කොරෝනා වෛරසය: වූහාන් ඇතුළු චීන නගරවල සිට වසරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි පිරිස කියන කතාව

ඡායාරූප මූලාශ්‍රය, NimeshaWijegunawardhane
මින් වසරකට ආසන්න කාලයකට පෙර කොරෝනාවෛරසය පැතිරී යාම ආරම්භ වීමත් සමග විවිධ රටවල් වූහන් හි සිටින සිය රටවැසියන් රැගෙන ඒමට ගුවන් යානා පිටත් කළහ. එලෙස වූහන් වෙත ගොඩබැස්සවූ හතරවෙනි ගුවන් යානය පැමිණියේ ශ්‍රී ලංකාවෙනි.
එවිට චීනයෙන් මතුවූ නව වෛරසයක් ලෙස කොරෝනාවෛරසය හැඳින්වූ අතර, වූහන් ඇතුළු චීනයේ විවිධ ප්‍රදේශවල දිවිගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම් ගැන බීබීසී සිංහල සේවයේ ලිපියක් ද පළ විය. වසරක් ගත වන තැන ඔවුන් නැවත සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.
"ගිය අවුරුද්දේ පෙබරවාරි මුල සතියේ ආයෙත් ලංකාවට එනකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියා. අපි වූහන්වලින් ටිකක් ඈත නගරයක හිටිය නිසා ලංකාවට ගොඩබැස්ස ගමන් උණ විතරයි පරීක්ෂා කළේ," ටියංජින් නගරයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන නිමේෂා විජේගුණවර්ධන පැවසුවාය.
"අපිව නිරෝධායන මධ්‍යස්ථානවලට අරගෙන ගියේ නැහැ. ගෙදර ගිහින් පිටතට එන්නේ නැතුව ඉන්න කියලා උපදෙස් දුන්නා. නමුත් කිසි කෙනෙක් ඊට පස්සේ පරීක්ෂා කරන්න ආවේ නැහැ. තවමත් අපිට විශ්ව විද්‍යාලයට යන්න ලැබුණේ නැහැ."
ඔවුන් මේ වන විට අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතර, චීනයේ නිර්මාණය කරන ලද 'ඇප්' එකක් හරහා කථිකාචාර්යවරුන් හා සම්බන්ධ වෙමින් සිය උපාධිය සම්පූර්ණ කිරීමේ දුෂ්කර ගමනක යෙදෙන බව ඇය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, NimeshaWijegunawardhane
"එදා අපි හොඳටම බය වෙලා අත්වැසුම් දෙක ගානේ දාගෙන, මුළු ඇඟම වහගෙන තමයි ප්ලේන් එකේ ආවේ. ඒ එනකොට කෙනෙක් දිගටම කැස්සා. අපි තවත් බයේ හිටියේ. නමුත් අපි ඇවිත් ටික කාලයකින් ලංකාවත් ලොක්ඩවුන් කළා."
"අපි සහ බංගලාදේශ අය තමයි මුලින්ම පිටත් වුණේ. නමුත් නයිජීරියන් අය චීනයේ නැවතුණා. පාකිස්තානයේ අය ඉල්ලීම් කළත් කාලයකට පස්සේ තමයි ඒ රටෙන් ගෙන්න ගත්තේ. මෙහෙ ලොක්ඩවුන් කරනකොට චීනය මිනිස්සුන්ට එළියට යන්න ඉඩ දීලා තිබුණේ. අපිට කලබලේ ආපු එක ගැන ඇත්තටම දුක හිතුණා."
චීන සිසුන්ට හැර අන් අයට තවමත් විශ්ව විද්‍යාලයෙන් කැඳවීමක් සිදුකර නොමැති බව ඇය පැවසුවාය.
"අපිට ආපසු යන්න එපා කියලා විශ්ව විද්‍යාලයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා. නමුත් බය නිසා අපි ආපසු ආවා. තවමත් තත්ත්වය ඒ තරම් හොඳ නැතත්, සියල්ල පාලනය කර තියෙනවා කියලා අපේ චීන යාළුවෝ කියනවා," නිමේෂා තවදුරටත් පැවසුවාය.
වෛරසය ගැන පළමුවෙන් අනතුරු ඇඟවූ වෛද්‍යවරයා
කොරෝනාවෛරසය පැතිරීම පිළිබඳ පළමුවෙන් අනතුරු ඇඟවූ වෛද්‍යවරයා ද වෛරසයෙන් මියගොස් වසරක් ගතවීම සිහිපත් කරමින් චීනයේ සමාජ මාධ්‍ය ජාලවල උපහාර පිදුම් පළ කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Dr Li Wenliang
2020 පෙබරවාරි 7 වන දින ඔහුගේ පළමු මරණ සංවත්සරය යෙදී තිබුණු අතර, දහස් ගණනක් ලී වෙන්ලියැන්ග්ට උපහාර දැක්වූහ.
ඔහු මිය ගියේ කොවිඩ් -19 රෝගයට ගොදුරු වීමෙනි.
සාර්ස් වැනි තවත් මාරාන්තික කොරෝනාවෛරසය රෝගයක් පිළිබඳ සෙසු වෛද්‍යවරුන්ට අනතුරු ඇඟවීමට වෛද්‍ය ලී උත්සාහ කර තිබිණි.
එහෙත් ඔහුට "අසත්‍ය අදහස් දැක්වීම නවත්වන්න" යැයි පොලිසිය පැවසූ අතර "කටකතා පතුරුවා හැරීම" සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්විණි.
වෛද්‍ය ලී මධ්‍යම චීන නගරයක් වන වූහාන් හි රෝහලක අක්ෂි වෛද්‍යවරයෙක් ලෙස සේවය කළේය. පළමු කොරෝනාවෛරස රෝගීයා වාර්තා වූයේ 2019 වූහාන් නගරයෙනි.
වෛද්‍ය ලීගේ මරණයත් සමග චීන රජය කොරෝනාවෛරසය පැතිරීම සම්බන්ධයෙන් ඒ වන විට සිදු කළ කටයුතු ගැන දැඩි මහජන කෝපයක් ඇති විය.
ඒ වනවිටත් වූහාන්හි රෝහල් පිරී ගොස් තිබුණත්, වෛරසයේ බරපතලකම අවතක්සේරු කිරීම සහ එය පැතිරීමේ ප්‍රමාණය සඟවා තැබීම සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල විය.
නමුත් චීන රජය වෛද්‍ය ලී නිදොස් කොට වීරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර කිරීමත් සමග මේ කෝපය වෙනත් අතකට යොමු වීම ආරම්භ විය.
එතැන් සිට ලොව පුරා මිලියන 106 කට අධික ජනතාවක් කොරෝනාවෛරසය ආසාදනය වී ඇති අතර මිලියන 2.33 ක් මියගොස් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
"හිතුවේ නැහැ"
"එදා මම හීනෙන්වත් හිතුවේ නැහැ ලෝකයටම මේ වගේ දුක්බර තත්ත්වයක් උදා වෙයි කියලා. බීබීසීවලින් කතා කලාමත් මම කිව්වේ අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ, මේ වෛරස් එක ඉක්මණට ඉවරයක් වෙයි කියලා. නමුත් ලෝකයම කණපිට පෙරළුණා," චීනය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පැවසීය. ඔහු සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළේය.
"අවුරුද්දකට කළින් නිකමටවත් හිතුණේ නැහැ මේ වෛරස් එක නිසා ව්‍යාපාර කඩා වැටිලා රටවල් අතර ගමනාගමනය පවා නතර වෙයි කියලා. වසංගත ගැන දැනගෙන හිටියා. නමුත් ඒක අත්විඳිනකොට තමයි භයානකකම තේරෙන්නේ."
කෝවිඩ් 19 පැතිරීමත් සමග ඔහුගේ ව්‍යාපාරවල මෙන්ම එදිනෙදා දිවියේ ද බොහෝ වෙනස්කම් සිදු වූ බව පැවසුවේය.
"දැනට චීනය තත්ත්වය පාලනය කරගෙන තියෙන බව පෙනෙනවා. නමුත් අපි අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පිළිපදින්න ඕනේ. මොනවා වුණත් පරණ ජීවිතයට ආපහු ගිහින් සියල්ල ගොඩනගා ගන්න සෑහෙන කාලයක් යයි," ඔහු තවදුරටත් පැවසුවේය.
වෛරසය පැමිණියේ කොහෙන්ද?
කොවිඩ් -19 හි මූලාරම්භය ගැන විමර්ශනය කරන ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායමක් වෛරසය පැමිණියේ රසායනාගාරයකින් යන න්‍යාය බැහැර කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුමේ ප්‍රධානී පීටර් බෙන් එම්බරෙක් පැවසුවේ වූහාන්හි විද්‍යාගාරයකින් වෛරසය කාන්දු වීම "අතිශයින්ම අසීරු" සිද්ධියක් බවය.
වෛරසයේ ආරම්භය හඳුනා ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය බව ඔහු පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය ඒකාබද්ධ මෙහෙයුමේ නිගමනය ප්‍රකාශ කිරීමේ දී මෙම අදහස් පළ කෙරිණි.
ආචාර්ය පීටර් බෙන් එම්බරෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මෙම පරීක්ෂණයෙන් නව තොරතුරු අනාවරණය වී ඇති නමුත්, ප්‍රථමයෙන් වෛරසය පැතිර යාමේ දී හෙළි වුණ හේතුවලින් ඒ කිසිවක් සම්පූර්ණයෙන් වෙනස් නොවන බවය.

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty
විශේෂඥයන් විශ්වාස කරන්නේ මිනිසුන්ට වෛරසය පැතිරීමට පෙර මෙම වෛරසය සතුන් තුළ ඇතිවී තිබෙන බවය. නමුත් එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ට අදහසක් නොමැත.
"දුක් වෙනවා"
"මමත් එදා කලබල වෙලා ලංකාවට ආවා. නමුත් තවමත් විශ්ව විද්‍යාලයට යන්න ලැබුණේ නැහැ. වෙන රටක ඉගෙන ගන්න තිබුණ අත්දැකීම සම්පූර්ණයෙන් නතර වුණා. ටිකක් ඉවසන් ඉන්න තිබුණා කියලා දැන් හිතෙනවා," විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වන මාධවී පැවසුවාය.
"අපි ලංකාවට ගොඩබැස්ස ගමන් නිරෝධායන මධ්‍යස්ථානයට අරගෙන ගියා. ඒ සති දෙක අපිට සෑහෙන සැලකුම් ලැබුණා. නාලා ඉවරවෙන වතුර ටික පවා නිසි විදිහට බැහැර කරන ක්‍රමවේදයක් තිබුණා. කෑම බීම සියල්ල උපරිමයෙන් ලැබුණා."

ඡායාරූප මූලාශ්‍රය, SriLankanAirlines
"හැබැයි මට ගමේ මිනිස්සු සෑහෙන බය වුණා. අපේ ගේ ළඟින් ඒ මිනිස්සු දුවන්න ගත්තේ හරියට අපරාධයක් සිද්ධ වෙලා වගෙයි."
ඇය ද තාක්ෂණය හරහා සිය උපාධිය සම්පූර්ණ කරගැනීමට වෙහෙසෙන බව පැවසුවාය. නමුත් ප්‍රායෝගික අධ්‍යාපන අත්දැකීම් සියල්ලම පාහේ අහිමි වූ බව ඇය පැවසුවාය.
"ඒ වෙනකොටත් විශාල වියදමක් දරලා තමයි ඉගෙන ගන්න ගියේ, නමුත් ඒ සියල්ල දැන් ස්ක්‍රීන් එකකට සීමා වෙලා. නොදන්නා වෛරසයක් නිසා ඒ දවස්වල බය වුණා. නමුත් දැන්නම් ආයෙත් චීනයට ගිහින් ඉගෙන ගන්න එක ගැන දෙපාරක් හිතන්නේ නැහැ," ඇය තවුරටත් පැවසුවාය.
මේ තොරතුරුද කියවන්න:
- කොරෝනා වෛරසය: චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් අවදානමක ද?
- කොරෝනා වෛරසයේ නව ප්‍රභේද කීපයක්; එන්නතකින් වැඩක් වෙයිද?
- කොරෝනා ආවේ කොතැනින් ද? චීන - ඇමෙරිකානු වාග් සංග්‍රාමය තවත් උණුසුම් වෙයි
- කොරෝනා වෛරසයේ ආරම්භය සහ මරණ සංඛ්‍යා ගැන චීනය කියන්නේ ඇත්තද? - බටහිර ලෝකය සැක මතු කරයි
- කොරෝනා වෛරසය: චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් අවදානමක ද?
- කොරෝනා වෛරසය: රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද? බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද? දරුවන්ට ඇති අවදානම කුමක්ද?








