විදුලි කාර්: ඉන්ධන පිරවුම්හල්වලට 'මරණ දඬුවම' ලැබේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Dorien Monnens
විද්‍යුත් මෝටර් රථයක් මිලදී ගැනීම ගැන සිතන බොහෝ දෙනාට ඇති ලොකුම කනස්සල්ල නම් ආරෝපණය කර ගන්නේ කෙසේද යන්නයි.
නමුත් තවත් වසර ගණනාවකින් ඔබ ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය බවට පත්වන්නේ ඔබ විද්‍යුත් මෝටර් රථයක් නොගන්නේ නම් ඔබේ පෙට්‍රල් හෝ ඩීසල් වාහනයට ඉන්ධන පුරවන්නේ කෙසේද යන්නය.
එයට හේතුව ඉදිරි දශක දෙක තුළ ලොව පුරා විද්‍යුත් මෝටර් රථ භාවිතය ඉහළ යාමත් සමග ඉන්ධන පිරවුම්හල් ව්‍යාපාරයේ 'මරණය' සිදුවීමය.
එසේ සිදු වන්නේ ඇයි?
විද්‍යුත් මෝටර් රථයක් ආරෝපණය කිරීම පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථවලට ඉන්ධන පිරවීමට වඩා ඉදිරියේ දී සරල වනු ඇත.
නිකමට සිතා බලන්න, ලෝකය අනෙක් පසට යමින් විදුලි මෝටර් රථ භාවිතයේ සිට ඉන්ධන බලයෙන් ක්‍රියා කරන මෝටර් රථවලට මාරු වුවහොත් සිදු විය හැකි දේ පිළිබඳ..
ඔබට නව ඉන්ධන පිරවුම් මධ්‍යස්ථාන සඳහා අවදානම් තක්සේරුවක් සැකසීමට සිදු වේ. නගර මධ්‍යයේ පිහිටි භූමියක විශාල වලක් හාරා, ටැංකි කිහිපයක් දමා වහා ගිනිගන්නා සුළු ඉන්ධනවලින් ඒවා පිරවිය යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම ටැංකිය හරහා ඉන්ධන ලබා ගැනීමට බලවත් පොම්පයක් සවි කර, එයින් ඉන්ධන ලබා ගැනීමට අහඹු ලෙස මහජනතාවට ආරාධනා කළ යුතුය.
ඔවුන් උණුසුම් එන්ජින් සහිත වාහනවලින් පැමිණෙනු ඇත. වහා ගිනිගන්නා සුළු දියර විදින බලවත් පොම්පයක් ඔබ ඔවුන්ට භාර දෙනු ඇත.
කිසිදු අධීක්ෂණයකින් තොරව ඔවුන් වහා ගිනිගන්නා සුළු දියර විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ උණුසුම් වාහනයට පොම්ප කර, ඔබට මුදල් ගෙවා ඉවත්ව යනු ඇත.
ඔබ මෙම වෙනසට කැමති වේවිද? සෞඛ්‍යය හා ආරක්ෂාව සලකා බැලූ කළ මෙයට කොළ එළියක් ලබා දෙනු ඇතැයි ඔබ සිතනවාද?
පෙට්‍රල් සහ ඩීසල් සහිත මෝටර් රථවලට ඉන්ධන පොම්ප කිරීම භයානක ක්‍රියාවක් වීම නිසාම අප එය විශේෂයෙන් නිර්මාණය කරන ලද මධ්‍යගත ඉන්ධන පිරවුම්හල්වලදී පමණක් සිදු කරයි.
'විදුලිය වෙනස්'
විදුලි බලය ඊට හාත්පසින්ම වෙනස්ය. එය පහසුවෙන් ඕනෑම ස්ථානයකින් ලබා ගත හැකිය.
ඔබේ මෝටර් රථය දැන් තිබෙන්නේ කොහෙද? ඔබ සිතන්නේ එය විදුලි රැහැනක් අසල විය හැකිද?
අනිවාර්යයෙන්ම!

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එකම අභියෝගය වන්නේ එම විදුලිය අඩි කීපයක් පොළොවට ගෙනවිත්, එය ඔබේ මෝටර් රථයේ බැටරියට ඇතුළු කිරීමය.
ඒ සඳහා ඔබට තෝමස් එඩිසන් වීමට අවශ්‍ය නැත.
මේ සඳහා සෑම වාහන නැවැත්වීමේ ස්ථානයකම පාහේ විද්‍යුත් වාහනයක් (EV) ආරෝපණ කරන ස්ථානයක් තිබිය යුතුය. එක්සත් රාජධානිය, ජර්මනිය, එක්සත් ජනපදය වැනි රටවල මේ වන විට ද බොහෝ ස්ථානවල විදුලි මෝටර් රථ බැටරි ආරෝපණ කරන ස්ථාන සකසා තිබේ.
නමුත් ශ්‍රී ලංකාව අනාගතයේ දී විදුලි මෝටර් රථ භාවිතයට මාරු වීම ගැන ඉඟි පළ වුව ද, රථ ආරෝපණය කරන ස්ථාන රටපුරා තැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳ තවමත් පැහැදිලි සැලැස්මක් නොමැත.
ඇත්ත වශයෙන්ම, අපි එම මනෝරාජ්‍යයෙන් තවමත් බොහෝ ඈතක සිටින්නෙමු. නමුත් එය පුදුමයට කරුණක් ද නොවේ.
ශ්‍රී ලංකාවට විද්‍යුත් මෝටර් රථ?
යුරෝපා රටවල සේම 2030 හෝ 2040 වසර වන විට ශ්‍රී ලංකාවෙන් ද ඩීසල්, පෙට්‍රල් රථ හැකිතාක් භාවිතයෙන් ඉවත් කර, විද්‍යුත් මෝටර් රථ හඳුන්වා දිය යුතුයි යන්න 2017 වසරේ සිට වරින් වර මතු වී දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් වූ කරුණකි.
නමුත් තවමත් එම වෙනස වෙනුවෙන් ස්ථීර සැලැස්මක් නොමැත. කෙසේනමුත්, පෙට්‍රල් මිල වැඩි වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ජූනි 13 නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශනයක විද්‍යුත් රථ පිළිබඳ 'ඉඟියක්' ලබා දී තිබිණි.
"විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපීමට සිදු වී තිබේ. මේ බැංකු සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක් ණය ගෙවීමට ඇත.
මේ අනුව ඉදිරියේ දී පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා 60% ක් පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය. එබැවින් ප්‍රවාහනය සඳහා විද්‍යුත් රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර විද්‍යුත් රථ භාවිතය ප්‍රචලිත කිරීමත් ත්‍රීරෝද රථ සඳහා විද්‍යුත් එන්ජින් ලබාදීමත් මගින් ප්‍රවාහන පිරිවැයද ස්ථාවර කර ගත හැකියි," එහි තවදුරටත් සඳහන් විය.
මෙයට තවත් එක් හේතුවක් ලෙස දක්වා තිබුණේ, ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීම සහ ජනතාවගේ පෙණහලු ආශ්‍රිත රෝග වැඩි වීමය.
මෙම වසර මැද දී ශ්‍රී ලංකාවට විද්‍යුත් රථයක්?
අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති නලින් ජයරාජ් වෙල්ගම මාර්තු මස පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ, 2021 වසර මැද වනවිට රුපියල් ලක්ෂ 20ට අඩු පිරිවැයක් දරමින් ජනතාවට මිල දී ගත හැකි හතර දෙනෙකුට ගමන් කළ හැකි විද්‍යුත් හයිබ්‍රිඩ් තාක්ෂණය ද මුසුවූ රථයක් නිපදවන බවය.
මෙම කාර් රථය දැනටමත් සැලසුම් කර ඇති අතර, කි.මී. 60 - 70 ක වේගයෙන් ගමන් කළ හැකි "අලංකාර" හයිබ්‍රිඩ් විද්‍යුත් මෝටර් රථයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
නමුත්, මෙම වාහන ආරෝපණය කරන ස්ථාන ගැන තවමත් විධිමත් වැඩපිළිවෙලක් නොමැත.
මේ තොරතුරු ද කියවන්න:
වේගයෙන් පැමිණෙන වෙනස
ලෝකය තවමත් විදුලි විප්ලවයේ ආරම්භයේ සිටියි. නව මෝටර් රථවලින් 7%ක් පමණක් විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන ඒවා වන අතර මාර්ගවල දැකිය හැකි වන්නේ ද ඉතා සුළු ප්‍රමාණයකි. විද්‍යුත් මෝටර් රථ සඳහා විශාල වෙළෙඳපොළක් නොමැත.
එහෙත්, ලෝකයට වෙනසක් වේගයෙන් පැමිණෙමින් පවතින අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා ආයෝජන ද දක්නට ඇත.
ශතවර්ෂයකට පෙර මෝටර් රථ හඳුන්වා දෙන විට ඉන්ධන පිරවුම්හල් කර්මාන්තය විශාල ලෙස ඉහළ ගියා සේම, විදුලි වාහන හඳුන්වා දී මිලියන ගණනක් දෙනාට ඒවා ආරෝපණය කිරීමට අවශ්‍ය වූ විට එම කර්මාන්තයෙන් ද හොඳ ලාභයක් ලැබෙනු ඇත.
මෙම තාක්ෂණය සිය නිවසට ද ලබා ගත හැකිය.
නිවසේ විදුලිබල සැපයුමට අදාළව විශේෂ ආරෝපණ කේබල් සවි කර එක රැයකින් කාර් බැටරිය නැවත ආරෝපණය කරගත හැකිය.
සාමාන්‍යයෙන් මෙය මන්දගාමී ක්‍රියාවලියකි. ආරෝපණය කළ සෑම පැයකටම ඔබට සැතපුම් 30 ක් හෝ ඊට වැඩි දුරක් රිය පැදවිය හැකිවනු ඇත.
අනාගතයේ දී මෙම නවෝත්පාදනයන් බොහොමයක් අපට දැකගත හැකි වනු ඇත.
එක්සත් රාජධානිය ඇතුළු සමහර රටවල ව්‍යාපාර ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා ආරෝපණ ස්ථාන නොමිලේ පිහිටුවා තිබෙනු දක්නට ඇත.
ඇත්ත වශයෙන්ම, නොමිලේ ආරෝපණය කිරීමේ ස්ථානයක් තිබීම නොමිලේ Wi-Fi ලබා දීම හා සමාන වනු ඇති අතර මෙය ඔබව සාප්පුව තුළට ආකර්ෂණය කර ගැනීමේ සුළු අල්ලසක් ලෙස ද දැකිය හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔබ වාහනය නවතා තබන ඕනෑම ස්ථානයකින් එය ආරෝපණය කර ගත හැකි ලෝකයක් විද්‍යුත් වාහන පිළිබඳ සුභවාදීන් පින්තාරු කර පෙන්වා දී තිබේ. එම සිතුවමට අනුව නිදා සිටියදී, රැකියාවේ නිරත වන විට, සාප්පු යන විට හෝ සිනමා ශාලාවේ සිටින විට ද සිය විදුලි මෝටර් රථය ආරෝපණය කර ගත හැකිය.
සරලව කිවහොත් ඔබ කිනම් රාජකාරියක නියැලී සිටිය ද, ඔබේ මෝටර් රථයට බල ශක්තිය ගලා එනු ඇත.
එක්සත් රාජධානියේ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ සමාගමක හිමිකරු එරික් ෆෙයාර්බෙයාන් පවසන පරිදි, විදුලි මෝටර් රථ ආරෝපණය කිරීම්වලින් 97% ක් ඉන්ධන පිරවුම්හල්වලින් පිටත සිදුවනු ඇත.
"සෑම රාත්‍රියකම කවුරුහරි ඇවිත් ඔබේ මෝටර් රථය පෙට්‍රල්වලින් පුරවා යනවා වගේ දෙයක් සිතන්න. එවිට ඔබට සෑම උදෑසනකම සැතපුම් 300ක පරාසයක් වාහනය ධාවනය කරන්න පුළුවන්," ඔහු පවසයි.
"නමුත් ඊට වෙනස් දෙයක් නම් ඔබට කොපමණ වාරයක් අවශ්‍ය වෙනවා ද?"
මරණ දඬුවම
මෙම අනාවැකි නිවැරදි නම් අනාගතයේ දී එය රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට 'මරණ දඬුවක්' වනු ඇත,
ඉන්ධන පිරවුම්හල් කර්මාන්තයේ පරිහානිය පුදුම සහගත ලෙස ඉක්මණින් පැමිණිය හැකිය. ඒ ගැන සිතන්න. විද්‍යුත් මෝටර් රථ නිසා පෙට්‍රල් සහ ඩීසල් රථ ඉවත් වීම ආරම්භ වන විට, ඉන්ධන පිරවුම්හල් ව්‍යාපාරය ද අවම වනු ඇත.

මේ අනුව පෙට්‍රල් සහ ඩීසල් රථ රියදුරන්ට ඉන්ධන පිරවීම සඳහා සේවා ස්ථානයක් සොයා ගැනීම එතරම් පහසු නොවන අතර ලාභය පවත්වා ගැනීම සඳහා ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද ඉතිරිවන පිරවුම්හල්වලට දැනෙනු ඇත.
මේ අතර, ඔබේ විදුලි මෝටර් රථය ආරෝපණය කිරීම පහසු වනු ඇත. එපමණක්ද නොව, වෙළෙඳපොළ ඉහළ යන විට විදුලි වාහන මිලදී ගැනීම ලාභදායී වනු ඇත.
මෙය සිදුවන ආකාරය ඔබට දැන් වැටහෙනු ඇත. ඉන්ධන පිරවුම්හල් වැසෙන තරමට අප සියල්ලන්ම විදුලි මෝටර් රථ මිලදී ගැනීමට ඉඩ ඇත. අනෙක් අතට අනාගතයේ දී ඉන්ධන පිරවුම්හල් වැසීමට බල කෙරෙනු ඇත.
ඉන්ධන පිරවුම්හල්වලට 'මරණ දණ්ඩනය' යැයි හැඳින්වූයේ මේ හේතුවෙනි.








