ටෘඩි නිමාලි සෙනෙවිරත්න: බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබන ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරිය

වෛද්‍ය ටෘඩි සෙනෙවිරත්න

ඡායාරූප මූලාශ්‍රය, Twitter/ trudi seneviratne

කියවීමේ කාලය: මිනිත්තු 3

දේශපාලනය, සෞඛ්‍ය සේවය, කලාව, ක්‍රීඩාව සහ සමාජ සේවය වැනි විවිධ අංශවලින් රටට සේවය කරන විශාල පිරිසකට බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින වාර්ෂිකව සම්මාන ප්‍රදානය කරන්නීය.

2019 වසරේ ද නව අවුරුදු උදාවත් සමග රැජින අතින් එවැනි සම්මාන ලබන පිරිස මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. ඒ අතර ශ්‍රී ලාංකික වෛද්‍යවරියක ද සිටී.

ඇය මෝඩ්ස්ලි ජාතික සෞඛ්‍ය පදනමේ විශේෂඥ මනෝ චිකිත්සක නිමාලි සෙනෙවිරත්න ය. (Dr Gertrude Nimali Seneviratne)

"අනේ මම දැන් සිංහලෙන් කතාකරන්නෙම නෑ," වෛද්‍ය ටෘඩි නිමාලි සෙනෙවිරත්න සිනහසෙමින් බීබීසී සිංහල සේවය සමග සංවාදය ආරම්භ කළේ එලෙසිනි.

එසේ පැවසූ නමුත් ඇය හැකි තරම් සිංහලෙන් කතා බහ කිරීමට උත්සහයක යෙදුනාය.

"මට හරිම සන්තෝසයි. කියන්නේ මම හිතුවේ නෑ. කොහොමද කියන්නේ ... මේක ලැබේවි කියල මම හිතුවෙම නෑ."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

වෛද්‍යවරයෙකු සහ හෙදියකගේ දියණිය ලෙසින් ශ්‍රී ලංකාවේ උපත ලබා, හත් හැවිරිදි වියේදී බ්‍රිතාන්‍යයට පැමිණි ටෘඩි, මේ වනවිට ලන්ඩනයේ වෙසෙන ඉහළ පෙළේ මනෝ චිකිත්සකවරියකි.

කතෝලික පවුල් පසුබිමක හැදී වැඩුන ද, ලන්ඩන් නුවරදී ඇය සිංහල භාෂාව හැදෑරුවේ, ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ ඉරිදා දිනවල පැවැත්වෙන සිංහල භාෂා පන්තියෙනි.

මේ ගැනත් කියවන්න:

නව වසරේ රැජිනගේ සම්මාන

ඡායාරූප මූලාශ්‍රය, Www.gov.uk

සම්මානය ලැබුනේ ඇයි?

බීබීසී සිංහල සේවය මතු කළ ඒ ප්‍රශ්නයට සිංහල භාෂාවෙන් පිළිතුරු දීම ඇයට දුෂ්කර විය. එබැවින් මෙතැන් සිට ඇය අදහස් පළ කළේ ඉංග්‍රීසි භාෂාවෙනි.

ගර්භනී අවස්ථාවේ, දරු උපතේදී සහ උපතින් පසුව කාන්තාවන්ගේ මනෝ සෞඛ්‍යය වෙනුවෙන් මෙන්ම දරුවන්ගේ මනෝ සෞඛ්‍ය වර්ධනය උදෙසා කටයුතු කරන (Perinatal Psychiatrist) විශේෂඥ වෛද්‍යවරියකි.

දරුවාගේ පියා සහ සමස්ත පවුලේ මානසික සෞඛ්‍යය ද ඇයගේ විෂය පථයට ඇතුළත්ය.

"මෙතෙන්දි ප්‍රධානම වෙන්නේ අම්මා සහ දරුවා. මොකද සමහර වෙලාවට ඒ දෙන්න අතර සම්බන්ධතාව ගැන ගැටළු මතුවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අම්ම, දරුවා භාර නොගන්න අවස්ථා තිබෙනවා," ඇය විස්තර කළාය.

දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය ද වෛද්‍ය ටෘඩි නිමාලි සෙනෙවිරත්නගේ පථයට ඇතුළත්ය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය ද වෛද්‍ය ටෘඩි නිමාලි සෙනෙවිරත්නගේ විෂය පථයට ඇතුළත්ය

පර්යේෂණ සහ ප්‍රතිකාර

"මම මූලිකවම මනෝ චිකිත්සකවරියක් නමුත් මම ගොඩක් මගේ ක්ෂේත්‍රය ගැන පර්යේෂණ කරල තියෙනව."

මනෝ විද්‍යාව පිළිබඳ පර්යේෂණ කෙරෙහි තමන් යොමු කළ මහාචාර්ය චන්නි කුමාර් (Professor Channi Kumar) කෘතවේදීව සිහිපත් කරන විශේෂඥ වෛද්‍ය ටෘඩි සෙනෙවිරත්න, 1979 දී ඔහු ආරම්භ කළ ඒකකයේ වර්තමානයේ සේවය කිරීමට ලැබීම භාග්‍යයක් බව ද බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

ලන්ඩනයේ මනෝ විද්‍යාව පිළිබඳ ආයතනයේදී මුලින්ම 1996 දී වෛද්‍ය පර්යේෂණ කෙරෙහි යොමු වූ ඇය, එවක පටන් පර්යේෂණවලින් ඉවත් නොවූ බව සඳහන් කළේ සතුටෙන් සිනහ සෙමිනි.

2000 වසරේදී මහාචාර්ය චන්නි කුමාර් දිවියෙන් සමුගත් බැවින් තමන්ට ඔහු සමග පර්යේෂණවල යෙදෙන්නට හැකි වූයේ වසර තුනක පමණ කෙටි කලක් බව ද ඇය කණගාටුවෙන් කියා සිටියාය.

"ඒත් ඒ කෙටි කාලයේදී, අපි හිතාගන්න බැරි තරම් වැදගත් වැඩ කොටසක් කළා. උදාහරණයක් විදියට රටවල් දහයක රෝගීන් යොදාගෙන දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන විෂාදය (Postnatal Depression) ගැන පුළුල් පර්යේෂණයක් කළා."

එමෙන්ම, මානසික ව්‍යාධීන් සහිත කාන්තාවන් ආරක්ෂිතව සිය දරුවන් හදා වඩාගන්නේ කෙසේ දැයි යන්න ඇතුළු, කරුණු ගණනාවක් පිළිබඳව ද ඇය පර්යේෂණ පවත්වා තිබේ.

"එත් මහාචාර්යතුමා නැතිවුනාට පස්සේ මම තීරණය කළා පර්යේෂණවලට වඩා සායනවලට යොමුවෙන්න."

සිය දීර්ඝ කාලීන සායනික අත්දැකීම් අතරවාරයේ දරු ප්‍රසූතිය හා සම්බන්ධ බොහෝ වේදනාබර අත්දැකීම් තමන්ට අසන්නට ලැබුන බව ද වෛද්‍ය ටෘඩි නිමාලි සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

එවැනි අත්දැකීම් අසන විට ඔබත් මානසික ආතතියකට ලක් නොවන්නේද?

"ඒක හොඳ ප්‍රශ්නයක්, මම හිතන්නේ වෛද්‍යවරියක් විදියට අපි පුහුණුවෙලා ඉන්නේ හැකිතරම් ස්වාධීනව ඉන්න කොයි තරම් දුක, වේදනාව අහන්න ලැබුණත්. ඒ නිසා මම හිතන්නේ නෑ මම විෂාදිය වගේ තත්වෙකට පත්වුනා කියල. හැබැයි, පැහැදිලිවම මටත් දුක හිතෙනවා."

සාමාන්‍යයෙන් තමන් "ඉතා සුභවාදී" තැනැත්තියක බව පවසන වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ එසේ දුක දැනෙන මොහොතක ජීවිතයේ සතුටුදායක දේ ගැන සිත යොමු කිරීම තම සිරිත බවය.

"මම කියවනවා. මම සංගීතයට ආසයි. මට හොඳ පවුලක් තියෙනවා. මම පුතාල දෙන්න එක්ක කාලය ගතකරනවා වැඩ නොකරන වෙලාවට. මම යෝගාවලට කැමතියි. භාවනා කරන්නත් කැමතියි."

සිය පියා, වෛද්‍ය කේ ඩී සී සෙනෙවිරත්න වසර 16කට පෙර මෙලොව හැර ගිය නමුත් විශ්‍රාමික හෙදියක වන සිය මව, ලීනා සෙනෙවිරත්න සිය සම්මානය ගැන ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටින බවත් වෛද්‍ය ටෘඩි නිමාලි සෙනෙවිරත්න අවසන් වශයෙන් කියා සිටියාය.

"අම්මගේ සතුට කියාගන්න බැරි තරම්. ඇත්තටම එයාල බ්‍රිතාන්‍යයට ආපු කාලේ ගොඩක් දුක් විඳපු අය. ඒගොල්ලෝ පුදුම දුෂ්කර ජීවිතයක් ගත කළේ. මට මතකයි පුංචි කාලේ මටත් ගොඩක් අමාරු කාලයක් තිබුණා."

තවත් කියවන්න: