මෝටර් රථ: ලොව සිව්වෙනි විශාලතම නිෂ්පාදකයා බිහිවීමට ආසන්නයේ

ලොව සිව්වෙනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහිවෙයි

ඡායාරූප මූලාශ්‍රය, ANADOLU AGENCY / GETTY IMAGES

යුරෝපයේ මුල් පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆියට් ක්‍රයිස්ලර් (Fiat Chrysler) සහ පීඑස්ඒ ගෲප් (PSA Group) ඩොලර් බිලියන 50 ක් වටිනා ඒකාබද්ධ වීම සඳහා වූ ගනුදෙනුවකට එකඟ වී තිබේ.

පීඑස්ඒ ගෲප්, පර්ජෝ සහ වොක්ෂෝල් මෝටර් රථ හිමිකාර සමාගමය.

බෙදාහදාගත් මිලදී ගැනුමේ ගිවිසුම් හා ඒකාබද්ධ තාක්ෂණික ක්‍රමවේද හරහා වාර්ෂිකව ඩොලර් බිලියන 4ක් ඉතිරි කරගැනීමේ අභිප්‍රාය ඇතිව කෙරෙන මෙම ඒකාබද්ධ වීම හරහා ලොව සිව්වෙනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහි කෙරෙනු ඇත.

පීඑස්ඒ සමාගමේ ප්‍රධානී කාර්ලොස් තවරෙස් නව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වනු ඇති අතරම ඔහුට අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්ථානයක් ද හිමි වේ.

ෆියට් ක්‍රයිස්ලර් සමාගම මේ වසරේදී ඒකාබද්ධ වීමකට යත්න දැරූ දෙවෙනි අවස්ථාව මෙම ගනුදෙනුවය.

ප්‍රංශයේ ප්‍රතිවාදියෙකු වන රෙනෝ (Renault) සමගම සමග ඒකාබද්ධවීමේ යෝජනාවක් මුලින් ඉදිරිපත් කළ ෆියට් ක්‍රයිස්ලර් සමාගමට ජුනි මාසයේදී ඉන් ඉවත්වීමට සිදුවූයේ රෙනෝ සමාගමේ 15% ක කොටස් හිමි ප්‍රංශ ආණ්ඩුව ඊට මැදිහත්වීම හේතුවෙනි. එම ගනුදෙනුව ඉදිරියට ගියේනම් ලොව තුන්වෙනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහිවීමට ඉඩ තිබිණි.

ෆියට් ක්‍රයිස්ලර් හා ප්‍රංශයේ පීඑස්ඒ සමාගම් ඒකාබද්ධවීම ඉදිරි මාස 12ත් 15ත් අතර සම්පූර්ණ වීමට නියමිතය.

එය සම්පුර්ණවීමට පෙර, පීඑස්ඒ සමාගමේ කොටස් මිලියන 30.7ක් හිමි චීනයේ තුන්ග්ෆන්ග් මෝටර් ගෲප් සමාගම එය සමාගමට විකුණා 12.7% ක් වූ සිය අයිතිය ඉවත්කරගනු ඇත.

මේ ගනුදෙනුව, එක්සත් රාජධානිය තුළ 3,000 ට පමණ රැකියා සපයා ඇති වොක්ෂෝල් මෝටර් රථ නිෂ්පාදනයේ අවධානයට යොමුව ඇත්තේ, කවර හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් ඊට බලපා හැකි බැවිනි. කෙසේවෙතත්, කුමන මෝටර් රථ නිෂ්පාදන ස්ථාන අලුත් සමාගම විසින් භාවිතයට ගනු ඇත්දැයි යන්න මෙතෙක් අදාළ සමාගම් දෙක විසින් ප්‍රකාශ කරනු ලැබ නැත.

ලොව සිව්වෙනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහිවෙයි

මේ අතර පසුගිය නොවැම්බරයේදී ඇමෙරිකානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ජෙනරල් මෝටර්ස් විසින් ෆියට් ක්‍රයිස්ලර් සමාගමට එරෙහිව නඩු පවරනු ලැබීය. ලාභ ප්‍රයෝජන ලැබීම සඳහා වෘත්තීය සමිති නිලධාරීන්ට ෆියට් ක්‍රයිස්ලර් සමාගම විසින් අල්ලස් දෙන ලද බව ජෙනරල් මෝටර්ස් සමාගමේ චෝදනාව විණි. මේ නිසා තමන්ට ඩොලර් මිලියන ගණනකින් පාඩු වූ බව එම සමාගම පැවසීය.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ ෆියට් ක්‍රයිස්ලර් සමාගම කියා සිටියේ ජෙනරල් මෝටර්ස් සමාගම විසින් තමන්ගේ ඒකාබද්ධවීමේ සැලසුම්වලට බාධා කිරීමට උත්සාහ දැරූ බවය. කෙසේවෙතත්, අදාළ නඩු කටයුත්ත සිය ඒකාබද්ධවීමට බල පා නැති බව ෆියට් ක්‍රයිස්ලර් සමාගමේ ප්‍රධානී මයික් මැන්ලී බදාදා (දෙසැම්බර් 18) පැවසීය.

මේ තොරතුරුද දැනගන්න: