විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් "ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ශක්තිමත් කළා"

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිවන ව්‍යවස්ථා සංශෝධනය අතර තුර

ඡායාරූප මූලාශ්‍රය, Harsha de Silva

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වී දිනක් ගතවීමටත් පෙරාතුව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු පත්කිරීම ද අවධානයට ලක්ව පවතී.

සම්ප්‍රදායට පිටින් සහ විපක්ෂයේ යෝජනාවන්ට එරෙහිව ආණ්ඩු ව ගත් එම ක්‍රියාමාර්ගය මගින් පාර්ලිමේන්තුවේ මෙතෙක් පැවති සංවරණ හා තුලන ප්‍රතිපත්තිය අභියෝගයට ලක්වී ඇති බව විරුද්ධ පක්ෂය චෝදනා කරයි.

සංවරණ හා තුලනයන් අඩු කිරීමට සහ ජනාධිපති ධුරය තුළට බලතල සංකේන්ද්‍රණය කිරීම සඳහා 20 වන සංශෝධනය මගින් නීති පැනවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඡන්දය දීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කණගාටුදායක සිදුවීමක් බවත් විශ්ලේෂකයෝ පවසති.

'තුලන හා සංවරණය ඕන තරම් තියෙනවා'

නමුත් රජය පවසන්නේ, තුලන හා සංවරණය සම්බන්ධයෙන් විසි වන සංශෝධනයේ අවශ්‍ය තරම් විධිවිධාන පවතින බවය.

"දිගින් දිගටම කියන දෙයක් තමයි අපිට තුලන හා සංවරණය මදියි කියන එක. නමුත් ඇත්ත වශයෙන්ම විසි වන සංශෝධනය ආවට පස්සේ තියෙන තුලන හා සංවරණය ඕන තරම් checks and balances ඕකෙ තියෙනවා," අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි බීබීසී සිංහල සේවය සමග පැවසීය.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි

ඡායාරූප මූලාශ්‍රය, Ali Sabry FB

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණ අමාත්‍ය අලි සබ්රි

"පළවෙනි එක තමයි මුදල් පාලනය පාර්ලිමේන්තුව සතුව තමයි තියෙන්නේ. එතකොට ජනාධිපති වරයාට ඕන දෙයක් කරන්න මුදල් ලබාදෙන්න ඕන පාර්ලිමේන්තුව විසින්. දෙවෙනි එක තමයි ජනාධිපතිවරයා කරන දේවල් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වෙලා නඩු අහන්නත් පුළුවන් කියල තීරණය කරලා තියෙනවා. ඒ අනුව තමයි විසි වෙනි සංශෝධනය සම්මත වෙලා තියෙන්නේ. තුන්වෙනි එක ජනාධිපති වරයාව impeach කරන්න පුළුවන්," ඔහු වැඩිදුරටත් පැවසීය.

"එතකොට හැම තැනින්ම පාලනය විතරක් කළොත් කවුද වැඩ කරන්නේ? ඒකයි විධායකය ශක්තිමත් කරන්න ඕන. ඒක ශක්තිමත් කිරීම තමයි මේකෙන් ලැබිල තියෙන්නේ. ජනාධිපති තුමාට අවශ්‍ය නම් අවශ්‍ය තීරණ ගන්න පුළුවන්. මේකෙන් වැදගත් වෙන්නේ රාජ්‍ය සේවයේ තියෙන perception එක. එක්කෙනෙක්ට වැඩිය bosses ල තුන්දෙනෙක් ඉන්නකොට එයා එක්කෙනෙකුට බැරිනම් තව කෙනෙක් අල්ල ගන්නවා. එයාට බැරි නම් තව කෙනෙක් ගන්නවා ඒ කියන්නේ 19 වන සංශෝධනයේ ඒක තමයි උනේ."

ඔහු පවසන්නේ 19 වෙනි සශෝධනය මගින් බල කේන්ද්‍ර නැතහොත් බල මධ්‍යස්තාන තුනක් නිර්මාණය වුණ බවය. එයින් එකක් ජනාධිපති වටා බලය කේන්ද්‍රගත වීම ද තව තැනක අගමැතිවරයාට කේන්ද්‍රගත වීමත් තව තැනක කතානායක ඇතුළු ව්‍යවස්ථාදායක සභාවට කේන්ද්‍රගත වීමත් 19 වන සංශෝධනය හරහා සිදු වූ බවත් එය විසිවන සංශෝධනය මගින් ඉවත්කළ බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

"එහෙම කරන්න බෑ මේක විධායක ජනාධිපති ක්‍රමයක් නම් විධායක ජනාධිපතිවරයාට ඒ බලය තියෙන්න ඕන කියන ඒ අදහසේ තමයි අපි ඉන්නේ. ඒ අදහස මේ රටේ මිලියන එකහමාරක් වන රාජ්‍ය සේවකයන්ට දැනෙන්නට ඕන. තමන් කවුරු කියන එක ද කරන්න ඕන කියන එක. ඒක නිසා මම හිතනවා රාජ්‍ය නිලධාරියට බලය පිළිබඳව නිසි අදහසක් ලබාදීම ඉතාමත් ම වැදගත්."

"විශේෂයෙන්ම පොලිස් කොමිසම අරන් බැලුවහම පොලිස්පතිව සත පහකට ගණන් ගන්නේ නැහැ. පොලිස්පති මොකක් හරි කරනකොට කොමිසම ඒකට හරස්වෙනවා. පොලිස් කොමිසමේ ඉන්නේ රිටයර් වෙච්ච් කට්ටිය ඒගොල්ලන්ට අද තියෙන තත්වය පිළිබඳ අවබෝධයක් නෑ. මේවා හොඳයි අලංකාරක හැටියට නමුත් ග්‍රවුන්ඩ් එකේ වැඩ කරන්න සුදුසු දේවල් නෙමෙයි."

Presentational grey line

කියවන්න:

Presentational grey line
විපක්ෂයේ මන්ත්‍රීවරුන්

ඡායාරූප මූලාශ්‍රය, Economynext/twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, විපක්ෂයේ මන්ත්‍රීවරුන්

19 වෙනි සංශෝධනය ප්‍රකාර ජනාධිපතිවරයාට ඇමති ධුර දැරීමට හැකියාවක් නොමැතිවීම ගැන ද අධිකරණ අමාත්‍යවරයා අදහස් දැක්වීය.

"ජනාධිපති වරයා තමයි ආරක්ෂාව පිළිබඳ වගකීම දරන්න ඕන එතුමා තමයි සේනාධිනායකයා. එතුමාට ආරක්ෂක ඇමති වෙන්න බැහැ. ඉතින් එතකොට ආරක්ෂාව කඩා වැටෙන එක අහන්න දෙයක්ද? ඒහින්ද අපි හිතනවා මේකෙන් විශේෂයෙන්ම නිශ්චිත භාවයක් හම්බවෙනවා කාටද බලය තියෙන්නේ කොයි ආකාරයට ද බලය තිබෙන්නේ, ඒ බලය ජනාධිපති හරහා තමයි විමධ්‍යගත වෙන්න ඕන කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙනවා කියන එක තමයි මම හිතන්නේ. ඒ හැරුනහම අපි අපේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ශක්තිමත් කරන්න පියවර අරන් තියෙනවා," යනුවෙන් හෙතෙම පැවසීය.

'විරෝධය දක්වලා ඡන්දය දීම කුහකකමක්'

"පාර්ලිමේන්තුවට ඡන්දය ඉල්ලන ද්විත්ව පුරවැසියන්ට අවසර දීම වැනි වගන්තිවලට විරෝධය දක්වමින් 20වන සංශෝධනය සඳහා හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි යැයි පැවසූ රජයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කෙසේ හෝ ඒ සඳහා ඡන්දය දීම කුහකකමක්," ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නීති විශාරදයකු වන සුරේන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වෙතත්, විපක්ෂය හා සිවිල් සංවිධාන මෙන්ම රජය තුළ සිටින සමහර මැති ඇමතිවරුන් මෙන්ම රජය බලයට ගෙන ඒම පිණිස විශාල දායකත්වයක් දැක්වූ මහා සංඝරත්නයත් මෙම විසිවන සංශෝධනය ප්‍රබල ලෙස විවේචනයට ලක් කළහ. විවාදය අතරතුර විපක්ෂය විසින් මතු කරන ලද කරුණු හා ඒ සඳහා මතු වූ පුළුල් විරෝධය ද සැලකිල්ලට ගෙන එහි තිබුණු ඇතැම් වගන්ති කිහිපයක් වෙනස් කිරීමට රජය එකඟ විය.

ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වී වසරක් තුළදී විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය දීමට මුලදී යෝජනාකර තිබුණත් පසුව වසර 2 1/2 ක් යනතුරු විසුරුවා හැරිය නොහැකි බවට එම වගන්තිය වෙනස් කෙරිණ.

'අතපසුවීමක්'

ඕනෑම අවස්ථාවකදී විසුරුවා හැරීමට හැකි අයුරින් මෙම සංශෝධනයේ සඳහන්ව තිබුණ ද ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රී වරයාගේ පෙන්වීම තුළ එය අතපසුවීමකින් සිදුවූවක් බවට පිළිගත් අධිකරණ අමාත්‍යවරයා එය නිවැරදි කළේය. එසේ නිවැරදි නොවූයේ නම් පාර්ලිමේන්තුව රැස්වී එක් දිනක් ඇතුළත දී වුවත් එය විසුරුවා හැරිය හැකි තත්වයක් මතුවන්නට තිබුණ බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

සංශෝධනය ප්‍රකාර විගණකාධිපතිවරයා "සුදුසුකම් ලත් විගණකවරයකු" විය යුතු අතර, රජය විසින් 50% කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් ඇති සමාගම් නැවත විගණනය කළ හැකිය. මුල් සංශෝධනයේ එම විධිවිධාන ඉවත් කිරීමට යෝජනා කර තිබුණු අතර ඕනෑම පුද්ගලයෙකු විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලය දීමට යෝජනා වී තිබිණි.

තවද ජනාධිපතිවරයාට නඩු විභාගවලින් මුක්තියක් හිමිවිය යුතු යයි 20 වන සංශෝධන මුල් පනත් කෙටුම්පත මගින් යෝජනා කෙරුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව එය වෙනස් කරන ලදි.

ජනාධිපති සොහොයුරන් සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණය පිළිබඳ කාරණා සඳහා හදිසි පනත් ලෙස සම්මත කිරීමේ හැකියාව මෙම සංශෝධනයෙන් ලබා දී ඇත. සාමාන්‍ය පනතක් ගැසට් පත්‍රයේ පලකරන කාලය දින 14 සිට දින හත දක්වා අඩු කර ඇත. මෙමගින් මහජනතාවට එම පනත් කෙටුම්පත් අභියෝගයට ලක්කිරීමට ගතවන කාලය අඩු වී ඇත.

ව්‍යවස්ථා සභාව අහෝසියි

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කර පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීම මාර්ගයෙන් මෙතෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හරහා ස්වාධීන කොමිෂන් සභාවන් තුළින් සිදුකරන ලද සියලුම පත්කිරීම් ජනාධිපතිවරයාගේ අභිමතය හා කැමැත්ත අනුව පත් කිරීමට මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට නැවතත් බලය ලබා දී ඇත.

ව්‍යවස්ථාදායක සභාව දැන් අහෝසි කර ඇති බැවින් එම පත්වීම් සියල්ලම ජනාධිපතිවරයා විසින් පමණක් කරනු ලැබේ. පාර්ලිමේන්තු සභාවට නිරීක්ෂණ ලබා දිය හැකි නමුත් ඔහුට එම නිරීක්ෂණ නොසලකා හැරිය හැකිය.

විරුද්ධ පක්ෂයේ විරෝධතා

සියළුම ස්වාධීන කොමිෂන් සභා සඳහා පත්කිරීම් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

විගණන සේවා කොමිෂන් සභාව සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාව අවලංගු කර තිබේ. අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ බලය ඉවත්කර තිබේ.

නව සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. අගමැතිවරයා පත් කරනු ලබන්නේ ද ජනාධිපතිවරයා විසිනි.

අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ හා ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමේ බලය 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට හිමිකර දී තිබේ.

ජනාධිපතිවරයාට ඕනෑම අමාත්‍යාංශයක් හෝ ඕනෑම විෂයයක් තමා වෙත රඳවා ගැනීමේ හැකියාව නැවතත් පවරා දී ඇත.

ඒ මගින් ඔහුට, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය මෙන්ම පාර්ලිමේන්තුව ද පාලනය කළ හැකිය.

මහජන විරෝධයෙන් පසු රජය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව ඉවත් කිරීමට ගෙන තිබූ යෝජනාව කාරක සභා අවස්ථාවේදී ඉවත්කර ගැනීම තුළින් අමාත්‍ය වරුන්, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පැනවූ සීමාවන් එලෙසම පවත්වාගෙන ඇත.

Presentational grey line
Presentational grey line

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව වැඩි කෙරේ

කාරක සභා අදියරේදී සංශෝධන පනත් කෙටුම්පතේ ගුණාංග හා මූලධර්මවලින් බැහැර නොවිය යුතු බවට පිළිගැනීමක් ඇතත් මුල් 20 වන පනත් කෙටුම්පතේ නොමැති සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලීම සඳහා ඉදිරිපත් නොකළ නව සංශෝධන කිහිපයක් කමිටු අවස්ථාවේ දී රජය විසින් හඳුන්වා දෙන ලදි.

එම සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 17 දක්වා හයකින් ද අභියාචනාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 12 සිට 20 දක්වා අටකින් ද වැඩිකර තිබේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, මෙම වැඩිවන නව විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය ද ජනාධිපතිවරයා සතුවය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කර, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නව විනිසුරුවන් විශාල සංඛ්‍යාවක් එකවර පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදීම නීති විශාරදයන් විසින් ප්‍රශ්ණ කිරීමට ලක්කරනු ලැබ තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

නීතීඥ ලුවී නිරංජන් ගනේෂදාසන් තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්, "ශ්‍රේෂ්ඨාධිකරණයේ අපට තවත් විනිසුරුවන් අවශ්‍ය බව මම එකඟවෙමි. මගේ ප‍්‍රශ්න වූයේ සංශෝධන ක‍්‍රියාවලිය, එය රහසිගතව තබාගත්තේ ඇයි සහ එක් පුද්ගලයෙකුට අධිකරණයට මෙතරම් විශාල පත්වීම් සංඛ්‍යාවක් එකවර කිරීමට ඉඩ දීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳවය. එය 'උසාවිය ඇසුරුම් කිරීමකට' හා සමානය," යනුවෙන් සඳහන් කර තිබේ.

"මෙය සැලකිය යුතු සංශෝධනයක්, මට මතකයි ඇමතිවරයා මෙවැනි වැදගත් සංශෝධන මේ ආකාරයෙන් හඳුන්වා දීම විවේචනය කළා. මෙය මුල් ගැසට් පත්‍රයේ ඇමතිවරයා ඇතුළත් නොකළේ ඇයි?"

ඔහු තවදුරටත් ප්‍රශ්න කරන්නේ මෙම "අංකය තීරණය කළේ කෙසේද? පසුගිය දින කිහිපය තුළ නීති ප්‍රමාදයන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද කමිටු කිහිපයක් පත්කර තිබුනද ඔවුන් මෙම සංඛ්‍යාව නිර්දේශ කළේද? නැතහොත් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥයන්ගේ කමිටුව විසින් මෙය නිර්දේශ කළේද?, මෙම විනිසුරුවන් වාඩි වන්නේ කොහේද? මෙම විනිසුරුවන්ට ඉඩ පහසුකම් සැපයීම සඳහා ශේෂ්ඨාදිකරණ සංකීර්ණයේ යටිතල පහසුකම් අප සතුව තිබේද? එසේ නොවේ නම් මෙය නඩු ප්‍රමාදයන් අඩු කිරීමට උපකාරී වන්නේ කෙසේද?

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් සමඟ හෝ නීතිඥ සංගමය සමග මේ ගැන සාකච්ඡා කළාද?"

අධිකරණ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශමීර් සවාහිර් සමාජ මාධ්‍ය ඔස්සේ එයට පිළිතුරු වශයෙන් පවසා තිබුණේ "ඵලදායී ලෙස නීති පද්ධතියක් ක්‍රියාත්මක වීම සඳහා නිවැරදි විනිසුරුවන් සංඛ්‍යාවක් අවශ්‍ය වේ. ගෝලීය වශයෙන්, නිතර භාවිත වන මිනුම් ඒකකය වන්නේ එම රටේ ජනගහනය මිලියනයකට විනිශ්චයකරුවන් සංඛ්‍යාවයි. අද වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.5 ක් පමණ වන අතර, විනිසුරුවන්ගේ සංඛ්‍යාව වසර 40 කට වැඩි කාලයක් තිස්සේ එලෙසම නොවෙනස්ව පැවතුනි," යනුවෙනි.

"එසේම, දැනට මහාධිකරණයේ සේවය කරන විනිසුරුවන් 79 දෙනාගෙන් 14 දෙනෙක් අභියාචනාධිකරණයට උසස් නොකළහොත් ඉදිරි වසර තුන ඇතුළත විශ්‍රාම යාමට නියමිතයි. මහාධිකරණයේ විනිසුරුවන් 36 දෙනෙකු 2025 වන විට විශ්‍රාම යාමට නියමිතයි. මෙය වර්තමාන මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාවෙන් 50% ක්. ඒ නිසා, මෙම පියවර යුක්තියේ යහපත උදෙසා බව මට සැක නැත," ශමීර් සවාහිර් සඳහන් කර තිබුණි.

යෝජිත වැඩිවීම නීතියේ ප්‍රමාදයන් ආමන්ත්‍රණය කිරීමේදී විශාල වෙනසක් කිරීමට අවස්ථාවක් බවට ද ඔහු තර්ක කර තිබුණි.

මේ අතර 20 වෙනි සංශෝධනය ගැන අදහස් දක්වන සමගි ජනබල වේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසන්නේ, "එදා ජනතාව රවටා ඡන්දය තමන් වෙත ලබා ගැනිමට පටු ජාතිවාදී මතයක් ගොඩ නගා බලයට පැමිණ පසුව අද 20 න් තම බලය තහවුරු කර ගැනීමට ක්‍රියාකළ ආකාරයෙන් ඔවුන් ලැබූ ජනවරමට පිටුපෑ අයුරැ අප කාටත් පාර්ලිමේන්තුවේදි පෙන්නුම් කළා. එහි විපායක් ලෙස 20 වන සංශෝධනය සම්මත කල පසුව ජාතියේ මුරදේවතාව ලෙස සැලකූ මාධ්‍යයේ භූමිකාවද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් සමඟම හැකිලෙනවා," යනුවෙනි.

"තනි පුද්ගලයෙකු බලය ඉක්මවා කටයුතු කිරීම තුලනය කිරීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වාදුන් ස්වාධීන කොමිසම් සහ විගණනයේ ස්වාධීනත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයන් මෙම නව ප්‍රවනතාවෙන් රටට අහිමි වී ගොස් ඇති," බවත් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසීය.