2020 ජාතික රතු දත්ත වාර්තාවෙන් අනාවරණය වෙන කරුණු මොනවාද ?

කෲඩියා සෙලනිකා 2020 නව රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයට ලක්වූ (Critically Endangered - CR) ශාකයක් ලෙස ලැයිස්තුගත කර තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, කෲඩියා සෙලනිකා 2020 නව රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයට ලක්වූ (Critically Endangered - CR) ශාකයක් ලෙස ලැයිස්තුගත කර තිබේ.
    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

2020 දේශීය ශාක පිළිබඳ ජාතික රතු දත්ත ලේඛනය සැප්තැම්බර් 03 වැනිදා ප්‍රකාශයට පත් කිරීමත් සමග ගම්පහ, දාරලුවේ පිහිටි කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය නැවතත් යොමුව තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා එම ශාකය ගැන මෑත ඉතිහාසයේ වඩාත් කතාබහට ලක්විය.

2012 ජාතික රතු දත්ත ලේඛනයට අනුව ශ්‍රී ලංකාවෙන් වඳවී ගිය ශාකයක් (Extinct) ලෙස ලැයිස්තුගත කර තිබූ කෲඩියා සෙලනිකා ශාකය 2020 නව රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයට ලක්වූ (Critically Endangered - CR) ලෙස ලැයිස්තුගත කර තිබේ.

''මේ රතු දත්ත ලේඛනය සකස් කරන්නේ ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) නිර්ණායකයන්ට අනුව. 2012 ලේඛනය සකස් කරන විට අපිට කෲඩියා සෙලනිකා ගැන වාර්තා තිබුණේ නෑ. නමුත් මේ වන විට අපි දන්නවා විශාල ගස් දහයක් වගේ සංඛ්‍යාවක් සහ පැල සීයක් විතර තියෙනවා කියන එක. ඒ නිසයි මේ වෙනස්කම සිද්ධ වෙලා තියෙන්නේ.'' යනුවෙන් පේරාදෙණිය, රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා බීබීසී සිංහල සේවයට පැවසුවාය.

ආවේණික ශාක වලින් 72.4% ක් තර්ජනයට ලක් වෙලා

පරිසර අමාත්‍යංශයේ, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය සහ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරය එක්ව, විශේෂඥ කමිටුවක් හරහා 2020 දේශීය ශාක පිළිබඳ ජාතික රතු දත්ත ලේඛනය සකස් කරන ලදී. එහි ප්‍රධානියා ලෙස ක්‍රියා කළ හන්තාන, මූලික පර්යේෂණ ආයතනයේ මහාචාර්ය සහ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර පැවසුවේ ශාක විශේෂ වලට ඇති තර්ජනය 2012ට සාපේක්ෂව 2020 දී වැඩිවී ඇති බවය.

''මේ සියවස ශාක විශේෂ 128ක් අපිට හමුවෙලා නෑ. අවේණික විශේෂ 54ක් ඊට ඇතුළත්. ''
ඡායාරූප ශීර්ෂ වැකිය, ''මේ සියවස ශාක විශේෂ 128ක් අපිට හමුවෙලා නෑ. අවේණික විශේෂ 54ක් ඊට ඇතුළත්. ''

ආවෘත බීජ ශාක (Angiosperms) හෙවත් මල් පිපෙන ශාක (Flowering plants) විශේෂ 3087 අතරින් විශේෂ 1496 තර්ජනයට ලක්ව ඇති බව 2020 ජාතික රතු දත්ත ලේඛනයේ දැක්වේ. එහි ප්‍රතිශතය 48.4%කි. 2012 රතු දත්ත ලේඛනය අනුව එම ප්‍රතිශතය 44%කි. 2020 ජාතික රතු දත්ත ලේඛනයට අනුව ආවේණික ශාක විශේෂ 863 අතරින් විශේෂ 625 ක් හෙවත් 72.4% ක් තර්ජනයට ලක්ව තිබේ. 2012 එම ප්‍රතිශතය පැවතියේ 66.6%ක් ලෙසයි.

''මේක alarming situation එකක්. මේ ජාතික ලේඛනය හරියට වෛද්‍ය වාර්තාවක් වගේ. අපි ළග දැන් 2012 වාර්තාවයි, 2020 වාර්තාවයි දෙකම තියෙනවා. ඒ නිසා සංරක්ෂණය සහ සංවර්ධනය කරන විට මේක ප්‍රයෝජනයට අරගෙන අපි නිවැරදි ක්‍රියාමාර්ග ගන්නවා නම් ඉතා වැදගත් වෙනවා.'' යනුවෙන් මහාචාර්ය සිරිල් විජේසුන්දර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

2012 ජාතික රතු දත්ත ලේඛනයට අනුව ශාක විශේෂ පහක් වඳ වී ගොස් ඇති බවට (Extinct) ලැයිස්තුගත කර තිබුණි. එහෙත් පසුගික කාලයේදී සිදු කෙරුණු පර්යේෂණ අනුව Crudia zeylanica, Rinorea decora සහ Rinorea bengalensis යන විශේෂ තුනම නැවත සොයා ගන්නා ලදී. එබැවින් 2020 වාර්තාවේ වඳ වී ගොස් ඇතැයි විශ්වාස කෙරෙන්නේ Strobilanthes caudata (Acanthaceae) සහ Blumea angustifolia (Asteraceae) විශේෂ දෙක පමණි.

''මේක alarming situation එකක්. මේ ජාතික ලේඛනය හරියට වෛද්‍ය වාර්තාවක් වගේ.'' - මහාචාර්ය සිරිල් විජේසුන්දර
ඡායාරූප ශීර්ෂ වැකිය, ''මේක alarming situation එකක්. මේ ජාතික ලේඛනය හරියට වෛද්‍ය වාර්තාවක් වගේ.'' - මහාචාර්ය සිරිල් විජේසුන්දර

''Strobilanthes caudata නෙලූ විශේෂයේ ශාකයක්. Blumea angustifolia කියන්නේ සූරියකාන්ත කුලයේ ශාකයක්. මේ විශේෂ දෙකේ අපි ළඟ තියෙන්නේ ජාතික ශාකාගාරයේ තැන්පත් කර ඇති වියළි නිදර්ශක පමණයි. මේ සියවස ශාක විශේෂ 128ක් අපිට හමුවෙලා නෑ. අවේණික විශේෂ 54ක් ඊට ඇතුළත්. අපි දන්නේ නෑ මේවා වඳ වෙලා ගියාමද කියලා. යළි දවසක වාර්තා වෙන්නත් පුළුවන්.'' යනුවෙන් මහාචාර්ය සිරිල් විජේසුන්දර කියයි.

ආවේණික ශාක කේන්ද්‍රගත වූ කලාප නමයක්

ජාතික රතු දත්ත ලේඛනය සැකසීම සඳහා භාවිත කළ දත්ත යොදාගෙන දක්ශිනී පෙරේරා සහ මහාචාර්ය සිරිල් විජේසුන්දර විසින් අවේණික ශාක පැතිරීම පිළිබඳ සිතියමක් සකස් කරන ලදී. ඒ අනුව ආවේණික ශාක කේන්ද්‍රගතව පවතින කලාප (Endemic Areas) 09ක් හඳුනාගත හැකිය.

  • 01. මධ්‍යම කඳුකරය
  • 02. නිරිත දිග තෙත් කලාපය
  • 03. කඳුකරයේ උතුරු කොටස
  • 04. කඳුකරයේ නැගෙනහිර කොටස
  • 05. රිටිගල
  • 06. දොළුකන්ද
  • 07. යාල
  • 08. විල්පත්තුව
  • 09 යාපනය
''වියළි කලාපයේ යාල, විල්පත්තු, හම්භන්තොට වගේ සමහර ප්‍රදේශ සහ යාපනය ගත්තොත් Unique endamic තත්වයක් දැකගන්න පුළුවන්''

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ''වියළි කලාපයේ යාල, විල්පත්තු, හම්භන්තොට වගේ සමහර ප්‍රදේශ සහ යාපනය ගත්තොත් Unique endamic තත්වයක් දැකගන්න පුළුවන්''

''බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ ආවේණිකත්වය වැඩිපුරම තියෙන්නේ තෙත් කලාපයේ විතරයි කියලා. වියළි කලාපය ගත්තොත් සංඛ්‍යාවෙන් අඩුයි තමා. නමුත් වියළි කලාපයේ යාල, විල්පත්තු, හම්භන්තොට වගේ සමහර ප්‍රදේශ සහ යාපනය ගත්තොත් Unique endamic තත්වයක් දැකගන්න පුළුවන්. සමහර විශේෂ අපිට දකින්න ලැබෙන්නේ මේ වියළි කලාපීය ප්‍රදේශවල පමණයි.'' යනුවෙන් මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

Crudia zeylanica ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන ශාකයක් ද ?

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ G.H.T Thawites විසින් කළුතර, ගල්පාත ප්‍රදේශයෙන් ලබා ගත් නිදර්ශකය ඇසුරෙන් Crudia zeylanica ශාකය පළමු වරට විස්තර කරනු ලැබුවේ 1864දී ය.

''ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් ලෙස දක්වමින්, මේ ශාකය මුලින්ම හඳුන්වාදීමේදී ලබා දී තිබුණු උද්භිද විද්‍යාත්මක නාමය වුණේ Detarium zeylanicum කියලයි. පසුව 1865 දී එහි විද්‍යාත්මක නාමය Crudia zeylanica ලෙස වෙනස් කෙරුණා. 1897දී D. Prain විසින් තායිලන්තයේ ශාක විශේෂයක් නම් කරලා තියෙනවා Crudia speciosa කියලා. ඒ වගේම 1900 දී Karl Schumann විසින් වියට්නාමයේ ශාකයක් Crudia chrysantha කියලා නම් කළා. ඇතැම් උද්භිද විද්‍යාඥයින්ට අනුව මේ ශාක දෙකත් Crudia zeylanica ශාකයයි. මෙය අණුක විද්‍යාත්මකව පර්යේෂණයකින් සනාථ වුනොත් අපිට කියන්න වෙන්නේ Crudia zeylanica ඒ රටවලත් තියෙන නිසා තවදුරටත් ආවේණික ශාකයක් නොවන බවයි. එසේ තහවුරුකරල නැති නිසා අපි Crudia zeylanica ආවේණික ශාකයක් ලෙස රතු දත්ත පොතට ඇතුල් කරල තියෙනවා.'' යනුවෙන් මහාචර්ය සිරිල් විජේසුන්දර බීබීසී සිංහල සේවයට අනාවරණය කළේය.

වනයෙන් වඳ වී ගොස් ඇති ශාක (Extinct in the wild )

ඇතැම් ශාක විශේෂ ස්වභාවික පරිසරයෙන් වඳ වී ගොස් (වනයෙන් වඳ වී ගොස් -Extinct in the wild ) තිබේ. එහෙත් ඒවා වගා කරන ස්ථානවල ඉතිරි වී පවතී.

01. Alphonsea hortensis

02. Eugenia xanthocarpa - ජම්බු කුලයේ ශාකයකි.

මේ ශාක දක්නට ලැබෙන්නේ උද්භිද උද්‍යානයේ පමණි.

''මෙන්න මේවායින් පෙන්වනවා උද්භිද උද්‍යානවල තියෙන වැදගත්කම. පරිසර අමාත්‍යංශයේ තියෙන ආයතන වලින් පරිසර පද්ධති ආරක්ෂා කරනවා වගේම උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් කරන්නේ ඇත්තටම පරිසරයෙන් පිටතට ගෙනල්ලා ශාක සංරක්ෂණය කරන එක. අපි හරියට මුදල්, රත්තරං බඩු ගෙදර තියාගන්නේ නැතුව බැංකුවේ දාලා ආරක්ෂා කරනවා වගේ. ඒ ගිනිගත්තත්, හොරු කැඩුවත් බැංකුවේ තියපු දේවල් තියෙනවා වගේ උද්භිද උද්‍යානවල ප්‍රධාන කාර්යය විතැන් සංරක්ෂණය.'' යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පර්ණාංග විශේෂ 350න් 42ක් ආවේණික වේ. ආවේණික පර්ණාංග විශේෂවලින් 28ක් හෙවත් 66.6%ක් තර්ජනයට ලක්ව තිබේ. මුළු පර්ණාංග විශේෂ වලින් තර්ජනයට ලක් වූ සංඛ්‍යාව 207ක් හෙවත් 59.1%කි. 2012 දත්ත හා සසදන විට එහි කැපී පෙනෙන වෙනසක් දක්නට නැත.

විවෘත බිජ ශාක ලෙස හඳුන්වන (Gymnosperms) කාණ්ඩයට අයත් මඩු ශාක විශේෂ දෙකක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර ඉන් මහ මඩු ශාකය (Cycas zeylanica) දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ වැඩි පැතිරීමක් සහිත මහා මඩු ශාක වලට සුනාමියෙන් විශාල හානියක් සිදු විය.

2020 ජාතික රතු දත්ත ලේඛනයේ ශාක හා මත්සයන්ට අදාළ කොටස සැප්තැම්බර් 03 වැනිදා නිකුත් කෙරුණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 ජාතික රතු දත්ත ලේඛනයේ ශාක හා මත්සයන්ට අදාළ කොටස සැප්තැම්බර් 03 වැනිදා නිකුත් කෙරුණි.

''2012 රතු දත්ත ලේඛනය සකස් කිරීමේදී අපි අවධානය යොමු කළේ මල් පිපෙන ශාක, විවෘත බිජ ශාක, මීවන සහ පර්ණාංග ගැන විතරයි. නමුත් ඒවාට අමතරව ඇල්ගී (Algae) , දිලීර (Fungi) , ලයිකන (Lichens) , තලස ශාක (Bryophytes), මීවන (Ferns) ගැන ලැයිස්තු ඉදිරිපත් කරල තියෙනවා.'' යනුවෙන් මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

ජාතික රතු දත්ත ලේඛනයේ වැදගත්කම

රතු දත්ත පොත ලෙස හඳුන්වන ජාතික රතු දත්ත ලේඛනයට ඇතුළත් වන්නේ වඳ වීමේ තර්ජනයට ලක්වූ ශාක පමණක් බවට ඇතැමුන් තුළ අදහසක් තිබේ. නමුත් සැබවින්ම සියලු ශාකවල නම් එහි දැක්වෙන අතර ඒවායේ තර්ජනයේ ස්වභාවය දක්වා ඇත. ඇතැම් ශාකවලට තර්ජනයක් නොමැති නම් ඒ බව ද පැහැදිළිව දක්වා තිබේ.

  • අධ්‍යන, ප්‍රතිපත්ති සහ සංරක්ෂණ කටයුතු සඳහා තොරතුරු සපයයි.
  • රටේ සංවර්ධන සැළැස්ම සහ සංරක්ෂණය පිළිබඳ තීරණ ගැනීමට වැදගත් වේ.
  • අධ්‍යාපනයට සහ දැනුවත් කිරීම සඳහා
  • විද්‍යාත්මක පර්යේෂණ සඳහා පදනම සැකසීම
  • සංරක්ෂණය සහ යෙදවීම් වෙන්කිරීමට මග පෙන්වීමක්

සබැඳි විෂයයන් ;