'තාත්තා මගේ අත් දෙකට ග්ලව්ස් දෙක දාල පුතේ මට යන්න බැරි ඔලිම්පික් එකට ඔයා යන්න කිවුවා'

ජාත්‍යන්තර බොක්සිං තරඟයක විනිසුරුවරිය ලෙස ක්‍රියා කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන ඇය 2017 දී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාත්‍යන්තර බොක්සිං තරඟයක විනිසුරුවරිය ලෙස ක්‍රියා කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන ඇය 2017 දී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වුවාය.
    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

අපි සියලු දෙනාට සිහින ඇත්තෙමු. එහෙත් සියලු බාධක බිඳගෙන ඒ සිහින හඹා යන්නේ අතළොස්සක් පමණි. කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමලා වසර විස්සක් ඔලිම්පික් සිහිනය හඹා ගිය ශ්‍රී ලාංකික දිරිය දියණියකි.

පියාගේ සිහිනය වුණේ තම දියණිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩිකාවක ලෙස ඔලිම්පික් තරඟයට සහභාගීවනු දැකීමය. එහෙත් නෙල්කාට ක්‍රීඩිකාවක ලෙස ඔලිම්පික් යන්නට අවස්ථාව නොලැබුණ ද ඇය සිහිනය හඹා යෑම අත්හැරියේ නැත. අවසානයේදී නෙල්කා 2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ විනිසුරුවරියක සහ තරඟ තීරකවරියක ලෙස සහභාගී වන්නට වරම් ලැබුවේ එම අවස්ථාව උදාකරගත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව වීමේ අභිමානය ද ඈ සතු කර ගනිමිනි.

එමෙන්ම ජාත්‍යන්තර බොක්සිං තරඟයක විනිසුරුවරිය ලෙස ක්‍රියා කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන ඇය 2017 දී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වුවාය. ඒ එම සම්මානය දිනාගත් පළමු කාන්තාව ලෙසයි. බොක්සිං ක්‍රීඩාවක සහ ජාත්‍යන්තර විනිසුරුවරියක ලෙස ඇය වාර්තා රැසකට හිමිකම් කියන්නීය.

''මම ඔලිම්පික් තරඟ 11ක විනිසුරිවරියක් ලෙස කටයුතු කළා. ඒ වගේම තරඟ 33ක තීරක වශයෙන් වශයෙන් කටයුතු කරන්න ලැබුණා. මගේ රටේ කොඩිය 44 වාරයක් ඔලිම්පික් තිරයේ දිස් වුණා. ඒක රටට ගෞරවයක් වගේම මට සතුටක්.'' යනුවෙන් නෙල්කා ශිරෝමාලා බීබීසීයට පැවසුවාය.

දියණියන් පමණක් සිටින පවුලක පුතෙකුගේ භූමිකාව

නෙල්කා දියණියන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වුවාය. ඇගේ පියා 'රජරට බොක්සිං ශුරයා' ලෙස විරුදාවලිය ලද තම්පෝ සම්පත් වේ. වසර හතකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ජාතික බොක්සිං ශුරයෙකු වූ තම්පෝගේ අපේක්ෂාව වුයේ තමන්ට යෑමට නොහැකි වූ ඔලිම්පික් බොක්සිං වළල්ල තුළ තම දියණිය සිටිනු දැකීමයි.

බොක්සිං ක්‍රීඩිකාවක ලෙස 2001 සිට ඇය අඛණ්ඩව වසර පහක් ජාතික තරඟවලදී අනු ශුරතාව දිනා ගත්තාය.
ඡායාරූප ශීර්ෂ වැකිය, බොක්සිං ක්‍රීඩිකාවක ලෙස 2001 සිට ඇය අඛණ්ඩව වසර පහක් ජාතික තරඟවලදී අනු ශුරතාව දිනා ගත්තාය.

''තාත්තගේ සිහිනයක් තිබුණා කවුරුහරි කෙනෙක් එයාගේ අඩි පාරේ යන්න ඕනා කියලා. නමුත් අපේ පවුලේ පුතෙක් හිටියේ නෑ. ඒ නිසා 2001 අවුරුද්දේ කාන්තාවන් සඳහා බොක්සිං ක්‍රීඩාව ආරම්භ වූ සැනින් මම බොක්සිං පටන් ගත්තා. එදා තාත්තා මගේ අත් දෙකට ග්ලව්ස් දෙක දාල කිවුවේ පුතේ මට යන්න බැරි ඔලිම්පික් එකට ඔයා යන්න ඕනා කියලයි'' යනුවෙන් නෙල්කා අතීතය සිහිපත් කළාය.

බොක්සිං ක්‍රීඩිකාවක ලෙස 2001 සිට ඇය අඛණ්ඩව වසර පහක් ජාතික තරඟවලදී අනු ශුරතාව දිනා ගත්තාය. ජාතික ශුරතා තරඟාවලියට සමගාමීව පවත්වන අනෙකුත් තරඟ වලදී ඇගේ බර පංතියේ ශුරතාවය දිනා තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, වසර 20ක් ඔලිම්පික් සිහිනය හඹා ගිය නෙල්කා ශිරෝමාලා ජයග්‍රහණයේ රහස කියයි

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක් වූ ඇය ආධුනික උප පොලිස් පරීක්ෂකවරියක ලෙස 1997 දී පොලිස් සේවයට එක් වුවාය. ශ්‍රී ලංකා පොලීසියේ වාර්තා වලට අනුව 2001 වසරේදී පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරඟාවලියකට සහභාගී වූ පළමු බොක්සිං ක්‍රීඩිකාව ලෙස ද ඇය ඉතිහාසයට එක්ව තිබේ.

බොක්සිං විනිසුරු දිවියේ ඉහළම තැනට ගිය ගමන

2011 වසරේදී නෙල්කා පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං විනිසුරුවරියක් බවට පත් වුවාය.

''2009 වසරේදී ලංකාවේ බොක්සිං විනිසුරුවරියන් සඳහා ප්‍රථම වතාවට අයදුම්පත් කැඳව්වා. ඒකට මුලික වෙලා කටයුතු කළේ එවකට කාන්තා බොක්සිං සම්මේලනයේ සභාපතිනිය වු නීවා ඇඹුල්දෙනිය මහත්මිය. ඒ විභාගයේදී අපි හතරදෙනෙක් ප්‍රථම වතාවට කාන්තා විනිසුරුවරියන් ලෙස සුදුසුකම් ලැබුවා. ඒ අය අතරින් මට තමයි මුලින්ම අවස්ථාව ලැබුණේ බොක්සිං වළල්ල ඇතුළට ගිහින් විනිසුරු කාර්යයේ නියැලෙන්න.'' යනුවෙන් නෙල්කා කියා සිටියාය.

2013දී ඉතාලියේ පැවති බොක්සිං තරඟ තීරක විභාගයෙන් සමත්ව නෙල්කා අන්තර්ජාතික තුන්වන පෙළ විනිසුරුවරියක් ලෙස උසස් වීම් ලැබුවේ බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම තලයට පත් වෙමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2013දී ඉතාලියේ පැවති බොක්සිං තරඟ තීරක විභාගයෙන් සමත්ව නෙල්කා අන්තර්ජාතික තුන්වන පෙළ විනිසුරුවරියක් ලෙස උසස් වීම් ලැබුවේ බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම තලයට පත් වෙමිනි.

අන්තර්ජාතික බොක්සිං තරඟයක් විනිශ්චය කළ ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව ද වන ඇය 2011 වසරේ ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් පුර්ව තේරීමේ තරඟ වලදී විනිසුරුවරියක ලෙස පෙන් වූ ප්‍රවීණතාවය හේතුවෙන් දෙවන දිනයේම අන්තර්ජාතික දෙවන පෙළ විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබුවාය.

ඉන් අනතුරුව 2013දී ඉතාලියේ පැවති බොක්සිං තරඟ තීරක විභාගයෙන් සමත්ව නෙල්කා අන්තර්ජාතික තුන්වන පෙළ විනිසුරුවරියක් ලෙස උසස් වීම් ලැබුවේ බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම තලයට පත් වෙමිනි.

තාත්තට කියන්නට නොහැකි වූ සුබ පණිවුඩය

2020 තෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා බොක්සිං විනිසුරුවන් හා තරඟ තීරකයන් තෝරාගැනීමේ පරීක්ෂණ පැරිස් නුවර පැවැත්වුණි. ඒ සඳහා සභාගිවී සිටින අතරතුර නෙල්කාට ඉතා සංවේදී පුවතක් අසන්නට ලැබුණාය. ඒ තමන්ගේ ලෝකයේ වීරයා වුණු තාත්තා මියගිය ඛේදජනක පුවතයි. පසු දිනම ඇය ලංකාවට පැමිණියාය. නිවසට පැමිණ පියාගේ දේහය දකින්නත් කලින් ඇයට විශේෂ පණිවුඩයක් ලැබුණි. ඒ ඇය ඔලිම්පික් විනිසුරුවරියක ලෙස තෝරාගෙන ඇති බවය.

එහෙත් ඒ සුබ පණිවුඩය පියාට කියන්නට දෛවය ඇයට ඉඩ ලබා දුන්නේ නැත.

''මේ පුංචි රටට විනිසුරුවරියක් ලෙස කීර්තියක් ලබා දෙන්න හැකිවීම ගැන මම සතුටු වෙනවා.''

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ''මේ පුංචි රටට විනිසුරුවරියක් ලෙස කීර්තියක් ලබා දෙන්න හැකිවීම ගැන මම සතුටු වෙනවා.''

''බොක්සිං වළල්ල මට අලුත් තැනක් නෙමෙයි. මම ක්‍රීඩා කරපු තැන. මම හිතනවා මම රින් එකට නැගීම තුළම, ක්‍රීඩකයන් දෙස බලන ආකාරය අනුව ඔවුන් දන්නවා මේ රෙෆ්රිත් එක්කනම් හරියට ක්‍රීඩා කළේ නැති වුණොත් බේරෙන්න බැහැ කියන එක. ඒ මතය ජාත්‍යන්තරය තුළ තිබීම අපේ භාෂාවෙන් කිවුවොත් හරිම ගැම්මක්.''

''ඔලිම්පික් තරඟාවලියක කිසිම අවස්ථාවක විනිසුරුවරියකට හෝ විනිසුරුවරියකට අවසාන තරඟ දෙකක් විනිශ්චය කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. නමුත් බොක්සිං කාර්ය සාධක බලකාය මෙවර වෙනස් පියවරක් අනුගමනය කරමින් ඇමරිකානු සහ අප්‍රිකානු විනිසුරුවරු දෙදෙනෙක් සහ මට ප්‍රථම වතාවට අවසන් තරඟ දෙකක් විනිශ්චය කරන්න අවස්ථාව දුන්නා. මේ වෙලාවේ ඔලිම්පික් මට්ටමේ සහ ලෝක මට්ටමේ බොක්සිං දක්ෂතා දක්වලා අපි ඉහළ ස්ථානයක ඉන්න රටක් නෙමෙයි. නමුත් මේ පුංචි රටට විනිසුරුවරියක් ලෙස කීර්තියක් ලබා දෙන්න හැකිවීම ගැන මම සතුටු වෙනවා.'' යනුවෙන් නෙල්කා විස්තර කළාය.

ඔලිම්පික් තරඟ විනිශ්චයෙන් පසු විනිසුරු දිවියෙන් සමු ගැනීමට ඇය සැළසුම් කර තිබුණාය. එහෙත් ඔලිම්පික් විනිසුරුවන් ලෙස ක්‍රියා කළ හය දෙනා අතරින් නෙල්කාට පමණක් 2021 ලෝක ශුරතා බොක්සිං තරඟාවලිය විනිශ්චය කිරීමට අවස්ථාව හිමිවූ බව ඇය පවසන්නීය.

''බොක්සිං වළල්ල තුළ නීතියක් තිබුණට ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර එහෙම නෑ. එතන තියෙන්නේ එකිනෙකට ගරු කිරීමක්.''

ඡායාරූප මූලාශ්‍රය, FB/NELKA SHIROMALA

ඡායාරූප ශීර්ෂ වැකිය, ''බොක්සිං වළල්ල තුළ නීතියක් තිබුණට ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර එහෙම නෑ. එතන තියෙන්නේ එකිනෙකට ගරු කිරීමක්.''

නෙල්කා දියණියකගේ මවකි. ඇගේ සැමියා පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. බොක්සිං තරඟ සඳහා නිතර විදේශගත වනවිට සහ පොලිස් නිලධාරිණියක ලෙස කාර්යබහුල රාජකාරී දිවියට සැමියාගෙන් ලැබෙන සහය ගැන ද ඇය සිහිපත් කළාය.

''බොක්සිං වළල්ලෙන් පිට ලෝකය හරිම සැහැල්ලුවෙන් ගෙවනවා. බොක්සිං වළල්ල තුළ නීතියක් තිබුණට ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර එහෙම නෑ. එතන තියෙන්නේ එකිනෙකට ගරු කිරීමක්. අපි හරිම අවබෝධයෙන්, සුහදව එකිනෙකා තේරුම් අරගෙන ජීවත් වෙනවා.'' යනුවෙන් ඇය පැවසුවාය.

මේ ගැනත් කියවන්න: