විදුලි කාර්: පරණ බැටරිවලට මොනවද කරන්නේ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මේ කර්මාන්තය වර්ධනය වන වේගය දුටුවම බය හිතෙනවා," බර්මිංහම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය පොල් ඇන්ඩර්සන් පවසයි.
ඔහු මේ කතා කරන්නේ යුරෝපයේ විදුලි මෝටර් රථ වෙළඳපොල පිළිබඳව ය.
මේ තරම් වේගයකින්..?
2030 වසර වන විට යුරෝපීය මාර්ග මත විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ මිලියන 30ක් පමණ පවතිනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.
"මීට පෙර කිසි දිනක අලුත්ම නිෂ්පාදනයක් මේ තරම් වේගයකින් වර්ධනය වෙලා නැහැ," ආචාර්ය ඇන්ඩර්සන් පැවසීය.
විදුලි බලයෙන් ධාවනය කෙරෙන වාහනවලින් පරිසරයට කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හැරීමක් සිදු නොවන බව සැබවි. නමුත් මෙම වාහනවල ජීව කාලය අවසන් වූ පසු සිදු වන්නේ කුමක්ද?
අචාර්ය ඇන්ඩර්සන් ගේ අවධානය යොමු වී ඇත්තේ, විශේෂයෙන් ම මෙම වාහනවල බැටරි පිළිබඳව ය. පැරණි බැටරිවලට සිදු වන්නේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, LARS LANDMANN
"වසර 10ක් හෝ 15ක් අවෑමෙන් මේ බැටරිවල ජීව කාලය අවසන් වන විට මේ බැටරි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තත්වයක් පැවතීම ඉතා වැදගත් වෙනවා," ආචාර්යවරයා පෙන්වා දුන්නේය.
කෝෂ සිය ගණනක්
විදුලි මෝටර් රථවල අනෙකුත් උපාංග සාම්ප්‍රදායික මෝටර් රථයකට බොහෝ දුරට සමාන වුවත් එහි බැටරියේ විශාල වෙනසක් පවතී.
සාම්ප්‍රදායික වාහනවල පවතින බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීම පුළුල් වශයෙන් සිදු කෙරෙන නමුත් විදුලි වාහනවල පවතින 'ලිතියම්-අයන්' බැටරිය ප්‍රතිචක්‍රීකරණය කිරීම එතරම් පහසු යැයි සිතිය නොහැකිය.
සාම්ප්‍රදායික වාහනයක පවතින බැටරියට වඩා විදුලි වාහනයක පවතින බැටරිය විශාල ය. බරින් වැඩිය. එය නිෂ්පාදනය කර ඇත්තේ 'ලිතියම්-අයන්' (lithium-ion) කෝෂ සිය ගණනක් එක් කිරීමෙනි.
යම් හෙයකින් මේවා ප්‍රතිචක්‍රීකරණය කරන්නේ නම් මෙම කෝෂ එකින් එක වෙන් කළ යුතුය. මේවා තුළ අහිතකර ද්‍රව්‍ය පවතී. ඉන් උපද්‍රව ඇතිවිය හැකිය.
මෙම කෝෂ නිවැරදිව වෙන් නොකළ හොත් පුපුරා යාමකට ද ලක්විය හැකි තත්වයක් පවතී.
"දැනට ලෝකය පුරා ලිතියම්-අයන් බැටරි ප්‍රතිචක්‍රීකරණය කෙරෙන ප්‍රතිශතය හරියටම දැනගැනීම සඳහා සංඛ්‍යා ලේඛන ලබා ගැනීම ඉතා දුෂ්කරයි. නමුත් පරණ වූ බැටරිවලින් 5%ක් පමණක් එසේ සිදුවනු ඇති බවටයි කවුරුත් ඇස්තමේන්තු කරලා තියෙන්නේ. සමහර රටවල ඊටත් වඩා බොහොම අඩු ප්‍රතිශතයක්." අචාර්ය පොල් ඇන්ඩර්සන් ප්‍රකාශ කළේය.
නිසාන්
මෑතකදී යුරෝපා හවුල ඉදිරිපත් කළ යෝජනාවලින් පෙන්වා දෙන්නේ ජීව කාලය අවසන්වූ පසු කිසිදු නිෂ්පාදනයක් හිතුමතේ ඉවත ලෑමෙන් වැළකී සිටීමේ වගකීම විදුලි වාහන නිෂ්පාදකයන් විසින් දැරිය යුතු බවය.
එම නිසා විදුලි වාහන නිෂ්පාදකයෝ මේ වන විටත් එම වගකීම ඉටු කිරීම සඳහා පියවර ගනිමින් සිටිති.
නිසාන් මෝටර් රථ සමාගම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. පැරණි බැටරි වලින් ලබා ගන්නා කොටස් නව නිෂ්පාදන සඳහා යොදා ගැනීමට ඔවුන් දැනටමත් පියවර ගෙන ඇත.
වොල්ක්ස්වාගන්

ඡායාරූප මූලාශ්‍රය, OLIVIER GUERRIN
වොල්ක්ස්වාගන් සමාගම ද එම පියවර ඉදිරියට තබමින් මෑතක දී ප්‍රතිචක්‍රීකරණ අංශයක් ජර්මනියේ ස්ථාපනය කළේය. සිය නියමු ව්‍යාපෘතිය මගින් වසරකට බැටරි පද්ධති 3,600ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමට සැලසුම් කර තිබේ.
"මෙම ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් හැටියට බොහෝ අමුද්‍රව්‍ය බැටරියෙන් ඉවත් කරගැනීමට හැකිවෙලා තියෙනවා. පළමු පියවර වුනේ කැතෝඩ ලෝහ ඉවත් කර ගැනීම. ඒ කියන්නේ කොබෝල්ට්, නිකල්, ලිතියම් සහ මැන්ගනීස් වගේ ලෝහ." වොල්ක්ස්වාගන් සමාගමේ උපාංග ප්‍රතිචක්‍රීකරණ සැලසුම් අංශයේ ප්‍රධානි තෝමස් ටිඩියා පැවසීය.
"බැටරි පද්ධතියෙන් වෙන් කරගත් ඇලුමිනියම්, තඹ වගේ ලෝහ පිළිගත් ප්‍රතිචක්‍රීකරණ සමාගම්වලට භාර දෙනවා."
රෙනෝල්ට්
තමන්ගේ විදුලි මෝටර් රථවලින් ඉවත් කෙරෙන සියලුම බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා රෙනෝල්ට් මෝටර් රථ සමාගම මේ වන විට පියවර ගෙන ඇත.
නමුත් දැනට පවතින පහසුකම් යටතේ ඔවුන්ට ප්‍රතිචක්‍රීකරණය කළ හැක්කේ වසරකට බැටරි 200ක් වැනි ප්‍රමාණයක් පමණි. එයද ඔවුන් විසින් කරනු ලබන්නේ තවත් සමාගම් දෙකක සහයෝගය ඇතිවය.
"අපේ ඉලක්කය තමයි බැටරි ප්‍රතිචක්‍රීකරණ වෙළඳ පොලෙන් 25%ක් ආවරණය කිරීමේ හැකියාව අත්පත් කර ගැනීම. කොහොම වුනත් ඒක රෙනෝල්ට් සමාගම විසින් කළ යුතුව පවතින ප්‍රමාණය ඉක්මවා යනවා." රෙනෝල්ට් සමාගමේ උපායමාර්ගික පාරිසරික සැලසුම් අංශයේ උප සභාපති ජීන් ෆිලිපේ හර්මයින් පැවසීය.
"මේක ඉතාම විවෘත ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය කරන්නේ රෙනෝල්ට් බැටරි පමණක් සඳහා නොවෙයි; සියලුම බැටරි පද්ධති ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහායි. බැටරි නිෂ්පාදන කර්මාන්තශාලාවලින් ඉවත ලන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමත් මීට ඇතුලත් වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, UNIVERSITY OF BIRMINGHAM
මීට අමතරව 'Faraday Institution' වැනි විද්‍යාත්මක ආයතනවල අවධානය මේ සඳහා යොමු වී තිබීම තවත් කාරණයකි. ඔවුන්ගේ 'ReLiB' ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ විදුලි වාහන සඳහා භාවිතා කරන බැටරි පද්ධති ප්‍රතිචක්‍රීකරණය කිරීම වැඩි දියුණු කොට ප්‍රධාන ධාරාවේ ව්‍යාපාරයක් බවට පත් කිරීමය.
"වඩා කාර්යක්ෂම සහ ලාභදායී කර්මාන්තයක් පිළිබඳව අපි සිහින මවනවා. ඒ කියන්නේ එතරම් කාර්යක්ෂම නොවන - දැනට පවතින ක්‍රමවේද වැඩි දියුණු කිරීමට වඩා එහා ගිය ක්‍රමවේදයක් ගැන." එම ව්‍යාපෘතියේ ප්‍රධාන විමර්ශකයෙකු ලෙසද කටයුතු කරන ආචාර්ය ඇන්ඩර්සන් පැවසීය.
උදාහරණයක් හැටියට, දැනට පවතින බොහොමයක් ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද මගින් සිදු කෙරෙන්නේ ඉවත ලන බැටරිවල පවතින නිකල්, මැන්ගනීස්, කොබෝල්ට් සහ ලිතියම් යන ලෝහ මිශ්‍රණයක් ලෙස ඉවත් කර ගැනීමය.
රොබෝ තාක්ෂණය
ඒවා නැවත පාවිච්චි කළ හැකි ආකාරයට වෙන් කර ගැනීම සඳහා අධික ශක්තියකින් යුත් ක්‍රමවේදයක් භාවිතා කිරීමට සිදුවේ.
බැටරි පද්ධතිය තුළ පවතින කෝෂ එකින් එක මිනිස් දෑතින් වෙන් කොට ඉවත් කිරීම මගින් මෙම ලෝහ වර්ග වඩා කාර්යක්ෂමව වෙන් කර ගත හැකිවනු ඇත. නමුත් එමගින් මතුවන ප්‍රශ්න කීපයක් පවතී.
"චීනය වැනි ඇතැම් රටවල සෞඛ්‍ය ආරක්‍ෂිත නීති රීති සහ පාරිසරික නියාමනයන් වඩා ලිහිල් තත්වයක පවතිනවා. ඒ වගේම එවැනි රටවල කම්කරුවන් සඳහා පවතින තත්වයන් බටහිර සන්දර්භය තුළ පිළිගැනීමකට ලක්වන්නේ නැහැ." යනුවෙන් 'Faraday' ආයතනයේ පර්යේෂකයෙකු වන ආචාර්ය ගැවින් හාපර් ප්‍රකාශ කළේය.
"ඒ විතරක් නොවෙයි, බටහිර රටවල කම්කරු වැටුප මිල අධිකයි. එවැනි ආර්ථිකයක් තුළ මෙවැනි කර්මාන්තයක් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාම එක්සත් රාජධානිය තුළ දුෂ්කර වෙනවා."
ඔහු පවසන පරිදි ඊට පවතින එකම විසඳුම ස්වයංක්‍රිය යන්ත්‍ර සහ රොබෝ තාක්ෂණයයි.
"මේ ක්‍රියාදාමය ස්වයංක්‍රිය කළ හැකිනම්, එහි පවතින අනතුරුදායක බව නොසලකා හැරිය හැකියි. ඒ වගේම එය ආර්ථික වශයෙන් ඉතා ලාභදායී වෙනවා." ඔහු තවදුරටත් පැවසීය.
එමෙන්ම, විදුලි වාහන සඳහා භාවිතා කරන බැටරි ප්‍රතිචක්‍රීකරණය මගින් අත්පත් කර ගත හැකි වාසි පිළිබඳව ඉතා ශක්තිමත් තර්ක පවතී.
මෙම බැටරි පද්ධති නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන බොහෝ අමුද්‍රව්‍ය යුරෝපයෙන් හෝ එක්සත් රාජධානියෙන් අවශ්‍ය පමණට සොයා ගැනීම එතරම් පහසු නොවේ. එය සුළුකොට තැකිය නොහැකි කාරණයකි.
ආරක්ෂිතම ක්‍රමවේදය
"එක පැත්තකින් අපට කසල කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා. ඊට අමතරව මේ බැටරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කර්මාන්ත ශාලාවලට සැපයීමත් මෙමගින් සිදු වෙනවා." ආචාර්ය හාපර් පැහැදිලි කළේය.
"මහා බ්‍රිතාන්‍යය උදාහරණයක් හැටියට ගත්තොත්, කෝන්වෝල් ප්‍රදේශයේ ලිතියම් ටිකක් පවතිනවා තමයි. ඒත් කර්මාන්තශාලා වලට මහා පරිමාණයෙන් ලිතියම් සැපයීම අභියෝගයක් වෙනවා."
නිෂ්පාදකයාගේ පැත්තෙන් බලන කල අලුත් බැටරි සැපයුම ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සම්පත් ලබා දීමට නම්, පවතින ආරක්ෂිතම ක්‍රමවේදය පැරණි බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීමය.
"යුරෝපීය නිෂ්පාදකයන් ලෙස, නව නිෂ්පාදන සඳහා අවශ්‍ය සම්පත් සහ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දී ප්‍රවාහනය සහ කර්මාන්තයට සරිලන පරිදි එය කළමනාකරණය කර ගැනීමට අප උපායමාර්ගික ක්‍රමවේදවලට යා යුතුයි." අචාර්ය හර්මන් පැවසීය.
"මේ අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ප්‍රතිචක්‍රීකරණය හැරෙන්නට අපට වෙනත් මාර්ගයක් නැහැ. ජීවකාලය අවසන් වූ බැටරි තමයි අපට යුරෝපයේ තියෙන නාගරික ආකරය."
(බීබීසීයේ ව්‍යාපාර තාක්ෂනය පිළිබඳ වර්තාකාරිනි එමා වූලකොට් ගේ ලිපියක් ඇසුරෙනි.)











