ව්‍යවස්ථාව: "ජනතා පරමාධිපත්‍යය හීන කෙරෙන" 20 සංශෝධනයෙන් අධිකරණයට සහ නීතියේ ආධිපත්‍යයට බලපෑම

පාර්ලිමේන්තුවේ පැවති උද්ඝෝෂණ

ඡායාරූප මූලාශ්‍රය, Twitter/EconomyNext

    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගය සැප්තැම්බර් 29 වෙනි දින ආරම්භ කෙරිණ.

පෙත්සම් කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙන්නේ සමගි ජන බලවේගය විසිනි. දෙමළ ජාතික සන්ධානය, ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, මානව හිමිකම් ක්‍රියාධරයන්, නීතිවේදීන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද සමස්ත පෙත්සම් ප්‍රමාණය 39 කි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව මෙතරම් පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. පෙත්සම් විභාගකරනු ලබන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් විසිනි.

විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් 20 වෙනි සංශෝධනයේ ඇතුළත් කරුණු පෙත්සම්කරුවන්ගේ මෙන්ම දෙස්, විදෙස් ප්‍රබල අවධානයට ලක් වී තිබේ.

අධිකරණයට විශේෂ ආරක්ෂාව යොදවා තිබුණු අවස්ථාවක් (සංරක්ෂිත ඡායාරූපයකි)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණයට විශේෂ ආරක්ෂාව යොදවා තිබුණු අවස්ථාවක් (සංරක්ෂිත ඡායාරූපයකි)

අධිකරණයට අදාළ සංශෝධන මොනවාද?

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත්, එවක් පටන්:

  • අග්‍ර විනිශ්චයකාරවරයා
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්
  • අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ සියලු විනිසුරුවරුන්
  • අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙක් සාමාජිකයන් (අග්‍ර විනිශ්චයකාරවරයා නිල වශයෙන් එහි සභාපතිවරයාය)
  • නීතිපතිවරයා
  • සහ විගණකාධිපතිවරයා

යන සියලු දෙනා පත්කරනු ලබන්නේ විධායක ජනාධිපතිවරයා විසිනි. එහිදී ජනාධිපතිවරයා ඒ සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ ඉල්ලා සිටිය යුතු වුව ද එම නිර්දේශ මත අදාළ පත්කිරීම් සිදුකිරීමට ඔහු බැඳී නැත.

17 වෙනි සංශෝධනය මගින් පිහිටුවන ලදුව 19 වෙනි සංශෝධනයෙන් අනතුරුව ක්‍රියාත්මක වූ ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීමට ද 20 වෙනි සංශෝධයෙන් යෝජනා කෙරේ.

Presentational grey line
Presentational grey line
20ත එරෙහිව නීතිඥයෝ විස්සක්

ඡායාරූප මූලාශ්‍රය, facebook/Senaka Perera

20 වෙනි සංශෝධනය

ඡායාරූප මූලාශ්‍රය, Gov.lk

20 වෙනි සංශෝධනය

ඡායාරූප මූලාශ්‍රය, Gov.lk

නීතිඥ සංගමයේ මතය

නව ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළකරනු ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව විමසා වාර්තාවක් සකස් කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කරන ලදි. ජනාධිපති නීතිඥ එල් එම් කේ අරුලානන්දන් එම කමිටුවේ සභාපතිවරයාය.

පසුගිය සැප්තැම්බර් 21 වෙනි දින එම කමිටුව සිය නිගමන ඇතුළත් වාර්තාව නීතිඥ සංගමයට භාරදුන් අතර, විනිසුරුවන් සහ නීතිපතිවරයා පත්කිරීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ කරුණු පිළිබඳව එම කමිටුවේ නිගමනය වී තිබෙන්නේ එමගින් තුලන හා සංවරණ ක්‍රමවේදය යටපත් වන බවය.

විශේෂයෙන්ම රජයේ එක් අංශයකට තවත් අංශයක සංයුතිය සම්බන්ධයෙන් අධිකාරී බලයක් තිබිය නොහැකි බව පෙන්වාදෙන කමිටු වාර්තාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාර විනිසුරුවන්, අධිකරණ සේවා කොමිසම සහ නීතිපතිවරයා පත්කිරීමේ බලය විධායකයට හිමිවිය යුතු නැති බව අවධාරණය කරයි.

"කිසියම් ලෙසකින් ආණ්ඩුවේ එක් අංශයකට එවැනි බලයක් තිබෙන්නේ නම් එම බලය හිමිවිය යුත්තේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවටය."

කමිටුව යෝජනා කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් පත්කිරීමේ දී ජනාධිපතිවරයා සිය නාම යෝජනා පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කළ යුතු අතර, පාර්ලිමේන්තු සභාව අනුමත කරන පුද්ගලයන් ජනාධිපතිවරයා විසින් අදාළ තනතුරුවලට පත්කරනු ලැබිය යුතු බවය.

කමිටුවේ නිගමන

ඡායාරූප මූලාශ්‍රය, BASL

ඡායාරූප ශීර්ෂ වැකිය, කමිටු වාර්තාවෙන්

පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර නීති විශාරදයින්ගේ කොමිසම (ICJ) ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ඒ පිළිබඳ බරපතල අවධානය යොමුකොට තිබුණේ ශ්‍රී ලංකාවේ මෙතෙක් දියත් වූ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය විනාශ කරන, "ඒකාධිපති ස්වරූපයේ ව්‍යවස්ථාවක්" ලෙසින් විග්‍රහ කරමිනි.

මේ අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පොදු රාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංසදය (CMJA), පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංසදය (CLEA), පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංසදය (CLA), පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍යවේදීන්ගේ සංසදය (CJA) සහ විනිසුරුවන් වෙනුවෙන් විනිසුරුවෝ (Judges for Judges) සංවිධානය, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවිය හැකි බලපෑම පිළිබඳව බරපතල අවධානය පළ කර තිබිණ.

අධිකරණය සහ අධිකරණ සේවය සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමු වී ඇති බව පවසන එම නිවේදනය, අධිකරණයේ ස්වාධීනත්වය සහ බල තුලනය සම්බන්ධ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තීන්ට අනුගත වන පරිදි අදාළ සංශෝධන සම්මත කිරීමට උත්සුක වන මෙන් ශ්‍රී ලංකාවේ විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලීමක් කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංසදයේ නිවේදනය

ඡායාරූප මූලාශ්‍රය, CLA

Presentational grey line
Presentational grey line

Himal SouthAsian වෙබ් අඩවිය වෙත ලිපියක් සපයමින්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති අංශයේ කථිකාචාරිනී දිනේෂා සමරරත්න පවසන්නේ 20 වෙනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තු සභාව සහ ජනාධිපතිවරයා අතර බලතුලනයේ බරපතල අසමතුලිතතාවක් පවතින බවය.

ධුරය දරන කාලය තුළ ජනාධිපතිවරයාගේ කිසිදු කටයුත්තකට එරෙහිව නඩු පැවරීමට නොහැකිවන පරිදි යළිත් වරක් මුක්තිය හඳුන්වාදීම මගින් තත්ත්වය තවත් උග්‍රවන බව ඇයගේ විග්‍රහය වී තිබේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

'ලොකු මචන්ට' ආයාචනයක්

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ හිටපු අධ්‍යක්ෂිකා, දිනුෂා පණ්ඩිතරත්න, බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, රජය නිවැරදිව ආර්ථික වර්ධනය සහ විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කර සිටින හෙයින්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ගැන ද අවධානයෙන් සිටිය යුතු බවයි.

ඇය පවසන පරිදි බෙහෙවින් සාකච්ඡා නොවුණු අවදානමක් වන්නේ, 20A ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහි කුමන බලපෑමක් ඇති කරාවිද යන්නය.

"රටක ණය ගැනීමේ හැකියාව සම්බන්ධ ශ්‍රේණිගත කිරීම්වලදී කොමිෂන් සභා සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු නීතියේ ආධිපත්‍යයට අදාළ වෙනත් කරුණු එම ශ්‍රේණිගත කිරීම් ආයතන සලකා බලන," බවත් ඇය සඳහන් කළාය.

මේ අතර සිය සොහොයුරු විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා වෙත විවෘත ලිපියක් යොමුකරමින්, හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ දියණිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවන මෙන් ඔහුට ආයාචනා කර තිබිණ.

වෛද්‍ය තුෂ් වික්‍රමනායක යොමු කළ ලිපිය

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Tush Wickramanayake

"දරුවන් අනාතයි. පරිසරය විනාශයි. නීතිය විකුර්තියි. අයිතීන් කම්මුතුයි. Bullet proof vest එකක් ඇඳලා වත් මේ වින්නැහියෙන් බේරෙන්න බෑ. වරප්‍රසාද කිසිවක් බලපොරොත්තු නොවන, අවංකවම මිනිසුන් ගැන කැක්කුමක් ඇති ඔයාට පුලුවන් 20වන සංශෝදනයට විරුද්ද වෙන්න. මුතු ඇටයේ People Power නියමුවා වෙන්න," යනුවෙන් වෛද්‍ය තුෂ් වික්‍රමනායක සිය සොහොයුරාට ආයාචනා කර තිබිණ.

ආණ්ඩුව ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ අදහස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද පළ වී තිබිණ.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

'ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි'

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සිය අදහස් දක්වමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයට අමතරව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවය.

20 වන සංශෝධනය මගින් ජනතා පරමාධිපත්‍යය හීන කරන බව ඔහුගේ තර්කය වී තිබේ.

එබැවින් "ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් කරන" 19 සංශෝධනය සම්මත කිරීම පිණිස ජනමත විචාරණයක් අවශ්‍ය නොවුවත්, "ජනතා පරමාධිපත්‍යය හීන කෙරෙන" 20 වෙනි සංශෝධනය සඳහා ජනමතය විමසා බැලීම අත්‍යවශ්‍ය බව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්පාදකයෙකු ලෙස සැලකෙන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න පවසයි.

20 වන සංශෝධනය මගින් අධිකරණය කෙරෙහි දැඩි නිශේධනීය බලපෑමක් එල්ල කරන බව පේරාදෙණිය විශ්විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලණ සේනාරත්න ගේ ස්ථාවරයය.

"එමගින් අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේත්, අභියාචනාධිකරණයේත් විනිසුරුවන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට (නැතහොත් තනි පුද්ගලයෙකුට) පැවරේ. කෙසේ වුවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හැරුණු විට එය ශ්‍රී ලංකාවේ අන් සෑම ජනාධිපතිවරයෙකු සතුව තිබූ බලයකි," යනුවෙන් ආචාර්ය කලණ සේනාරත්න බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් පැවසීය.

"අවාසනාවකට, මේ තත්වය මගින් සිදු වූයේ සමස්තයක් වශයෙන් බහුතර මානසිකත්වයක් සහිතව ගතානුගතිකවාදී ආකල්පයක් සහ ක්‍රමවේදයක් පැවති ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන (අධිකරණය ඇතුළු) සම්බන්ධ ගැටලු උග්‍ර කිරීමකි. එවැනි සමාජ-දේශපාලන සහ ආයතනික සන්දර්භයක් තුළ අධිකරණ සහ වෙනත් ආයතනවලට කෙරෙන පත්වීම් බහුපාක්ෂික සහ සියලු පාර්ශව ඇතුළත් මණ්ඩලයක් (ව්‍යවස්ථා සභාව වැනි) මගින් සිදුකිරීම එම ආයතනවල ස්වාධීනත්වය කිසියම් දුරකට හෝ රඳවා ගැනීම පිණිස තිබුණු එකම ක්‍රමවේදය විය."

සමගි ජන බලවේගය 20 ට එරෙහි උද්ඝෝෂණයක

ඡායාරූප මූලාශ්‍රය, Twitter/Himal SouthAsian

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අධිකරණය වෙත ගොනු කරන ලද පෙත්සමේ දැක්වෙන පරිදි, 20 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථා ගණනාවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වේ.

මේ අතර අධිකරණය වෙත පෙත්සමක් ගොනුකරමින් හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ ද ඉහළ අධිකරණවල විනිසුරුවන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පවරාදීම බලතුලනය පිළිබඳ සංකල්පය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කෙරෙන්නක් බවය.

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා ගොනු කළ පෙත්සමෙන් කොටසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා ගොනු කළ පෙත්සමෙන් කොටසක්

නීතිවේදිනී සොරායා ඩීන් සිය අදහස් දැක්වීම ආරම්භ කළේ "ව්‍යවස්ථාව කියන්නේ රටේ ජනතාව ගේ උත්තරීතර නීතිය. නීතිඥවරියක් විදියට ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න මම දිවුරුම් දීල තියෙනව," යනුවෙනි.

"20 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා කාටවත් යටපත් කළ නොහැකි ඉතා බලගතු කෙනෙක් බවට පත්කරලා තියෙනවා. නීතියට ඉහළින්. මහා බලයකුත් එක්ක."

ලොව කිසිදු පුද්ගලයෙකු නීතියට ඉහළින් සිටිය යුතු නැති බව පවසන නීතිවේදිනී සොරායා ඩීන්, විනිසුරුවන් පත්කිරීමේ අභිමතානුසාරී බලය සහ ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ලෙසකින් නඩු පැවරිය නොහැකිවීම වැනි කරුණු මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අවභාවිත කර ඇති බවත් පවසයි.

අගමැති සහ ජනපති දෙසොහොයුරෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති සහ ජනපති දෙසොහොයුරෝ

මේ පෙත්සම් විභාගවන අවස්ථාවේ එයට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සම් ඉදිරිපත් කරන බව ආණ්ඩුව පවසයි. විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය විධායක ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සඳහා බාධා කරන්නක් බැවින් එය අහෝසි කළ යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ.

සංශෝධනයේ පසුබිම

සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කෙරිණ.

එවක් පටන් 20 වෙනි සංශෝධනයේ විවිධ වගන්ති කෙරෙහි විරුද්ධ පක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශවයන් වෙතින් ද බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.

එහෙත් ආණ්ඩුව පවසන්නේ, 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී තමන්ට ජනවරමක් ලැබී තිබෙන බවය.

20 වෙනි සංශෝධනය තාවකාලිකව සම්මත කරගනු ලැබුව ද ඉක්මනින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සිය අභිප්‍රාය බව ආණ්ඩුවේ නායකයෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඒ සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කරනු ලැබ තිබේ.

කියවන්න: