පාස්කු ප්‍රහාරය: බුද්ධි අංශ පූර්ව අනතුරු ඇඟවීම් සහ එහි ගමන් මග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සුනෙත් පෙරේරා
- Role, BBC සිංහල
දෙසිය පනහකට අධික මිනිස් ජීවිත මිනිස් බෝම්බ මාලාවකට ගොදුරු වී දෙවසරක් ගතව ඇත. එදින දේවස්ථාන සහ සංචාරක හෝටල් වෙත පැමිණ සිටි කිතුනු භක්තිකයන් සහ විදේශිකයන් එම ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කය විය. එවැනි ප්‍රහාරයක් සිදු විය හැකි යැයි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්ව තිබුණු නමුත් ඉහත කී සාමාන්‍ය වැසියෝ ඒ පිළිබඳ නොදැන සිටියහ. දැන සිටියා නම් ඒ සියලු දෙනාටම හෝ අඩුම තරමේ ඉන් පිරිසකට හෝ දිවි බේරා ගැනීමට හැකිවනු ඇත.
පහත දැක්වෙන්නේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් විසින් 2019 අප්‍රේල් 21 ප්‍රහාර මාලාව දියත් කරනු ලැබීමට පෙර ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ ඇතැයි පැවසුනු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ සිදුවීම් පිළිබඳ බීබීසී සිංහල සේවය කළ පසු විපරමකි.

සිදු විය හැකි ප්‍රහාරයක් පිළිබඳ පළමුවරට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ 2019 අප්‍රේල් මස ආරම්භයේදීය. පහත දැක්වෙන්නේ එතැන් පටන් අප්‍රේල් 21 දක්වා ඒ පිළිබඳ නිකුත් කෙරුණු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ ගමන් මගය. (මූලාශ්‍ර: පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව)
2019 අප්‍රේල් 04
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත සිය මූලාශ්‍රයක් ඔස්සේ 'WhatsApp' හරහා මුල්ම පණිවුඩය ලැබී ඇත. ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වෙනිදා ඔහුට ලිඛිතව ලැබී තිබේ.
2019 අප්‍රේල් 07
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එම තොරතුර ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත ලබා දී ඇත.
2019 අප්‍රේල් 08
ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් එම ලිපිය පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර තිබේ.

2019 අප්‍රේල් 09
පොලිස්පතිවරයා විසින් එම ලිපිය:
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත - නන්දන මුණසිංහ
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, සංවිධානාත්මක අපරාධ, පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාස සහ විශේෂ කාර්ය බලකා - කමාන්ඩර් එම් ලතීෆ්
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව භාර - ප්‍රියලාල් දසනායක
- ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ - වරුණ ජයසුන්දර
යන නිලධාරීන් වෙත යොමු කරනු ලැබ තිබේ.
2019 අප්‍රේල් 10
තමා වෙත අදාළ තොරතුර ලැබීමෙන් පසු සහරාන් සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බව පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පවසයි.
සහරාන් විසින් පවත්වාගෙන යනු ලැබූ ෆේස්බුක් පිටුව අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත.


2019 අප්‍රේල් 11
ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳ මෙදින ජනාධිපතිවරයා දැනුවත් කරන ලද බවට මාධ්‍ය වාර්තා (ප්‍රහාරයෙන් පසුව).
2019 අප්‍රේල් 14/15/16
සහරාන් හෂීම් සහ ඔහුගේ සහායකයන් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන නිලධාරීන් ප්‍රදේශ ගණනක මෙහයුම් සිදු කොට ඇත.
2019 අප්‍රේල් 16

කාත්තන්කුඩි ප්‍රදේශයේ දුරබැහැර ස්ථානයක යතුරු පැදියක් පුපුරා ගොස් තිබිණි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් උපත ලැබුවේ ද කාත්තන්කුඩි ප්‍රදේශයේය. කාත්තන්කුඩිය, ඔහු නායකත්වය දුන් බව පැවසෙන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ තිඹිරි ගෙය ලෙස සැලකේ.
2019 අප්‍රේල් 18
කාතාන්කුඩි ප්‍රදේශයේ පිපිරීම සහරාන් හෂීම් විසින් සිදු කරන ලද බවත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවයි.
2019 අප්‍රේල් 19
රාජ්‍ය බුද්ධි සේවය විසින් හමුදා බුද්ධි අංශ වෙත එම බුද්ධි තොරතුරු දන්වනු ලැබ ඇත. රාජ්‍ය බුද්ධි සේවය විසින් බුද්ධි තොරතුරු පිළිබඳ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා දැනුවත් කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. (පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව)
"අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත ජයවර්ධන 19/04/20 දින සවස 05:00 ට පමණ ඇමතුමක් ලබා දී ප්‍රහාරයක් සිදුවන බව දන්වා සිටියේය. ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි අංශය රැස් කරගෙන ඇති බුද්ධි තොරතුරු මොනවාදැයි පොලිස්පති ජයසුන්දර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වෙතින් විමසීය. ඔහුගේ ප්‍රතිචාරය වූයේ එය විදේශ ප්‍රභවයෙන් ලැබෙන තවත් තොරතුරක් යන්නයි," (පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් පරිදි)
2019 අප්‍රේල් 20 පස්වරු 07:30

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා අමතා එළඹෙන දිනය භයානක බවත් යමක් සිදුවිය හැකි බවත් පවසා තිබේ. පොලිස්පතිවරයා එම අනතුරු ඇඟවීම අදාළ සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දන්වා තිබේ. රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විසින් 2019 අප්‍රේල් 20 වෙනි දින තමන්ට ද එවැනිම තොරතුරු ලබා දී ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටි බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. "මම පොලිස්පතිවරයාට කතා කළා. ඒ වන විටත් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විසින් ඔහුටත් එම තොරතුරු දැනුම් දී තිබුණා,"
2019 අප්‍රේල් 21 පෙරවරු 06:45
එදින භයානක දෙයක් සිදුවනු ඇති බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා නැවතත් කියා තිබේ. පොලිස්පතිවරයා නැවතත් අදාළ කණිෂ්ඨ නිලධාරීන් වෙත ඒ බව දැනුම් දී ඇත.
2019 අප්‍රේල් 21 පෙරවරු 08:27
"ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්."
රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙත ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී ඇති අවසන් බුද්ධි තොරතුර එයයි. උදෑසන 8.27ට ලැබුණ එම තොරතුර උදෑසන 8.32 වන විට පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට දැනුම්දුන් බව ඔහු පවසයි.
2019 අප්‍රේල් 21

දේවස්ථාන තුනක් සහ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරමින් ප්‍රහාර මාලාවක් එල්ල විය.
2019 අප්‍රේල් 22
පාස්කු ප්‍රහාරයෙන් පසු පළමු ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
2019 මැයි
බස්නාහිර සහ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් විරෝධී ප්‍රහාර මාලාවක් දියත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ප්‍රහාරය ගැන දන්වන ලද පාර්ශව කවුරුන්ද?
පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාව තුළ එවැනි ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් බුද්ධි අංශ විසින් අප්‍රේල් 11 වෙනිදා නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.
එවක ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එහි ඡායාරූප කීපයක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Harin Fernando
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද ලිපියේ සඳහන් කරුණු පහත පරිදිය:
- ලිපිය නිකුත් කර ඇත්තේ "සිදු වෙතැයි සිතිය හැකි සැලසුම්සහගත ප්‍රහාරයක තොරතුරු" යන ශීර්ෂය සහිතවය.
- එය පොලිස්පති පූජිත ජයසුන්දර වෙත යොමු කර ඇති බවත් ලිපියේ සඳහන් වේ.
- අධ්‍යක්ෂ/ ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ/ අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ/ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ/ තානාපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත ලිපියේ පිටපත් යොමු කර ඇත.
- "ජාතික තව්හිත් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන ලද බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා දී තිබෙන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමු කරමි," යනුවෙන් එහි සඳහන් වේ.
- ඒ අනුව එම වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ දැඩි අවධානය යොමු කර "ඔබ කොට්ඨාසය මගින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන්/ස්ථානවල ආරක්ෂාව පිළිබඳ ඉතාමත් දැඩි අවධානයකින් සහ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසට සියලුම නිලධාරීන් දැනුවත් කරන" ලෙස ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද තවත් ලිපියක දැක්වුණේ ජාතික තව්හිත් ජමාත්හි මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සහායකයන් තවත් සුළු මොහොතකින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවය.
ඔවුන් "වැදගත් දේවස්ථාන" සමහරක් ඉලක්ක කිරීමට සැලසුම් කරන බව ද එම ලිපියේ පැහැදිලිව දැක්විණි.
"ත්‍රස්තවාදීන්" විසින් පහත දැක්වෙන ඕනෑම ආකාරයක ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමට ඉඩ ඇති බවත් එහි සඳහන් විය.
- මරාගෙන මැරෙන ප්‍රහාරයක්
- ගිනි අවි ප්‍රහාරයක්
- පිහි ප්‍රහාරයක්
- ට්‍රක් රථයක් යොදා ගනිමින් කරන ප්‍රහාරයක්
මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් ද එහි සඳහන් කර තිබිණි.
ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන සහ සිය පවුලේ සාමාජිකයන් හමුවීමට පැමිණෙන දිනයන් ද එහි වැඩිදුරටත් සඳහන් විය.
රනිල් - මෛත්‍රී බල අරගලය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එවක රාජ්‍ය නායකයා සහ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එවක ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප පාර්ශවය වගකිව යුතු බවට චෝදනා එල්ල විය.
ප්‍රහාර එල්ල වී වසර දෙකක් ගතව ඇතත් එය වළක්වා ගැනීමට නොහැකි වූයේ කාගේ දුර්වලතාව හේතුවෙන් ද සහරාන් ඇතුළු පිරිස මෙහෙය වූයේ තෙවන පාර්ශවයක් විසින්ද එසේ නම් ඒ පිටුපස සිටි මහ මොළකරු කවුරුන්දැයි යන්න තවමත් පැහැදිලි වී නොමැත.
2018 වසරේ ඔක්තෝබර් 26 දා මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන ලද අතර මහින්ද රාජපක්ෂ එම ධුරය සඳහා පත් කරනු ලැබිණි. එම පත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් අතර රනිල් වික්‍රමසිංහ යලි අගමැති ධුරයේ දිව්රුම් දෙනු ලැබීය.
මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙපාර්ශවය අතර පැවති මතභේද හමුවේ ඉන් අනතුරුව රටේ පාලනය කවුරුන් අත පවතින්නේ ද යන්න සහ වගවීම පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් දක්නට ලැබිණි.
පාස්කු ප්‍රහාරය එල්ල වී දින අටකට පසුව (2019 අප්‍රේල් 29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණ.
නමුත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බැවින් එම තීන්දුව නීත්‍යනුකූල නොවන බව පවසමින් පොලිස්පති පූජිත් ජයසුන්දර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
පහත දැක්වෙන්නේ එම පෙත්සමේ අඩංගු වූ මූලික කරුණු කිහිපයකි.
පෙත්සමට අනුව:
- 2018 අග භාගය වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර සබඳතා පිරිහී ඇති බව ඔහුට අවබෝධ වී ඇත.
- වගකීම් සහගත සිවිල් සේවකයෙකු වශයෙන් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ඔහු පක්ෂග්‍රාහී වී නොමැත.
- 2018 වසරේ ඔක්තෝබර් ආරම්භයේ සිට 2019 වසරේ පාස්කු ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වන දා තෙක් මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු ආරක්ෂක කවුසිලයෙන් බැහැරව තබනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරනු ලදුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබීය.
එතැන් සිට මේ ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය එවක පැවසීය.
ප්‍රහාරයට පසු (අප්‍රේල් 23) ජාතිය අමතා අදහස් දැක්වූ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, "එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු වගකිවයුතු ප‍්‍රධාන නිලධාරීන් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් ඒ පිළිබඳ වහා කි‍්‍රයාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා," යනුවෙනි.
මේ ගැනත් කියවන්න:







