පැරා-ඔලිම්පික්: ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනියි

ඡායාරූප මූලාශ්‍රය, Dinesh Priyantha
මලල ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීම F45 ඉසව්වට සහභාගී වූ ඔහු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේ නව ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි.
"මගේ සිහිනය සැබෑ වුණ එක ගැන හරිම සතුටුයි. ඒ ගැන කියන්න වචන නෑ." යනුවෙන් ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ධජය සිඹි දිනේෂ් පැවසීය.
සඳුදා (අගෝස්තු 30) පැවති එම ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත මීටර 67.79 වාර්තා කළ අතර රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනා පිළිවෙලින් මීටර 64.35 ක් සහ 64.01 වශයෙන් වාර්තා කළහ.
2016 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ පැරාලිම්පික් උළෙලට සහභාගී වූ ඔහු එම ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, olympics.com
කවුද මේ දිනේෂ් ප්‍රියන්ත?
ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර 2008 වසරේදී දිනේෂ් ප්‍රියන්තගේ වම් අතට වෙඩි වැදී තිබේ.
අතේ මාංශ පේශීවල ශක්තියට හානි වීම නිසා (Impaired muscle power) ඔහු අබාධිත ක්‍රීඩක කාණ්ඩයට ඇතුලත් වේ.
අනුරාධපුරයෙන් බිහි වූ ක්‍රීඩකයෙකු වන දිනේෂ්, 2019 වසරේ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වඩාත් කැපී පෙනෙන පැරා ක්‍රීඩකයා වශයෙන් සම්මානයට ලක් විය.
2018 වසරේදී ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලැබුවේ ඔහු විසිනි.
"මම පාසල් ශිෂ්‍යයෙකුව සිටියදීත්, පසුව හමුදාවෙදීත් කිසිම ක්‍රීඩාවක යෙදුනේ නැහැ. තුවාල වුණාට පස්සේ මම අවුරුදු හතරකට වැඩිය රෝහලේ සිටියා. ශ්‍රී ලංකාවේ යුද්ධය අතරතුර, 2008 දී මගේ අතේ තුන් පොළකට වෙඩි වැදුනා" යනුවෙන් දිනේෂ් සිය ජයග්‍රණයෙන් පසු කී බව ටෝකියෝ පැරාලිම්පික් නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මම පාබල හමුදාවේ සිටි නිසා එකම දවසෙදී මගේ යාළුවෝ බොහෝ දෙනෙක් තුවාල ලැබුවා. ඔවුන් එකිනෙකා සමග කතාබහ කරමින් රෝහලේ සිටියා."
"මට සුවය ලැබූ පසු විනෝදය සඳහා ක්‍රීඩාවක යෙදෙන්න අවශ්‍ය වුණා. මගේ බිරිඳ තමයි මට ඉන්න ලොකුම දිරි ගැන්වීම," යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.
"මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ බිරිඳ ඔවුන් හොඳින් රැක බලා ගන්නවා. ඇය මා දිරි ගන්වනවා. අපේ බාලම දරුවට තාම මාස අටයි. මගේ බිරිඳ ඒ සියලු දේ ඉටු කරනවා. ක්‍රීඩාවේ යෙදෙන්න ඇය මට නිදහස දී තිබෙනවා. මේ රන් පදක්කම වෙනුවෙන් මම මගේ බිරිඳට ස්තූතිවන්ත වෙනවා."
2012 වසරේදී පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු ගජබා ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර ප්‍රදීප් නිශාන්ත ඔහුගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
දිනේෂ් ප්‍රියන්තගේ බිරිඳ ටිසන්කා ද ක්‍රීඩිකාවකි.
මේ අතර පැරාලිම්පික් රන් පදක්කම දිනා ගැනීමත් සමග ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව යුද හමුදාපතිවරයා විසින් දිනේෂ් ප්‍රියන්තව සාජන්ට් නිලයේ සිට බලලත් නිලධාරී 01 දක්වා උසස් කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමකුත්

ඡායාරූප මූලාශ්‍රය, olympics.com
මේ අතර හෙල්ල විසි කිරීම F64 ඉසව්වට සහභාගී වූ දුලාන් කොඩිතුවක්කු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
එම ඉසව්වේදී දුලාන් මීටර 65.61 ක් වාර්තා කළ අතර රන් සහ රිදී පදක්කම් දිනා ගත් ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනා පිළිවෙලින් මීටර 68.55 ක් සහ 66.29 වශයෙන් වාර්තා කළහ.
පාසල් කාලයේ සිට මලල ක්‍රීඩාවේ යෙදුනු දුලාන් කොඩිතුවක්කු ආබාධිත කාණ්ඩයට අයත්ව තිබෙන්නේ පසු කලෙක සිදු වූ රිය අනතුරක් හේතුවෙනි.
මොකක්ද මේ පැරාලිම්පික්?
මාංශ පේශිවල ශක්තියට හානි වීම ඇතුළු ආබාධ සහිත මලල ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැරාලිම්පික් උළෙල පැවැත්වේ.
ඔලිම්පික් උළෙලක් අවසාන වී කෙටි කාලයක් තුළ එය පැවති සත්කාරක රටේදීම පැරාලිම්පික් උළෙල ආරම්භ වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසය 1948 දක්වා දිව යන්නකි.
එංගලන්තයේ ස්ටොක් මැන්ඩෙවිල් හි රෝහලක සේවය කළ වෛද්‍යවරයෙකු වූ ශ්‍රීමත් ලුඩ්වික් ගුට්මන් (Ludwig Guttmann), දෙවෙනි ලෝක සංග්‍රාමයේදී කොඳු ඇට පෙළට හානි වූ හමුදා භටයින් වෙනුවෙන් දුන්නෙන් විදීමේ තරඟයක් සංවිධානය කළේය.
ඒ, එම හමුදා භටයින් පුනුරුත්ථාපනය කිරීමේ වැඩසටහනේ කොටසක් වශයෙනි.
1952 වසරේ දී එය ජාත්‍යන්තර තරඟාවලියක් බවට පත් විය.
1960 රෝමයේ පැවති ඔලිම්පික් උළෙලෙන් පසු සත්කාරක රටේදීම පැරා තරඟ පැවැත්වීම ආරම්භ විය.
1988 දකුණු කොරියාවේ සෝල් නුවර පැවති ඔලිම්පික් උළෙලෙන් පසු, ඔලිම්පික් තරඟ අවසන් වීමත් සමග ඒ සඳහා යොදා ගැනුණු ක්‍රීඩාංගන සහ පහසුකම් යොදා ගෙන සත්කාරක රටේදීම පැරා ඔලිම්පික් තරඟ පැවැත්වීමේ සම්ප්‍රදාය ආරම්භ විය.
මේ වන විට, ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ රන් පදක්කම් 48 ක් දිනා ගනිමින් පෙරමුණේ පසු වන්නේ චීනයයි.
දෙවෙනි ස්ථානයේ පසුවෙන මහා බ්‍රිතාන්‍ය රන් පදක්කම් 25 ක් දිනා සිටින අතර තෙවෙන ස්ථානයේ පසුවෙන ඇමරිකා එක්සත් ජනපදය දිනා ඇති රන් පදක්කම් සංඛ්‍යාව 15 කි.
මේ ගැනත් කියවන්න:










