කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාවේ පළමු COVID 19 රෝගියා දුටු වසරක් තුළ රටේ ආකල්ප වෙනස

''මම දවසක් හාඩ්වෙයාර් එකට යනකොට මුදලාලි ගෝලයට කිව්වා ඔන්න ඔය දොර වහපන් කියලා.''
ඡායාරූප ශීර්ෂ වැකිය, ''මම දවසක් හාඩ්වෙයාර් එකට යනකොට මුදලාලි ගෝලයට කිව්වා ඔන්න ඔය දොර වහපන් කියලා.''
    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

කොළඹ, මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා බවට හඳුනා ගෙන 2021 මාර්තු 09 වැනිදාට වසරක් සම්පුර්ණ වේ. එම රෝගය වැළදුණු පළමු ශ්‍රී ලාංකිකයා ඔහු වීම නිසා, පසු කාලීනව වාර්තා වූ COVID -19 රෝගීන්ට වඩා සුවිශේෂී තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඔහුට සහ පවුලේ සාමාජිකයන්ට සිදු විය.

ඒ ගැන ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයේදී සඳහන් කළේ වසරක කාලය තුළ, COVID -19 රෝගය ගැන ජන සමාජය දක්වන ආකල්පය 'අහසට පොළව මෙන් වෙනස් වී' ඇති බවය.

''මට කොරෝනා හැදෙන කාලේ කොරෝනා රෝගියෙක් ඉන්නව නම් ජනේලයක්වත් අරින්නෙ නැතුව, හුස්ම ගන්නත් බයේ මිනිස්සු ජීවත් වුණේ. අද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ජන සමාජය මේක ගණන් ගන්නේ නෑ.'' යනුවෙන් ජයන්ත රණසිංහ කියා සිටියේය.

''පෙත්සම් ගහපු බොහෝ දෙනා ඥාතීන්''

2020 මාර්තු 03 වැනිදා ඉතාලි සංචාරකයන් සිවුදෙනෙකු සමග දඹුල්ල ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුර ඔහුට රෝග ලක්ෂණ මතුවී තිබුණි. සංචාරය අතරතුර ප්‍රතිකාර ගෙන තිබුණ ද සුව නොවීම නිසා පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යයාතයනයට ඇතුළත් වීමෙන් අනතුරුව ජයන්ත රණසිංහට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මාර්තු 09 වැනිදා තහවුරු විය.

''මට ලොකු මිසී ඇවිත් කිවුවම හිතාගන්න බැරි වුණා. මම බිරිඳට කතා කරලා කිව්වා මැරුණත් ගෙදරට ගන්න එපා කියලා. මට පුතයි දුවයි දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලො කොහොමද ඉදිරියේදී ජීවත් වෙන්න ඕනා කියලත් මම එදා බිරිඳට උපදෙස් දුන්නා.'' යනුවෙන් ඉතා හැඟුම්බරව ජයන්ත අතීතය සිහිපත් කළේය. ඔහුට COVID -19 රෝගය වැළඳී ඇති බව ප්‍රසිද්ධවීමත් සමග බිරිඳ හා දරු දෙදෙනා කෙරෙහි ද සමාජයේ දැඩි අවධානයක් යොමු විය.

එහෙත් ඔවුන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළඳී නොමැති බව පසුව සෞඛ්‍ය බලධාරීහු තහවුරු කළහ.

''මට කොරෝනා හැදිලා රෝහලේ ඉන්නකොට නහය වහගෙන තමයි මිනිස්සු අපේ ගේ ළඟ තාප්පේ පහු කරගෙන දුවලා තිබුණේ. අසල්වාසීන් දහනව දෙනෙක් MOH මහත්තයට පෙත්සමක් ගහලා තිබුණා. ඒකෙ හුඟක් හිටියෙ මගේ ඥාති වෙන අයයි. සමහරු උත්සහ කළේ අපිව මෙහෙන් යවන්න.'' යනුවෙන් ඔහු පැවසුවේය. එමෙන්ම ඇතැමුන් විරෝධතා සංවිධාන කිරීමට සුදානම් වුව ද ආරක්ෂක අංශවල මැදිහත්වීම මත ඒවා ව්‍යර්ථවී තිබුණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා වෛරසය ; ශ්‍රී ලාංකාවේ පළමු රෝගියා COVID 19 නිසා මිනිසුන් ගැන උගත් පාඩම්

''හාර්ඩ්වෙයාර් එකට යනකොට දොර වැහුවා. ගෙදරට යාළුවෝ එන්නෙත් නෑ.''

කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ දින 18ක් ප්‍රතිකාර ලැබූ ඔහු 2020 මාර්තු 22 වන සඳුදා පස්වරුවේ යළි නිවසට පැමිණියේය. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඔහු නිවසෙන් පිටතට නොගොස් තවත් දින 21ක් ස්වයං නිරෝධායනයට ලක්වී තිබුණි.

ඉන් පසුව ද ටික දිනක් නිවසේම රැදී සිටීමෙන් පසු ජයන්ත යළි සිය දෛනික කටයුතු ආරම්භ කිරීමට උත්සහ කළ ද අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ.

''මම බොහොම ළඟින් ඇසුරු කරපු කට්ටිය කෝල් එකක්වත් නොදී හිටියා. ඒ කියන්නේ ටෙලිෆොන් එක දිගේවත් කොරෝනා එයි කියලා බයට. මම බයිසිකලේ යන වෙලාවට ළඟින්ම හිටපු යාලුවෝ දැක්කම නතර කරනවා. එතකොට ඒ අය අඩි දෙකක් පස්සට ගිහිල්ලා තමයි කතා කරන්නේ. ඒ තරම් බයක් තිබුණා. මම දවසක් හාඩ්වෙයාර් එකට යනකොට මුදලාලි ගෝලයට කිව්වා ඔන්න ඔය දොර වහපන් කියලා.'' යනුවෙන් ජයන්ත සිය අත්දැකීම් විස්තර කළේය.

එම කාලය තුළ දරු දෙදෙනා නිවසටම වී කාලය ගත කර තිබුණි. එබැවින් ජයන්ත සහ බිරිඳ පමණක් අත්‍යවශ්‍ය කරුණකට නිවසින් බැහැරව ගොස් තිබේ.

''දවසක් මගේ නෝනා ෆාමසියට ගියා බෙහෙත් ගේන්න. ෆාමසියේ අය අපිව දන්නා නිසා තුණ්ඩුව දීලා යන්න, මම බෙහෙත් ලෑස්ති කරලා තියන්නම්. ඇඳිරි නීතිය දාන්න කලින් ඇවිත් බෙහෙත් ටික ගෙනියන්න කියලා. ඒ පොඩි වෙලාවට එතන හිටපු අය පොලීසියට, PHI මහත්තයට සහ ග්‍රාමසේවක මහත්තයට කෝල් කරලා කියලා අපි කොරෝනා බෝ කරමින් යනවා කියලා.'' යනුවෙන් කියා සිටියේය.

ඔහු විස්තර කළ ආකාරයට ගෙවුණු මාස 11ක කාලය තුළ ඥාතීන් සහ හිත මිතුරන් නිවසට පැමිණීම සම්පුර්ණයෙන්ම පාහේ නතරවී ඇත. අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් අසල්වැසියන් කිහිපදෙනෙකු පැමිණ තිබේ.

''මට දැන් හොඳටම හොඳයි. ආර්ථික ප්‍රශ්න හැර වෙන ගැටලුවක් නෑ.''

ජයන්ත වෘත්තියෙන් සංචාරක මග පෙන්වන්නෙකි. COVID-19 රෝගය පැතිරීමත් සමග සංචාරක කර්මාන්තය ද අඩාල වී තිබේ. එබැවින් සිය අදායම් මාර්ගය අහිමිවීම නිසා තමන් සතුව තිබූ වාහනයක් අලෙවි කිරීමට සිදුවූ බව ජයන්ත සඳහන් කළේය.

''මට සුළු උපකාර කීපයක් නම් ලැබුණා. මට දැන් හොඳටම හොඳයි. ආර්ථික ප්‍රශ්න හැර වෙන ගැටලුවක් නෑ.'' යනුවෙන් ඔහු පැවසුවේය.

ජයන්ත රණසිංහ පවසන ආකාරයට COVID 19 රෝගය නිසා ඔහුට සැබෑ මිනිසුන් හඳුනා ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ.

'හොඳ මිනිසුන්' හමුවීම

රෝගී වූ පසු ඇතැම් ළඟම මිතුරන් හා ඥාතීන් හැර ගිය ද ඔහු අපේක්ෂා නොකළ පුද්ගලයන් උපකාර කිරීම සඳහා ඉදිරිපත්වී තිබුණි. නිවාස අසල පදිංචි දෙදෙනෙකු රෝහලට පැමිණ ඔහුට අවශ්‍ය දෑ ගෙනවිත් දුන් අවස්ථාවක් ජයන්ත සිහිපත් කළේය.

එමෙන්ම ඔහු කොළඹ, IDH රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩල ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි. තමන්ට ආහාර ගැනීමට නොහැකි අවස්ථාවල වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය සිය නිවෙස් වලින් කැඳ වර්ග හා අනෙකුත් ආහාර රැගෙනවිත් තමන්ට දුන් බව ඔහු මීට පෙර බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයක දී කියා සිටියේය.

මේ ගැනත් කියවන්න: