ විශේෂ හැකියාවක් තිබෙන අතර මේ හේතුවෙන් මදුරුවාගේ කීට අවස්ථා, පිලා අවස්ථා හා සුහුඹුල් අවස්ථාවන් විනාශ කලද මදුරු බිත්තර රැඳි ඇති බඳුනකට ජලය වැටුන විගස බිත්තර පුපුරා නැවත මදුරුවන් බෝ වීමේ හැකියාව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බඳුන්වල ඇලී ඇති බිත්තර විනාශ කිරීම සඳහා විශේෂ ක්‍රම වේදයක් දැනට නොමැත. මදුරුවාගේ ජීවන චක්‍රය තුල ඇති මෙවන් අනුවර්තන නිසා බොහෝ අවස්ථාවල ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම එතරම් පහසු නොවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඩෙංගු රෝගය
ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වුවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි (DEN 1, DEN 2 , DEN 3, DEN 4).
ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්ත්වයන් ඉතා විශාල පරාසයක් තුළ විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්ත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් ඇතිවිය හැක.
ඩෙංගු උණ
ඩෙංගු උණ රෝගයෙදී එක්වර ඇති වන තද උණ, අධික හිසරදය හා ඇස පිටුපස වේදනාව, හන්දිවල හා පේශිවල වේදනාව බොහෝ දුරට ඇතිවන අතර, සමහර රෝගීන්ට රතු පැහැති විහිදුන ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්ත්වයන් (විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන්) ඇතිවේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඩෙංගු රක්තපාත උණ
ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තිව්‍ර රෝගී තත්ත්වයක් වන අතර ඉතා කුඩා සංඛාවක් රෝගීන් හට මෙම තත්ත්වය ඇතිවේ. ඩෙංගු රක්තපාත උණ රෝගයේදී බොහෝ විට පැහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි අවධි 3ක් ඇත:
- උණ සහිත අවදිය (මෙම අවදියේදී දින 7කට අඩුවෙන් තද උණක් හට ගනු ඇත)
- අවදානම් අවදිය (අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ සාමාන්‍යයෙන් උණ බැස යනවත් සමග සහ තරලය කාන්දු වීමට පටන් ගැනීමත් සමගය). මෙම තත්ත්වය දින 1-2 අතර කාලයක් පවතින අතර කලින් හඳුනාගෙන අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියා කම්පන තත්ත්වයට පවා පත් විය හැකිය.
- සුවවන අවදිය. මෙය දින 2-5 ත් අතර කාලයක් පවතින අතර මේ කාලයේදී රෝගියාගේ කෑම රුචිය වර්ධනය වේ, හෘද ස්පන්ධනය අඩුවේ. සුවවන අවස්ථාවට විශේෂිත වූ ලප (රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප) බොහෝ විට ශරීරය පුරා කැසීමක්ද සමග දක්නට ලැබේ (අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් ඇත). මුත්‍රා වැඩිවශයෙන් පහ වීමක්ද මේ අවස්ථාවේ සිදු විය හැක.
අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු අවස්ථා
- නොනවත්වා වමනය කිරීම
- බඩේ කැක්කුම, තද පිපාසය
- අධික නිදිමත බව හා සිහිමද ගතිය
- ආහාර අරුචිය හා ප්‍රතික්ෂේප කිරීම
- අසාමාන්‍ය ලේ ගැලීම් තත්ත්වයන්. උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම
එමෙන්ම, රෝගියා පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
- අත් පා සුදුමැලි හා සීතල වීම
- නොසන්සුන් හා කලබලකාරී බව
- සමේ පැහැය වෙනස් වීම
- මුත්‍රා පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම
- හැසිරීමේ වෙනස් කම් - සිහිමද ගතිය
ඩෙංගු රෝග තත්ත්වය කලින් හඳුනා ගැනීම
ඩෙංගු රෝගය කලින් හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා දීම මගින් ඩෙංගු රෝගයේ සංකුලතා හා අසාද්‍යභාවය අවම කළ හැකිය.
ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය යටතේ උණ ඇතුළු ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් ඩෙංගු උණ /ඩෙංගු රක්තපාත උණෙන් පෙලෙන බවට සැක කර අවශ්‍ය අවධානය ලබාදීම අත්‍යවශ්‍ය බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමහර අවස්ථාවන්වලදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අසාදනය වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ මෙන්ම මළ බද්ධය, පාචනය, වමනය, කඩින් කඩ ඇතිවන බඩේ වේදනාව වැනි ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ ද ඇති විය හැකිය.
කම්පන තත්ත්වයෙන් පැමිණෙන රෝගියෙක් විශේෂයෙන්ම උණ නොමැතිව, අත් පා සීතලව, හෘද ස්පන්දනය වේගවත් ව දුර්වල නාඩි වැටීමක් සහ අඩු රුධිර පීඩනයක් සහිත නම් ඩෙංගු කම්පන තත්ත්වයට පත්ව ඇති බවට විනිශ්චය කරනු ඇත.
සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් කිරීමේ වැදගත්කම
උණ වැළදී තෙවෙනි දිනයේදී සියළුම රෝගීන් හට සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
සමහර විශේෂ රෝගීන් සඳහා පළමු දිනයේම හෝ, පළමුවරට ප්‍රතිකාර සඳහා පැමිණි අවස්ථාවේම රුධිර පරීක්ෂණයක් සිදු කළ යුතුය (ගර්භනී කාන්තාවන්, අවුරුද්දට අඩු ළදරුවන්, මහලු පුද්ගලයන් සහ වෙනත් කල්පවතින රෝග තත්ත්වයන් ඇති පුද්ගලයන්).
රුධිර පට්ටිකා ප්‍රමාණය 150,000/ mm3 වඩා වැඩි නම් තෙවෙනි දිනයේ සිට දිනපතා සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යය.
රුධිර පට්ටිකා ප්‍රමාණය 150,000/ mm3 වඩා අඩුනම් නම් දිනකට දෙවරක් සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යයි (රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය රදා පවතින්නේ, රෝගියාගේ සායනික තත්ත්වය, අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හා අනෙකුත් සමාජීය අවශ්‍යතා මතය. සෑම විටම වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම සුදුසුය).
රුධිර පට්ටිකා ප්‍රමාණය 100,000/ mm3 කට අඩු වන අවස්ථාවල දී රෝගියා රෝහලකට ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ.
ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන් කර හඳුනා ගැනීම
උණ වැළදී තෙවෙනි දිනයට පසු ඩෙංගු රක්තපාත උණ වැළදුන රෝගීන් ප්ලාස්මා තරලය කාන්දු වීම වැනි සංකුලතා වලට බඳුන් වීමේ අවදානමක් ඇති නිසා ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගීන් වෙන් කර හඳුනාගැනීම ඉතා වැදගත් වේ.
ඩෙංගු රක්තපාත තත්ත්වය බොහෝ විට දකින්නට ලැබෙන්නේ උණ බැස යනවත් සමගය.
උණ නොමැතිව හෘද ස්පන්දනයේ වේගවත් බවක් හෝ උණ ට අනුපාතික නොවන පරිදි වේගවත් හෘද ස්පන්දනයක් බොහෝවිට ඇතිවිය හැක.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍රයක ආධාරයෙන් උර කුහරය හා උදර කුහරය තුලට ක්‍රම ක්‍රමයෙන් ප්ලාස්මා තරලය එකතුවන බව පෙන්වීම, අවදානම් අවධියට රෝගියා පත්ව ඇති බවට වඩාත් විද්‍යාත්මක සාක්ෂිය වේ.
රෝගියා රෝහල් ගත කිරීම
රෝගියාගේ සායනික රෝග ලක්ෂණ අනුව බොහෝ විට රෝගියා රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. එහෙත් පහත සඳහන් ලක්ෂණ ඇති රෝගීන් රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ.
- රුධිර පට්ටිකා ප්‍රමාණය 100,000/mm3 වඩා අඩු නම්
- උණ රෝගය වැළදී තෙවෙනි දින හෝ එයට ප්‍රථම පහත සඳහන් අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්
- උදරයේ ඇතිවන තද වේදනාකාරී තත්ත්වය
- නොකඩවා පවතින වමනය
- ශ්ලේෂ්මල පටල වලින් සිදුවන ලේ ගැලීමේ තත්ත්වයන් (මුඛයෙන්, නාසයෙන් ලේ ගැලීම)
- අලසබව හෝ නොසන්සුන් බව
- අක්මාව විශාල වීම (සෙමි 2කට වඩා)
- රුධිර ඝන වීම හා ශීඝ්‍රයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය පහත බැසීම
- ප්ලාස්මා තරලය කාන්දු වීම පෙන්නුම් කරන සායනික ලක්ෂණ: උරස් හා උදර කුහරයේ ප්ලාස්මාව කාන්දුවීම ( තරමක් ප්‍රමාද වී දක්නට ලැබෙන තත්ත්වයකි)
ඉහත සඳහන් රෝග ලක්ෂණ නොමැති නමුත් රෝහල් ගත කළ යුතු වෙනත් රෝගීන්
- ගර්භනී කාන්තාවන් - උණ / රෝගය වැළදී දෙවෙනි දිනයේදී රෝහල් ගත කර සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් දිනපතා සිදු කළ යුතුය.
- වයෝවෘද රෝගීන් / ළදරුවන්
- ස්ථුල බව සහිත රෝගීන්
- වෙනත් කල් පවතින රෝග සහිත රෝගීන් (දියවැඩියාව, දිගු කාලීන වකුගඩු රෝගීන්, හෳද රෝගීන්, තැලසිමියාව වැනි රුධිර ආශ්‍රිත රෝගීන්, සහ වෙනත් ප්‍රධාන දිගු කාලින රෝග තත්ත්වයන්)
- සමාජයීය තත්ත්වයන් මත විශේෂ අවධානය යොමු කල යුතු රෝගීන් උදා: තනියම වාසය කරන රැක බලා ගැනීමට කිසිවෙක් නොමැති රෝගීන්,
- පදිංචි ස්ථානයට ආසන්නව සෞඛ්‍ය පහසුකම් නොමැති හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා යාමට ප්‍රවාහන පහසුකම් නොමැති රෝගීන්
පැය 48 ක කාලයක් සායනික වශයෙන් ස්ථාවර හා උණ නොමැති රෝගීන් ඩෙංගු රෝගයෙන් සුවවන අවදියට පත්ව ඇති බවට නිගමනය කල හැකි බව වෛද්‍ය මතයයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් රෝගීන්ට උපදෙස්
උණ තිබේ නම්...
- රෝගියාට විවේකය ලබා දෙන්න
- දියර වර්ග බීමට දෙන්න
- ජලය පමණක්ම බීමට දෙන්න එපා
- රතු හෝ දුඹුරු පැහැති දියර වර්ග පානය කිරීමට නොදෙන්න
- සුපුරුදු ඝන අහාර ආහාරයට ගත හැකිනම් ලබා දෙන්න
- රෝගියාට මුත්‍ර පිටවන වාර ගණන ගැන සැලකිලිමත් වන්න
- උණ තිබේනම්, සාමාන්‍ය වතුරෙන් ඇග තෙමන්න
- පැරසිටොමෝල් (Paracetamol) නියමිත මාත්‍රාව පැය 6 කට වරක් ලබාදෙන්න
- උණට ලබාදෙන අනෙකුත් බෙහෙත් වර්ග (විශේෂයෙන් තද උණට ලබා දෙන බෙහෙත්) ලබා නොදෙන්න
- උණ දින දෙකකට වඩා තිබෙනම්, තෙවෙනි දිනයේ රුධිර පරීක්ෂාවක් කරගන්න








