මුහුදුබත් වූ X-PRESS PEARL නෞකාව අවට 'විශාල තෙල් පැල්ලමක්'

නවතම චන්ද්‍රිකා ඡායාරූප නෞකාව ශ්‍රී ලංකාවේ මිගමු කළපුවට බටහිර දෙසින් දියබත් වී ඇති බව පෙන්නුම් කරයි
    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

රසායනික ද්‍රව්‍ය සහිතව සිංගප්පූරු ධජය යටතේ ගමන්ගත් ගින්නෙන් දැවී මුහුදුබත් වූ X-PRESS PEARL බහාලුම් නෞකාව දියබත් වූ ප්‍රදේශය අවට මුහුදේ තෙල් පැල්ලමක් නිරීක්ෂණය වී ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නැව බේරා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ තෙල් පැල්ලමක් නිරීක්ෂණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් සූදානම් බවයි.

"X-PRESS PEARL: තෙල් පැල්ලමක් ඇති වන බවක් පෙනෙන්නට තිබුණත්, විශේෂඥයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එම පැල්ලම ඉවත් කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා නොකිරීමට තීරණය කළ බව," ප්‍රධාන ඉංජිනේරුවරයා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

මුහුදේ රළු බව සහ පල්ලමේ ඝණත්වය අඩු බව හේතුවෙන් තත්ත්වය නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ සාගර පරිසර දූෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"තෙල් පැල්ලමක් මතුවෙලා තියෙනවා, අපි එය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටිනවා. අපි අදාල ස්ථානවලින් තෙල් සාම්පල ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. එපමණක් නෙමෙයි අපි දිනකට දෙවරක් අදාල ප්‍රදේශයේ ජායාරුප සහ වීඩියෝ දර්ශණ ලබා ගන්නවා. ඇත්තෙන්ම එය බැබළෙන දෙයක්," යනුවෙන් දර්ශනී ලහදපුර පැවසීය.

X-Press Pealr

ඡායාරූප මූලාශ්‍රය, SLNAVY

නෞකාව ගිලී ඇති ප්‍රදේශයේ ඇති ගැඹුරු අඩු බව නිසා, තෙල් පල්ලම දියකර හැරීම සඳහා යොදන රසායනික විසරණයන් භාවිත නොකරන ලෙස විශේෂඥයන් උපදෙස් දුන් බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

"අනෙක් ක්‍රමය නම් රසායනික විසරණයන් භාවිතා කිරීම නමුත් ප්‍රදේශයේ ගැඹුර මීටර් 25 ට අඩු නිසා, සාමාන්‍යයෙන් ගැඹුර මීටර් 25 ට අඩු නම් රසායනික විසරණයන් භාවිතා කරන්න එපා කියලා අපට උපදෙස් ලැබිලා තියෙනවා."දර්ශනී ලහදපුර පැවසුවේ නාවික සැතපුම් 1 සිට 1.5 දක්වා දිග සහ මීටර් 200 ක් පමණ තෙල් සිහින් තට්ටුවක් තම නිලධාරින් නිරීක්ෂණය කර ඇති බවයි.

මෙයට පෙර නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාම සඳහා එය ගලවාගැනීමට පැමිණි සමාගම ද සමඟ නාවික හමුදාව උත්සහ කළ ගින්නෙන් දැවුනු X-PRESS PEARL නෞකාව සම්පූර්ණයෙන් මුහුදේ ගිලී යාමට පෙර හැකිතාක් දුරකට ඇදගෙන යෑමට ගන්නා ලද ප්‍රයත්නය ජුනි 02 දා අතහැර දැමීමට සිදුවූයේ නැවේ පසුපස මුහුදු පතුලේ ගැටීම හේතුවෙනි.

මතුවූ තත්ත්වය හමුවේ නැවේ ඇති තෙල් කාන්දුවීමේ අවදානමක් පැවතියත් බලධාරීන් මෙයට පෙර පැවසුවේ නෞකාවේ ඇති බොරතෙල් සියල්ලම ගින්නෙන් දැවී විනාශවී ඇති බවයි.

එහෙත් තෙල් කාන්දු වුවහොත් දික්ඕවිට සිට මිගමුව, කැපුම්ගොඩ දක්වා තෙල් විසිරීමක් සිදුවිය හැකි බවට පරිසරවේදීන් හා විශේෂඥයන් දිගින් දිගටම අනතුරු ඇඟවූහ.

a dead fish from ship fire

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පරිසර වේදීන් පවසන්නේ නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට පමණක් නොව කලාපයටම එම තත්ත්වය බලපාන බවය.

කොළඹ වරායට නුදුරු මුහුදේ දින 13ක් ගිනි ගනිමින් තිබී ජුනි 17 වෙනිදා මුහුදුබත් වූ 'X-Press Pearl' නෞකාව තුළ:

  • නයිට්‍රික් අම්ල ටොන් 25 ක්
  • කෝස්ටික් සෝඩා
  • මෙතනොල්
  • සෝඩියම් මෙතොක්සයිඩ් ද්‍රාවණය
  • විනිල් ඇසිටේට්
  • රූපලාවන්‍ය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය අඩංගු විය

නෞකාව ගිනිගැනීමෙන් පසු මේ වන විට මියගිය මුහුදු සත්ත්වයන් සිය ගණනක ගේ සිරුරු රටේ විවිධ ප්‍රදේශවලට ගොඩගසා තිබිණි.

"මේ නෞකාව ගිලීමත් සමග දැන් ඉතාමත් ම ප්‍රබල පරිසර ගැටලුවලට ලංකාවට මුහුණ දෙන්න වෙනවා මොකද ඒකට හේතුව අන්තරාදායී අපද්‍රව්‍ය හෝ අන්තරාදායි ද්‍රව්‍ය මෙතන තියෙනවා," යනුවෙන් පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා බීබීසී සිංහල සමග පැවසීය.

"ලොකු වන්දියක් කියල හිතන්න එපා"

"ඒවගේම අපි දන්නවා නයිට්‍රික් අම්ලය තියෙන කන්ටේනර් රාශියක් තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් පෙලට්ස් රාශියක් මුහුදේ යටට යනවා. මේක ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයක් මොකද ඒකට හේතුව අපිට අපේ රටේ මුහුදේ විශාල වශයෙන් පරිසරයට හානිකරන්න පුළුවන් ද්‍රව්‍ය රාශියක් ම තියෙනවා. මේ ද්‍රව්‍ය කාලයත් එක්ක මේ කන්ටෙනර්ස් දිරන නිසා ඒවා ජලයට එකතු වෙනවා මේ එකතුවෙනවා කියන්නේ අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා. අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා කියන්නේ අපේ ධීවර කර්මාන්ත විනාශ වෙනවා විතරක් නෙමෙයි මේ අපේ ඒ ප්‍රදේශයේ මුහුද විතරක් නෙමෙයි මේ තුළින් අපේ මේ කලාපයටම හානියක් වෙනවා."

ඇය තවදුරත් පැවසුවේ ප්ලාස්ටික් කැට (plastic pellets) මෙන්ම රසායනික ද්‍රව්‍ය කලපු ප්‍රදේශයට ගලායාමෙන් කුඩා මත්ස්‍යයින් මෙන්ම ඉස්සන් හා ඉතා සංවේදී පරිසර පද්ධතියම අනතුරට ලක්වන බවය.

"ඒ වගේම භයානකම දේ තමයි මේ අන්තරාකාරී ද්‍රව්‍ය කුමක්ද කියන එක තවම පැහැදිලි කරලා නෑ. ඒ නිසා දැන් රජය වගකීමක් ගන්න ඕන ජනතාවට කියන්න කුමන ද්‍රව්‍ය ද මේ කන්ටිනේර්ස් වල තියෙන්නේ? කවුද මේ රෙස්කිව් එකට අපේ රටට සහභාගී වෙන්නේ ? ඒ වගේම මේ නැව අයිති සමාගම කුමක්ද කරන්න යන්නේ කියලා." යනුවෙන් ඇය පැවසීය.

"මෙකත් ලොකු වන්දියක් කියලා හිතන්න යන්න එපා මොකද ඒකට හේතුව මේක අපේ පරිසරයටත් රටටත් කරන විශාලම හානියක්. මොකද මේකේ කවදා හෝ විපාක දකින්න වෙනවා අපේ දරුවන්ගේත් දරුවන්ට. මම දකිනවා මේක අපේ ලංකාවට කරපු, අපේ මුහුදට කරපු, අපේ ධීවර කර්මාන්තයට කරපු ලොකුම ප්‍රබලම වැරැද්ද කියන එක. ඒ නිසා බලධාරීන් දැන් හිතන්න වෙනවා තමන්ගේ තනතුරු ගැනත්."

සාගර සහ මුහුදු පද්ධතිවලින් ජෛවගෝලයට ඇති බලපෑම සුළු කොට තැකිය නොහැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති. සමුද්‍ර දූෂණය හේතුවෙන් සමස්ත පරිසර පද්ධතියම පමණක් නොව සියලු ජීවීන් ද විශාල විනාශයකට මුහුණ දෙන්නට අවශ්‍ය පසුබිම සකසයි.

වනාන්තර මඟින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමට දක්වන දායකත්වයට සමාන දායකත්වයක් සාගරවලින්ද ලැබේ. මුහුදු පද්ධතිය දූෂණය වීම තුළ ජීවය පැවතීමට අවශ්‍ය කරන ඔක්සිජන් මට්ටම අඩුවී කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යන බව විද්‍යාඥයින්ගේ මතය වී තිබේ.

පරිසරවේදීන් පෙන්වාදෙන පරිදි වර්තමානයේ ලෝකය පුරා සමුද්‍ර ජීවීන්ට ඇති අති විශාලතම තර්ජනයක් වන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් නොඑසේ නම් මයික්‍රො ප්ලාස්ටික්(microplastic) ය. ජලයේ ශ්වසනය කරන සෑම සත්ත්වයකුගේම ශ්වසන පද්ධති අවහිර කිරීමට ක්ෂුද්‍ර ප්ලාස්ටික් හේතුවේ.

නැවේ ප්‍රවාහනය කළ බොහෝ උපද්‍රවකාරී ද්‍රව්‍ය අතර ප්ලාස්ටික් බෑග් සෑදීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වන නර්ඩල්ස් නමින් හැඳින්වෙන ප්ලාස්ටික් පෙති මෙට්‍රික් ටොන් 78 ක් තිබී ඇත. අනතුරේදී සාගරයට මුසු වූ එම ප්ලාස්ටික් පෙති කොළඹට දකුණින් පිහිටි වෙරළ තීරවලට දැනටමත් ගොඩගැසීය.

"මෙම ප්ලාස්ටි පෙති කැලණිය හා මීගමුව වැනි කලපු හා ගංගා පද්ධතිවලට සහ වරාය නගරයට ද පිවිසෙන්නට ඉඩ තිබෙනවා. ඒවා ප්‍රවාහනය කරනු ලබන්නේ සුළඟින් සහ ධාරා වලින් - මුහුදු වෙරළ මතුපිට රැඳී සිටින අතර ඒවා ජෛව හායනයට ලක් නොවන බැවින් සාගර පරිසරයේ සදහටම පවතිනවා" යනුවෙන් ඔහු පැවසීය.

චරිත පට්ටිඅරච්චි

ඡායාරූප මූලාශ්‍රය, Charitha Pattiaratchi

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙතින් ප්ලාස්ටික් පෙති බිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් මුහුදට එක්වී ඇති බැවින් ඒවායෙහි මාර්ගය පුරෝකථනය කළ විට ඒවා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට ඉදිරි දිනවලදී බටහිර වෙරළ තීරය හරහා උතුරු දෙසට ගමන් කරනු ඇති බව ඔහු වැඩිදුරටත් කීය.

පරිසරවේදීන් පවසන්නේ දූෂණ කාරක කාබනික සහ රසායනික ද්‍රව්‍ය සමුද්‍රයට එක් රැස් වීම නිසා යම් මුහුදු ප්‍රදේශවල ජීව පද්ධතියේ අසමතුලිතතා ඇති වන අතර ඇල්ගී වර්ග ආදිය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් මුහුදු පත්ලේ සහ ගල්පරවල සිටින ජීවීන් මිය යෑමට ඉඩ තිබෙන බවය.

මේ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය හමුවේ පැවසුවේ නෞකාව සම්බන්ධයෙන් මතුවූ තත්ත්වයට වගකිවයුත්තන්ට දඩුවම් ලබා දිය යුතු බවයි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය හමුවේ පැවසුවේ නැව් අනතුරින් සිදුවන හානිය ඉතාමත් බරපතල බැවින් වහාම නැව මෙම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට කටයුතු කරන්න යැයි ඉල්ලා සිටි බවය. එසේ ඉවතට ගෙන යා නොහැකිනම් නැවේ තෙල් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවය. කෙසේවෙතත්, මතුවී ඇති තත්ත්වය හමුවේ ධීවර ජනතාවට එල්ල වී ඇති බලපෑම වෙනුවෙන් ඉදිරිපත් වී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසීය.