ශ්‍රී ලංකාවේ රියදුරන් මේ නීතිය දන්නවාද? "මයි කාර්... මයි පැට්‍රොල්..." හැබැයි වැඩියෙන් පැද්දොත් දඩ!

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, තිසර අරවින්ද රතුවිතාන
- Role, BBC
"මයි කාර්... මයි පැට්‍රොල්... මට ඇති වෙනකල් මම පදිනවා..." වාහනය තමන්ගේ විය හැකිය. ඉන්ධන පුරවන්නේ තමන්ගේ මුදලින් විය හැකිය. එහෙත් තමන් කැමති වෙලාවක් සුක්කානම හැසිරවිය හැකිද?
"මම පඩිත් ගෙවනව නම්, ඕටීත් ගෙවනවනම් ඩ්‍රයිවර් වැඩ කරන්න ඕන මම කියන විදියටයි." තමන් වැටුප් ගෙවූ පමණින් තමන් කැමති ආකාරයකට රියදුරෙකුගෙන් වැඩ ගත හැකිද?
තමන්ගේ ම වාහනය පදවාගෙන යාමේ දී පවා රියදුරු අසුනේ වාඩි වී සිටිය හැකි උපරිම වේලාවක් නීති පොතේ දැක්වේ. එමෙන්ම, තමන්ට රිසි පරිදි තම රියදුරා සේවයේ පිහිටවිය නොහැකිය. ඒ සඳහා උපරිම වූ කාලසීමාවක් නීති සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබේ.
වැඩියෙන් පැද්දොත් දඩ!
ඇතැම් විට ඔබේ රියදුරාගෙන් සිදුවූ වරදට, උසාවියේ දී ඔබ වරදකරුවෙකු බවට පත්විය හැකිය.
රිය අනතුරුවලට හේතුව බීමත්ව රිය පැදවීම, අධික වේගයකින් රිය පැදවීම සහ නොසැලකිලිමත් රිය ධාවනය පමණක් නොවේ. පමණට වඩා වේලාවක් එක දිගට සුක්කානම හැසිරවීම ද අනතුරකට අත වැනීමකි.
"මයි කාර් මයි පැට්‍රොල් වුනත්" පැදවිය හැකි පැය ගණන සීමා කර ඇත්තේ ඒ හදිසි අනතුරු වලක්වා ගැනීමට ය.

ඡායාරූප මූලාශ්‍රය, SL TRAFFIC VIOLATIONS/FB
කෙතරම් දැඩි නීති පනවා තිබුණත් "යුද්දෙන් මැරුණට වඩා, මිනිස්සු මැරෙන්නේ මහ පාරේ..." යන කියමන අදටත් වලංගු බව පෙනෙන්නේ සංඛ්‍යා ලේඛන පිරික්සීමේදී ය.
2018දී රිය අනතුරුවලින් නැසී ගිය මිනිස් ජීවිත ගණන තුන් දහසකට අධිකය. 2019දී ද තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතයට සමු දුන්හ.
දෙමාපියන්ට දුවා දරුවන් අහිමි විය. දුවා දරුවන්ට මාපියන් අහිමි විය. තිස් වසරක යුද්ධයෙන් සිදු වූයේත් මෙය ම නොවේද? නමුත් මහමග යුද්ධය තවම නිමා වී නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, SLPolice
වැරදිකරුවන් අල්ලා දඬුවම් දීම ද අතෝරක් නොමැතිව සිදු වෙයි. 2018 දී රථවාහන වැරදි ලක්‍ෂ 40කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් පොතේ ලියැවිණි. 2019 දී අධික දඩ මුදල් පැනවූ නමුදු පොලිසියට හසු වූ වැරදි ප්‍රමාණය ලක්‍ෂ 35කට ආසන්නය.
2020...?
2020 ගැන කතා කරන විට කොරෝනා වසංගතය අමතක කළ නොහැකිය. මිනිසා බිත්ති හතරකට සීමා විය; සංචරණය සීමා විය. මහමග වාහන ධාවනය අඩු විය. එවැනි තත්ත්වයක් හමුවේ ලෝකයේ සෑම රටකම පාහේ රිය අනතුරු වාර්තාවීම ද අඩු විය.
ඒ කෙසේ වී නමුදු, 2020 ඔක්තෝම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව තුළ සිදු වූ 'රථවාහන වැරදි' ලක්‍ෂ 20කට ආසන්න ප්‍රමාණයකින් පොලිස් පොත පිරී තිබුණි.
2020 නොවැම්බර් මාසය අවසන් වන විට රිය අනතුරුවලට ගොදුරු වී මිනිසුන් 1900ක් මරණයට පත් විය. තවම කොරෝනා එතරම් සැහැසි වී නැත.

බීමත් කම සහ අධික වේගය බොහෝ රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් ලෙස සලකා ඊට දැඩි නීති පනවා තිබේ. දඩ මුදල් ඉහළ දමා තිබේ. නමුත් මෙම හේතු සාධක දෙකටම අයත් නොවන රිය අනතුරු නිරන්තරයෙන් වාර්තා වේ. රියැදුරු අසුන මත තමන් කොපමණ වේලාවක් සිටින්නේද යන්න පිළිබඳව සිහිපත් කිරීම වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේය.
"අධික ලෙස තෙහෙට්ටුවට පත්ව සිටියදී රිය ධාවනය කිරීම නිසා බොහෝ අනතුරු සිදු වෙනවා. ඒ රියදුරා පමණක් නොවෙයි, පාරේ ගමන් ගන්නා අනෙක් අයගේ ජීවිතත් නැති වෙන්න ඒක ප්‍රධාන හේතුවක්. ඒ නිසා මේ ගැන කතා කිරීම කාලෝචිතයි." රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච් ඒ කේ ඒ ඉන්දික හපුගොඩ අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Indika Hapugoda SSP
"වාහනයක් අතට ගන්නවා කියන්නේ ඉතා භාරධූර වගකීමක්. තමන්ගේ ජීවිතය, වාහනය තුළ සිටින ජීවිත පමණක් නොවෙයි; පාරේ ඉන්න අහිංසක දරුවන්ගේ හා දෙමාපියන්ගේ ජීවිතවල වගකීමත් රියදුරු අසුනේ සිටින කෙනාගේ අතේ තියෙන්නේ. රියදුරු අසුනේ ඉඳ ගන්න හැම අවස්ථාවකම මෙය සිහිපත් විය යුතුයි."
"අපි කොයි තරම් නීතිය දැඩි කළත් වැඩක් නැහැ, රියදුරන්ගේ විනය සහ හික්මීම නොමැතිනම්. මේ සඳහා ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනා. තමන් ගැන හිතන්න කලින් අනෙකා ගැන හිතන්න අපි පුරුදු වුනොත් අනතුරු ගොඩක් වලකිනවා. ජීවිත රැසක් රැකෙනවා."
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ තවදුරටත් කියා සිටියේ, අධික තෙහෙට්ටුවකින් සිටින විට හදිසි ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය තත්පරයකින් හෝ පමා විය හැකි බැවින් එම තත්පරය තුළ ජීවිත කීපයක ඉරණම වෙනස් විය හැකි බවය.

රියදුරු බලපත්‍රයක් ලබා දෙන්නේ රිය පැදවීම සඳහා කායික හා මානසික යෝග්‍යතාව සහිත පුද්ගලයෙකුට පමණි. නමුත් රියදුරු බලපත්‍රයක් සහිත පුද්ගලයෙකු සතු කායික හා මානසික යෝග්‍යතාව රිය පදවමින් සිටියදී ම බිඳී යන අවස්ථාවක් තිබිය නොහැකිද?
නීතිවේදී නදීජා ඩයස් කියා සිටියේ තමන් පිළිබඳ අධිතක්සේරුවකින් යුතුව කටයුතු කරන්නට යාම හේතුවෙන් මාරක අනතුරු සිදුවිය හැකි බවය.
"වාහනයක් ධාවනය කරන පුද්ගලයා කයින්, මනසින් දෙකින් ම හොඳ මට්ටමක සිටිය යුතුයි. අධික වෙහෙසට පත්වූ කෙනෙකු ගේ අවධානය ඉතා පහසුවෙන් ගිලිහී යා හැකියි. අධික වෙහෙසට පත් වූ කෙනෙකුට නින්ද හෝ විවේකය, ශරීරය විසින් ම ඉල්ලා සිටිනවා. මේ නිසා තමයි නොකඩවා රිය ධාවනයේ යෙදී සිටිය හැකි කාලයට සීමා පනවලා තියෙන්නේ."
පැය හතරහමාරක් පමණයි

ඡායාරූප මූලාශ්‍රය, Nadeeja Dias
"රියදුරෙකු ලෙස සේවයේ යෙදවිය හැකි කාල සීමා පැහැදිලිව සඳහන් කරමින් මෝටර් රථ විධිවිධාන පනතේ 169වැනි වගන්තිය ලියවිලා තියෙනවා. පැය 24ක කාල පරාසයක් ඇතුළත රියදුරෙකුට පැය 10ක අඛණ්ඩ විවේක කාලයක් ලබා දිය යුතුයි. ඒ කියන්නේ රියදුරෙකු සේවයේ යෙදවිය හැකි උපරිමය දවසකට පැය 14ක් පමණයි. හැබැයි ඒ කාලය ඇතුළත නොකඩවා වාහනයක් පැදවිය හැක්කේ පැය හතරහමාරක් පමණයි. සෑම පැය හතරහමාරකට ම පසුව රියදුරා පැය භාගයක් විවේක ගත යුතුයි. මේ අනුව දවසකට වැඩ කළ හැකි උපරිම පැය ගණන 14යි. ඊට පස්සේ පැය දහයක අඛණ්ඩ විවේකයක් සඳහා රියදුරා යළිත් මුදා හැරිය යුතුයි. තමන්ගේ ම වාහනය පදවාගෙන ගියත් මේ නීතියට යටත්ව එය කළ යුතුයි."නීතිඥ නදීජා ඩයස් පැහැදිලි කළාය.

මෙම විධිවිධානවලට පටහැනිව යම් රියැදුරෙකු සේවයේ පිහිටුවා ඇති බවට ඔප්පු වුවහොත් මෝටර් වාහන පනතේ 224වැනි වගන්තිය අනුව පොදු දණ්ඩනය යටතේ දඬුවම් පැමිණවිය හැකි බව නීතිඥවරිය පවසන්නීය.
"පොලිසිය ඕනත් නැහැ"
කෙසේ නමුත් පුරවැසියන්ගේ ආකල්ප වෙනස් වන්නේනම් රිය අනතුරු අවම කර ගැනීම ඉතා පහසු වන බව ඇයගේ මතයයි.
"තමන් වාහනයක් අතට ගන්නකොට හිතනවානම් තමන්ගේ ජීවිතය විතරක් නොවෙයි, තවත් ජීවිත ගණනක වගකීම තමන්ගේ අතේ තියෙන්නේ කියල, ඒ නිසා මම මේ ගමන ඉතා නීතිගරුකව විනය ගරුකව ඉවසීමෙන් නිමා කරනවා කියල, එදා ඉඳල පොලිසිය ඕනත් නැහැ. දඩ වැඩි කරන්න ඕනත් නැහැ. ඉබේම රිය අනතුරු අවම වෙනවා. රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි." නදීජා ඩයස් නීතිඥවරිය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Pushpa Zoysa

ඡායාරූප මූලාශ්‍රය, SL Police
රිය අනතුරු අවම කර ගැනීම සඳහා රියදුරන්ගේ මෙන්ම පදිකයන්ගේ ආකල්ප ද වෙනස් විය යුතු බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ අවධාරණය කරයි.
පදිකයන්ගේ වැරදි
"රියදුරන්ගේ වැරදි පමණක් නොවෙයි. පදිකයන්ගේ වැරදි සහ නොසැලකිලිමත් කම හේතු කොට ගෙනත් රිය අනතුරු සිදු වෙලා ජීවිත අහිමි වෙනවා. ඒ වගේම රථවාහන කළමනාකරණය අදාළ සියලු ආයතන අන්‍යොන්‍ය සම්බන්ධතාවකින් තොරව කටයුතු කිරීමත් අවම කර ගත යුතු වෙනවා. උදාහරණයක් හැටියට මාර්ග ඉදිකිරීම්, නඩත්තු, සහ සේවාවන්වලදී වර්ෂය පුරා එක් එක් ආයතන විසින් කැනීම් කටයුතු සිදු කරනු ලබනවා."
එය වලක්වා ගැනීම සඳහා රථවාහන කළමනාකරණයට අදාල සියලුම ආයතන ඒකාබද්ධ කරමින් කාර්ය සාධක බලකායක් ඇතිකර එහි ප්‍රධානියාට බලය පැවරීමට තමන් යෝජනා කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ අවිනීත රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ අනතුරු වලක්වා ගැනීම සඳහා වාහන හැසිරවීම සිදු කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් පොලිසියේ මානව සම්පත යොදා ගනිමිනි.
එම රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළ රථවාහන අංශ සඳහා අනුයුක්ත කර ඇති සමස්ත පොලිස් නිලධාරීන්ගේ ගණන 9389කි.
"මුළු රටම ආවරණය වන පරිදි මහමග රාජකාරි සඳහා යෙදවීමට අපට සිටින නිලධාරීන් සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි නිලධාරීන් නොමැති කලාපවල ඇතැම් රියදුරන් අපරික්‍ෂාකාරීව සහ අවිනීතව හැසිරෙන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"විද්‍යුත් තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම තුළින්, මාර්ගයේ පොලිස් නිලධාරීන් නොමැති අවස්ථාවක දී පවා රියදුරන් තුළ ස්වයං විනයක් ඇතිකර මාර්ග තදබදය සහ අනතුරු අවම කර ගන්න පුළුවන්. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය පියවර ගනිමින් සිටිනවා." ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.
විද්‍යුත් තාක්ෂණික ක්‍රමවේද
ලෝකයේ දියුණු රටවල දැනටමත් අනුගමනය කරන එවැනි ක්‍රමවේද කිහිපයක් ඔහු සඳහන් කළේය:
- රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම. (Demerit System)
- ක්‍ෂණික දඩ මුදල් පැනවීමට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් යොදා ගැනීම.
- රේඩියෝ සංඛ්‍යාත හඳුනාගැනීම් (RFID) සහ ගූගල් තාක්ෂණය යොදා ගැනීම.
- ගූගල් සිතියම් තාක්ෂණය ඔස්සේ මාර්ග තදබදය ඇති තැන් හඳුනාගෙන විකල්ප මාර්ග වෙත වාහන යොමුකරවීම.
- හඳුනාගත් ස්ථාන සඳහා කැමරා සවිකිරීම
- ලේසර් තාක්ෂණය සහිත වේග මාපක යන්ත්‍ර වැඩි වශයෙන් යොදා ගැනීම.
- පොලිස් නිලධාරීන් ගේ නිල ඇඳුම මත සවිකළ හැකි කැමරා ලබාදීම.
- බීමත් රියදුරන් හඳුනා ගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණ සැපයීම.









