එක්ස්ප්‍රස් පර්ල් නෞකාව: ගිනිගැනීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවෙන් ඉල්ලන්නේ මොනවාද?

x-press pearl

ඡායාරූප මූලාශ්‍රය, SL Airforce

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම නිසා හටගෙන ඇති පරිසර හානිය සහ ජනතාවට එල්ලවී ඇති බලපෑම වෙනුවෙන් පරිසර හිමිකම් කණ්ඩායම් වන පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය සහ ධීවරයින් ක්‍රියාකාරීන් විසින් අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශේෂ්ඨාධිකරණයේ ගොනු කළහ.

නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය රඳවා තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, නෞකාවේ හිමිකරුවන්ට සහ එහි නියෝජිතයින්ට එරෙහිව අවශ්‍ය සාපරාධී හා සිවිල් ක්‍රියාමාර්ග ගන්නා මෙන් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

එසේම මෙවැනි ආපදා ඉදිරියේදී වීම වැළැක්වීමට අදාළ නීති හා රෙගුලාසි සැදීමට රජයට නියෝග කරන ලෙස ද ඉල්ලා ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විදේශ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් ඇතිවූ සිද්ධිය පිළිබදව තම කණගාටුව පළ කළේය.

ඔහු පැවසුවේ පවතින සංචාරණ සීමා හේතුවෙන්, සිදුවී ඇති හානිය අවම කරගැනීම සඳහා පිරිසිදු කිරීම වැනි කාර්යයවල යෙදීමට අවශ්‍ය පුද්ගලයින් ලබාදිය නොහැකි වූවත් අවශ්‍ය යාන්ත්‍රික පහසුකම් සැපයීමට දැනටමත් තම සමාඟම කටයුතු කර ඇති බව ඔහු කියා සිටියේය.

පෙත්සම්කරුවන් කවුද?

  • පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය (සහතිකය) සීමිත සමාගම,
  • එහි විධායක අධ්‍යක්ෂ විතානගේ දොන් හේමන්ත රංජිත් සිසිර කුමාර
  • විජේතුංග අප්පුහාමිගේ හර්මන් කුමාර
  • අරුණ රොෂාන්ත ප්‍රනාන්දු.

වග උත්තරකරුවන් කවුද?

වග උත්තරකරුවන් 13 දෙනෙකි:

  • සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • ජෙනරාල් (විශ්‍රාමික) ආර්. එම්. දයා රත්නායක, සභාපති - ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • ඒ ඩබ්ලිව් සෙනෙවිරත්න, අධ්‍යක්ෂ ජනරාල් - වෙළෙඳ නැව්
  • මධ්‍යම පරිසර අධිකාරිය
  • ඒ. හේමන්ත ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල් - මධ්‍යම පරිසර අධිකාරිය
  • ආර්.ඒ.එස්. රණවක, අධ්‍යක්ෂ ජනරාල් - වෙරළ සංරක්ෂණය සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව,
  • ආචාර්ය පාලිත කිත්සිරි, අධ්‍යක්ෂ ජනරාල් -ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ඒජන්සිය,
  • එස්.ජේ. කහවත්ත, අධ්‍යක්ෂ ජනරාල් - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
  • රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික අමාත්‍ය,
  • මහින්ද අමරවීර - පරිසර අමාත්‍ය
  • ආචාර්‍ය නාලක ගොඩහේවා - රාජ්‍ය අමාත්‍ය - නාගරික සංවර්ධනය, වෙරළ සංරක්ෂණය, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පිරිසිදුකම,
  • එක්ස්ප්‍රස් ෆීඩර්ස් (X-Press Feeders)
  • සී කන්සෝර්ටියම් ලංකා (පුද්) සමාගම - (එක්ස්ප්‍රස් ෆීඩර්ස් හි දේශීය නියෝජිතයා
  • නීතිපති

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ප්‍රධාන කරුණු මොනවාද?

  • ධීවරයින්ට හා හානියට පත් ප්‍රදේශවල ධීවර කර්මාන්තයට සිදු වූ පාඩුව වෙනුවෙන් වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට උපදෙස්.
  • සංචාරක කර්මාන්තයට හා හානියට පත් ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ නියුතු අයට සිදුවූ පාඩුව සඳහා වන්දි.
  • විශේෂඥ කමිටුවක් පත් කිරීම මගින් මහජනයාට සිදුවිය හැකි හා සෞඛ්‍යමය බලපෑම් තක්සේරු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර එම මූලික හා අවසාන වාර්තා අධිකරණයට ඉදිරිපත් කර එමගින් නිර්දේශිත අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දෙන ලෙසත්, 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ හෝ වෙනත් නීතිවල විධිවිධාන ප්‍රකාරව වන්දි ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දීම.
  • එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් බැහැරවී ඇති ප්ලාස්ටික් පෙති / නර්ඩ්ස් සහ අනෙකුත් සුන්බුන් පරිසර හිතකාමී ලෙස බැහැර කරන ලෙස හෝ නැතහොත් එම අපද්‍රව්‍ය නැවත ප්‍රති අපනයනය කිරීමට 11 වන වගඋත්තරකරු වන එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් සහ 12 වන වගඋත්තරකරු වන දේශීය නියෝජිත සී කන්සෝර්ටියම් ලංකා වෙත යොමු කිරීම.
  • සියලුම අලාභ හා වන්දි මුදල් කැපවූ ගිණුමකට බැර කරන ලෙසත්, ප්‍රදානය කරන ලද වන්දි සහ / හෝ හානි උපයෝගී කර ගෙවීම් කරන ආකාරය සහ / හෝ භාවිත කිරීමට අදහස් කරන ආකාරය ගැන අධිකරණය දැනුවත් කිරීම.
  • සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ ඕනෑම ආකාරයක සමුද්‍ර ව්‍යසනයකට සාර්ථකව හා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ / හෝ විය හැකි දේ පිළිබඳ සැලැස්මක් සකස් කිරීමට බලධාරීන්ට උපදෙස් දීම.
  • මේ ආකාරයේ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අදාළ ජාත්‍යන්තර සම්මුතීන් අනුමත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සම්පාදනය කිරීමට, අදාළ ගිවිසුම්වලට එළඹීමට සහ පියවර ගැනීමට බලධාරීන්ට උපදෙස් දීම.
වීඩියෝ ශීර්ෂ වැකිය, X-PRESS PEARL නෞකාවේ අන්තරාකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81ක් පැවති බව හෙළිවේ

තවත් තොරතුරු ;