කාත්තන්කුඩිය: ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් සහිත නගරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නැගෙනහිර පළාතට අයත් කාත්තන්කුඩිය පිළිබඳ දකුණේ අවධානය යොමු වූයේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරයත් සමගය.
"මුදා නොගත් ප්‍රදේශයක්", "පුංචි අරාබියක්" වශයෙන් ඇතැමුන් අර්ථකථනය කළ ද කාත්තන්කුඩිය ගැන නිල දත්ත වාර්තා ඇතුලත්ව පළ වූ මාධ්‍ය වාර්තා විරලය. පහත දැක්වෙන්නේ ජන ජීවිතය හා පරිපාලනයට අදාළ කරුණු ඇසුරෙන් කාත්තන්කුඩිය පිළිබඳ කළ කෙටි විමසුමකි.
ශ්‍රී ලංකාවේ ජනඝනත්වය වැඩි ම ප්‍රදේශය

- කොළඹ සිට කිලෝමීටර 339 ක දුරින් පිහිටා ඇත.
- මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් පරිපාලන කොට්ඨාස 14 අතරින් එකකි.
- නැගෙනහිරින් සහ බටහිරින් වට වී ඇත්තේ සාගර දියෙනි.
- භූමි ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 6.502 කි.
- ජනගහනය පුරුෂයන් 23281 ක් සහ ස්ත්‍රී 23844 ක් වශයෙන් එහි සමස්ත ජනගහනය 47125 කි. පවුල් සංඛ්‍යාව 14176 ක් කි.
- වර්ග කිලෝමීටරයක පදිංචි ජනගහනය 7,000 ඉක්මවන බැවින් ශ්‍රී ලංකාවේ ජනඝනත්වය වැඩි ම ප්‍රදේශය ලෙස සැලකෙන්නේ ද කාත්තන්කුඩියයි.
- කාත්තන්කුඩි ප්‍රදේශයට ග්‍රාම නිලධාරී කොට්ඨාශ 18ක් අයත්ය. (මූලාශ්‍ර: කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙබ් අඩවිය)

යේමනය ප්‍රමුඛ අරාබියේ දකුණු කලාපයේ ජීවත් වූ 'කටානි' හෙවත් 'කටාන්' නමැති ජන කොට්ඨාසයට අයත් පිරිසක් පැමිණ එහි සිටි කාන්තාවන් විවාහ කර ගැනීම මුල් කර ගනිමින් කාත්තන්කුඩි යන නම නිර්මාණය වී ඇතැයි කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙබ් අඩවියේ දැක්වේ.
කාත්තන්කුඩිය වැඩි වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාර කටයුතුවලටය. ධීවර කර්මාන්තය හැරුණු විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු විශාල ශ්‍රම බලකායක් ද එහි වෙසෙති.
පාසල්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තා අනුව කාත්තන්කුඩියේ
- පාසල් - 20
- ළදරු පාසල් - 33
මීට අමතරව කාත්තන්කුඩිය තුළ මද්‍රසා පාසල් සහ අරාබි පාසල් ගණනාවක් ද ක්‍රියාත්මකය. උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් එම පාසල පිළිබඳ විමර්ශනය කර තිබේ.
ඉහත කී කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පවසන පරිදි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලාගේ ඥාතීන්ගේ නම්වලින් පාසල් රැසක් නම් කර ඇත:
- කාත්තන්කුඩි ෆාතිමා බාලිකා විද්‍යාලය - මව නමින්
- කාත්තන්කුඩි මහමුද් අලීම් පාසල - පියා නමින්
- පාසල් කීපයක් - හිස්බුල්ලා නමින්
"අරාබිකරණය"

කාත්තන්කුඩි නගර අලංකරණ ක්‍රමවේදය පාර්ලිමේන්තුව සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූ තවත් මාතෘකාවකි.
පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණු අතර ඊට පිළිතුරු දුන් හිටපු ආණ්ඩුකාරවරයා පැවසුවේ, මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඇතැම් ඉදිකිරීම් සිදු කර ඇති බවය.
නගර මධ්‍යයේ ප්‍රධාන වීදිය මැදි වන සේ රට ඉඳි ගස් සිටුවා තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු අවධාරණය කළේ, ප්‍රදේශයේ ශුෂ්ක පරිසර තත්ත්වය අනුව සරුසාර ලෙස වර්ධනය වන ශාකයක් වූ බැවින් ඒ සඳහා රට ඉඳි ගස් යොදා ගන්නා ලෙස උපදෙස් ලැබුණු බවය.
මේ අතර, කාත්තන්කුඩි ප්‍රදේශයේ පොදු නාම පුවරු ප්‍රදර්ශනය කිරීමේදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වන සේ අරාබි භාෂා නාම යොදා තිබූ අතර පසුව අදාළ නාම පුවරු ඉවත් කර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තදින් ම ක්‍රියාත්මක කළ යුතු බවට කැබිනට් තීරණයක් ගනු ලැබිණි.
සහරාන් සහ ජාතික තවුහීද් ජමාත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් උපත ලැබුවේ ද කාත්තන්කුඩි ප්‍රදේශයේය.
කාත්තන්කුඩිය, ඔහු නායකත්වය දුන් බව පැවසෙන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ තිඹිරි ගෙය ලෙස සැලකේ.
කාත්තන්කුඩි අල් අමීන් විදුහලේ පහ ශ්‍රේණිය දක්වා ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ඉස්ලාම් ආගම හැදැරීම සඳහා ගොස් ඇත්තේ කාත්තන්කුඩිය ටාමි උල් ෆලාර් මද්‍රසා පාසලටය.
පසුව කාත්තන්කුඩි ඉස්ලාමීය මධ්‍යස්ථානයේ මවුලවිවරයකු ලෙස ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ සහාරන් හෂීම් දැඩි මතධාරී දේශන පැවැත්වීම නිසා මධ්‍යස්ථානයේ සෙසු මවුලවිවරුන් ඔහුට විරෝධය පළ කර ඉන් එළවා දැමූ බව ප්‍රදේශවාසීහු පවසති.
ජාතික තවුහීද් ජමාත් සංවිධානය ආරම්භ කර ඇත්තේ, 2012 වසරේදීය. පසුව සහරාන් කණ්ඩායම සහ සෙසු ගතානුගතිකවාදී මුස්ලිම්වරුන් අතර මතවාදී ගැටුම් සන්නද්ධ ප්‍රහාර දක්වා වර්ධනය විය. 2017 වසරේ මාර්තු මස 10 වෙනිදා කාත්තන්කුඩි අලියාර් මංසන්ධියේදී සහරාන් කණ්ඩායම සුන්නතු වල් ජමාත් සංවිධානයේ පිරිසකට එල්ල කළ ප්‍රහාරය එහි වර්ධනීය තත්ත්වයකි. ඉන් දින කීපයක ඇවෑමෙන් කාත්තන්කුඩි වැසියන් සහරාන් කණ්ඩායමට එරෙහිව විශාල වීදි උද්ඝෝෂණයක් හා සමාජ මාධ්‍ය මගින් විරෝධයක් පළ කළ ද එය දකුණේ සමාජයට සන්නිවේදනය නොවුනි.
නීතිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඒ ගැන කරුණු විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යනු කාත්තන්කුඩි ප්‍රදේශය ගැන විශේෂයෙන් කතා බහ කළ සභාවකි.
ඒ කාත්තන්කුඩිය සහ ඒ අවට තිබී අවි ආයුධ රැසක් සොයා ගැනුණු පසුබිමකදීය.
ඇතැම් කාරණා සම්බන්ධයෙන් එම ප්‍රදේශය තුළ රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා එල්ල වූයේ පාස්කු ප්‍රහාරයට පෙර සිටය.
විශේෂයෙන් එම ප්‍රදේශයේ යුතුරු පැදිකරුවන් ආරක්ෂක හිස්වැසුම් නොපළඳින බවට සමාජ ජාල ඔස්සේ ද චෝදනා එල්ල විය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන් කාත්තන්කුඩිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති එම්.පී කස්තුරිආරච්චි "මා 2017 එද්දී තරුණ පිරිස හෙල්මට් දැම්මේ නෑ. මා ඒ නීතිය ක්‍රියාත්මක කළා. හෙල්මට් නීතිය කාත්තන්කුඩි වැසියන්ට ඉගැන්නුවේ මම." යනුවෙන් සඳහන් කළේය.
කාත්තන්කුඩිය හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර ද කාරක සභාව හමුවේ සිය සාක්ෂි දුන් අතර 2014.08.01 සිට 2017.07.28 දක්වා තමන් කාත්තන්කුඩිය පොලිස් ස්ථානයේ සේවය කළ බවත් එම කාලය තුළ අන්තවාදී ක්‍රියා පිළිබඳ පැමිණිලි නොලැබුණු නමුත් ඉස්ලාම් ආගමේ නිකායන් අතර මතවාදී ගැටුම් පැවති බවත් පැවසීය.
බාල වයස්කාර ගැබිනි මව්වරුන්
කාත්තන්කුඩි ප්‍රදේශය ගැන සමාජ ජාල ඔස්සේ කියැවුණු තවත් කතාවක් වූයේ, එම ප්‍රදේශයේ "බාල වයස්කාර දැරිවියන් දරුවන් වැදීම සුලභය" යන්නය.
කාත්තන්කුඩි මූලික රෝහලේ වාර්තාවලට අනුව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ:
- වසරකට දරු උපත් සාමාන්‍යය - 1,100
- 2018 වසරේ දරු උපත් - 450
- 2018 වසරේ වයස අවුරුදු 18 ට අඩු මව්වරුන් - 5 (15 හැවිරිදි දැරියක්, 16 හැවිරිදි දැරිවියක්, 17 හැවිරිදි දැරියන් තිදෙනෙකු ඒ අතර විය)
එල්ටීටීඊ සමය

එල්ටීටීඊ සංවිධානය උතුරු සහ නැගෙනහිර වැඩි බිම් පෙදෙසක් සිය පාලනයට යටත් කර ගෙන තිබිණි. එහෙත් කාත්තන්කුඩි වැසියන් සැලකෙන්නේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව සිය ප්‍රදේශය අත්හැර නොගොස් සටන් කළ පිරිසක් හැටියටය.
එල්ටීටීඊය කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියන් කෙරෙහි සතුරු ආකල්පයකින් කටයුතු කරන බව සහ ආරක්ෂක හමුදාවලට තොරතුරු සපයන්නේය යන්න එල්ටීටීඊය ඔවුන්ට එල්ල කළ ප්‍රධාන චෝදනාවක් විය.
1990 වසරේ අගෝස්තු 03 වෙනිදා මස්ජිදුල් ජුම්මා පල්ලිය වෙත පළමුව ප්‍රහාරයක් එල්ල කළ එල්ටීටීඊ සටන්කරුවෝ පසුව හුසයිනියා පල්ලිය වෙත ද ප්‍රහාර එල්ල කළහ.
එම ප්‍රහාරයෙන් 103 දෙනෙකු මරණයට පත් විය.
ව්‍යසන
2017 වසරේදී ඩෙංගු උණ වසංගතයක් තත්ත්වයට පත්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ පැතිරී ගිය අතර එහිදී වැඩි ම රෝගීන් පිරිසක් වාර්තා වූයේ කාත්තන්කුඩි හා එරාවූර් පරිපාලන කොට්ඨාසවලිනි.
කාත්තන්කුඩිය 2004 සුනාමි රළ පහරේ විවෘත ඉලක්කයක් විය. කාත්තන්කුඩි වැසියන් 108 දෙනෙකුට ජීවිත අහිමි කළ එම ඛේදවාචකයේදී තවත් 93 දෙනෙක් අතුරුදහන් වූහ. නිවාස 2,500 කට වඩා නිවාස හා දේපළවලට හානි ද සිදුවිය.
තවදුරටත් කියවන්න.








