ව්‍යවස්ථාව: 20 සංශෝධනය ගෙන එන ආණ්ඩුව සහ විපක්ෂය 19 සංශෝධනය ගැන එදා කී දේ

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images
- Author, සරෝජ් පතිරණ
- Role, BBC සිංහල
"ඒකාධිපති පාලනයකට මඟ පාදන" 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමාකරමින් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ යෝජනා කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරය සිය ඡන්දය භාවිත කළහ.
ඒ 2001 අප්‍රේල් 2 වෙනි දිනය.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඒ අවස්ථාවේ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් හැන්සාඩ් වාර්තා ඇසුරින් උපුටා ගනිමින් ආණ්ඩුව ඉදිරිපත් කළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කෙරෙන විමසුමකි, මේ.
හාත්පසින්ම වෙනස් සංශෝධන
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් ඡන්දය ලබාදුන්නේ ඉතාම ඉක්මණින් 20 වෙනි සංශෝධනයක් ගෙන එන්නේ යයි එක්සත් ජාතික පක්ෂය දුන් පොරොන්දුව අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
"19 ගෙනල්ලා පහුවදා උදේ 20 ගේනවා කිව්ව නිසා 19ට අපි ඡන්දෙ දුන්නා. හැබැයි 19 වැඩේ කරගෙන 20 වැඩේ කරන්නෙ නැතුව අවුරුදු පහක් ඒක ඇතුළෙ නිකං ඉඳීමේ ප්‍රතිඵලය තමා මේ තියෙන්නෙ."
- රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, 2020 සැප්තැම්බර් 23

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වුවත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කරන 20 වෙනි සංශෝධනය සහ මේ වනවිට පාර්ලිමේන්තුව ඉදිරියේ තිබෙන 20 වෙනි සංශෝධනය එකිනෙකට හාත්පසින්ම වෙනස් සංශෝධන දෙකකි.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ අවස්ථාවේ ප්‍රතිඥා දී තිබුණේ මැතිවරණ ක්‍රමය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන ව්‍යවස්ථා සංශෝධනයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පසුගියදා ඉදිරිපත් කළ සංශෝධනය "ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනතා පරමාධිත්‍යය හීන කරන්නක්" ලෙසින් දැඩි විවේචනයට ලක් වී තිබෙන්නෙකි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උත්සාහය හමුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 212 දෙනෙකුගේ ඡන්දයෙනි.
එයට එරෙහිව ඡන්දය භාවිත කළේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණය. අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය භාවිත නොකළ අතර, මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පැමිණ සිටියේ නැත.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු එදා කීවේ මොනවාද?


'වාසුදේව නානායක්කාරට පොලිසියෙන් ගැහුවා'

ඡායාරූප මූලාශ්‍රය, Gov.lk
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව වෙනුවෙන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසිනි.
අතාවුද සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මූලාසනය ගෙන සිටින අවස්ථාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කළ අවස්ථාවේ මතු වූ විරෝධතා පිළිබඳව දීර්ඝ විස්තරයක් කළ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පදවිය හෙබැවූ රාජිත සේනාරත්න, ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ව්‍යවස්ථාව හැඳින්වූයේ "කුරිරු ව්‍යවස්ථාව" යනුවෙනි.
එදා වාමාංශික එක්සත් පෙරමුණේ නායකයන් වූ ආචාර්ය එන් එම් පෙරේරා, දොස්තර එස් ඒ වික්‍රමසිංහ, පීටර් කේනමන්, ආචාර්ය කොල්වින් ද ආර් ද සිල්වා වැනි නායකයන් සමඟ හයිඩ්පාක් පිටියේ පාර අහුරා තමන්ද වාඩි ලා සිටි අවස්ථාව ඔහු සිහිපත් කළේය
"එදා මමත් තරුණ වෛද්‍යවරයෙක් විදියට එතුමන්ලා සමඟ එතැන වාඩි වුණා. තමුන්නාන්සේත් (අතාවුද සෙනෙවිරත්න) එදා එතැන හිටියා," ඇමතිවරයා සිහිපත් කළේය.
"එදා තමයි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කියන නීතිවේදියාව ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට අත් අඩංගුවට ගත්තේ. ඒ එක්කම අපට ආරංචි වුණා, ඒ පෙළපාළියට නායකත්වය දුන්නු වාසුදේව නානායක්කාරට පොලිසියෙන් ගැහුවා කියලා. පළමුවෙනි වරට මන්ත්‍රීවරෙයකුට පහරදීම ඒ වෙලාවේ අපට ආරංචි වුණා. හරි නම් අද වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මට වඩා ඉදිරියෙන් කර උර දීලා මේ දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ලැහැස්ති වෙන්නට ඕනෑ. මේ අවසාන කාලෙය්දී ඒකට එහෙන් මෙහෙන් පොඩි පොඩි ඇණ මුරිච්චි ගහන්න හදලා, ඒකට විරුද්ධව කථා කරලා ද්‍රෝහියෙක් වෙන්නේ නැතිව. ඒ වාගේම එදා තව ටිකක් දවල් වන විට අපට ආරංචි වුණා, පේරාදෙණිය හන්දියේ කළු කොඩි ඔසවපු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගත්තා කියලා. එතැන ආචාර්යවරුන් දෙදෙනෙක් හිටියා."
- අමාත්‍ය රාජිත සේනාරත්න (2015 අප්‍රේල් 27, හැන්සාඩ්)



ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තවදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, "අපි කී වාරයක් baton charge වලට ලක් වුණාද? මේ ගරු සභාවේ සිටින ගරු තිස්ස විතාරණ මන්තීතුමා දන්නවා, මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර ගන්නට ගිහිල්ලා අපි කී තැනක පෙළපාළි ගියාද, කී වාරයක් ගුටි කෑවාද, කී තැනකදී කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක් වුණාද කියලා. එදා ඒ අරගලවලට සභභාගි වුණු ගරු ඩිව් ගුණසේකර මන්ත්‍රීතුමන්ලා, ගරු තිස්ස විතාරණ මන්ත්‍රීතුමන්ලා අද මේ සභාවේ අපත් සමඟ ඉඳීම ගැන අපි සන්තෝෂ වෙනවා," යනුවෙන්ද සඳහන් කළේය.
රාජිත සේනාරත්න, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර යන අමාත්‍යවරු සිව් දෙනාම විධායක ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කළ සහ "ඒකාධිපති පාලනයකට මග පාදන්නක්" බවට චෝදනා එල්ල වූ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ.
අගමැති මහින්ද රාජපක්ෂ තරුණ අවදියේ පටන්ම විධායක ජනපති ක්‍රමයට එරෙහි වූ අන්දම ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිහිපත් කළේය.
"මහින්ද රාජපක්ෂ මහත්මයා මොකක්ද කළේ? එතුමාගේ කණ්ඩායම්වල ඉන්න මන්ත්‍රීවරුන් කථා කරන දේවල් ගැන මට පුදුමයි. එතුමා සමඟ උරෙන් උර ගැටිලා පාද යාත්‍රා ගිය මිනිහා මම. දවස් 18ම එතුමා සමඟ ඇවිද්දේ මමයි, ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමායි, මහින්ද අබේකෝන් මහතායි විතරයි. මුළු දවස් 18ම නොනවත්වා ඒ පාද යාත්‍රාවේ එතුමා සමඟ ගමන් කළේ අපි තුන් දෙනා විතරයි. ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල් මම වියදම් කළා. එදා එහෙම කරපු අපගේ පළමුවන සටන් පාඨය වුණේ මොකක්ද? "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු" කියන එක. අපි මිනිස් දම්වැල් ගියා, රත්නපුරයේ සමන් දේවාලයට "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියලා. අපි ශබ්ද ඝෝෂා නැඟුවා."
-- අමාත්‍ය රාජිත සේනාරත්න (2015 අප්‍රේල් 27, හැන්සාඩ්)
කෙසේ වුවත් ස්වභාවික යුක්තිය පිළිබඳ මූලධර්මය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළ බවට දෙස්, විදෙස් විවේචනයට ලක් වූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමයේ දී ක්‍රියාශීලී කමිටු සාමාජිකයෙකු වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, දෝෂාභියෝග ක්‍රියාවලියට කොන්දේසි විරහිතව සහය පළ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Gov.lk

ඡායාරූප මූලාශ්‍රය, Gov.lk
'ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි'
විවාදය ආරම්භයේදීම අදහස් දැක්වූ, ඒ අවස්ථාවේ පොදුජන එක්සත් පෙරමුණේ මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ් ඩී ජේ සෙනෙවිරත්න අවධාරණය කළේ, ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයා සතු බලතල වෙනත් කිසිවෙකුට පවරා දිය නොහැකි බවය.
"දහනව වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙනෙනකොට තමුන්නාන්සේලා දන්නවා, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 4වන ව්‍යවස්ථාව 3වන ව්‍යවස්ථාවත් සමඟ කියවනකොට කවදාවත් මේ විධායක බලතල ජනමත විචාරණයක් නැතුව කියාත්මක කරන්න බැහැ කියා. ඒක තමුන්නාන්සේලා දන්නවා."
- ඩබ් ඩී ජේ සෙනෙවිරත්න, (2015 අප්‍රේල් 27 හැන්සාඩ්)
"නමුත් තමුන්නාන්සේලා මොකද කළේ? මේ සංශෝධන ගැසට් කරලා ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පස්සේ සුපුරුදු පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල අනුව ඒක විශ්ලේෂණය කරලා අන්තිමේදී තීන්දුවක් ලැබුණා, ජනමත විචාරණයකට භාජනය කළ යුතු සංශෝධන ජනමත විචාරණයකට නොගොස් ක්‍රියාත්මක කරන්න බැහැ කියා. ඒකට හේතු වුණේ මොකක්ද? ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුනේ මේ කාරණයයි. විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් කර ප්‍රධාන වශයෙන්ම තමුන්නාන්සේලා බලාපොරොත්තු වන්නේ අගමැතිවරයාට ඒ බලතල දෙන්නයි. ජනාධිපතිතුමාට දීලා තිබෙන බලතල ජනමත විචාරණයක් නොමැතිව කිසිම විධියකින් තවත් කෙනකුට දෙන්න බැහැ," යනුවෙන් ද ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය
විවාදයේදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, 1978 ව්‍යවස්ථාව හඳුන්වාදුන් අවස්ථාවේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයට එරෙහි වූ අන්දම සිහිපත් කළේය.
"1978දී මේ විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක වුණාට පසුව හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා ඉදිරිපත් වුණු ජනාධිපතිවරණයේ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් වුණු ජනාධිපතිවරණයේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ජනාධිපතිවරණයේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වුණේ, "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා" කියන එකයි. ඇත්ත වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පැරණි වම අවුරුදු ගණනාවක් තිස්සේ අරගෙන ගිය වැඩ පිළිවෙළේ උච්චතම අවස්ථාවට අද අප ඇවිත් තිබෙනවා. මම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්නේ, "අපි මේ මල් වට්ටියට අත ගහමු" කියලායි."
- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල (2015 අප්‍රේල් 27, හැන්සාඩ්)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'සෝභිත හාමුදුරුවන්ව බිම පෙරළාගෙන ගැහුවා'
විවාදයේදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පාලක එක්සත් ජාතික පක්ෂයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ විධායක ජනපති ක්‍රමය යටතේ 1977 න් පසුව එල්ල වූ දැඩි මර්දනය සිහිපත් කරමිනි.
"ධර්මිෂ්ඨ සමාජය පෙන්වලා සෝභිත හාමුදුරුවන්ව බිම පෙරළා ගෙන ගැහුවා වාගේ, මහාචාර්ය සරත්චන්ද්‍රව බිම පෙරලා ගෙන ගැහුවා වාගේ යහ පාලනය පෙන්වලා මේ සංශෝධන අස්සට දමලා අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වන විවිධ පටු අරමුණු ඉෂ්ට කර ගන්නට යන්න එපා. මහරාජා සංවිධානයේ සිරස මාධ්‍ය ජාලය - අපි කැමැති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන් - අපි හැමෝටම ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඒ ආයතනයට අයිතියක් තිබෙනවා, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තිබෙන අයිතියක්. එතුමාව විවේචනය කළා. ඒක ඇත්ත. නමුත් එතුමා ඒ ස්වරය හිතේ තියාගෙන මේ මාධ්‍ය සියල්ල දඩයම් කිරීම සඳහා, මාධ්‍ය අයිතිකරුවන්, මාධ්‍යකරුවන් ගෙනියලා හිරේට දැමීම සඳහා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වගන්තියක් ඇතුළත් කළා."
-බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා (2015 අප්‍රේල් 27, හැන්සාඩ්)
කෙසේ වුවත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ පෝද්දල ජයන්ත සහ කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙසින් පහරදීම මෙන්ම සිරස මාධ්‍ය ආයතනයට ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ද අමාත්‍ය පදවි හෙබැවූ මහින්ද රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Gov.lk

ඡායාරූප මූලාශ්‍රය, Gov.lk
විවාදයේ දී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, "ජාතික ආණ්ඩුවක්" පිහිටුවා ඇමතිවරුන් සංඛ්‍යාව තිහට වඩා වැඩි කිරීම ගැන දැඩි විරෝධය පළ කළේය.
"මේ විදියට ඇමතිවරු ප්‍රමාණය වැඩි කරනවාටත් අපි විරුද්ධයි."
-දිනේෂ් ගුණවර්ධන (2015 අප්‍රේල් 28, හැන්සාඩ්)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනපති ගැන 'ප්‍රාර්ථනයක්'
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් පසුගියදා විශේෂ ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක පවසන්නේ, 1999 දී විධායක ජනාධිපති ක්‍රමය නිමා කිරීම පිණිස තමන් අවංක උත්සාහයක් දැරූ බවය.
දක්ෂ පාලකයෙකු බව පැවසෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සොහොයුරන්ට වඩා වෙනස් මාර්ගයක ගමන් කිරීමට උත්සාහ දරන හැඩක් පෙනෙන්නට තිබෙන බව පවසන හිටපු ජනපතිනිය, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපති බලතල තහවුරු කරගැනීමෙන් තමන්ටත් රටටත් විය හැකි හානිය වටහා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළාය.
එබැවින් 20 වෙනි සංශෝධනයේ භයානක ස්වරූපය වෙනස් කිරීමට ජනපතිවරයා පියවර ගනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක පැවසුවාය.
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්
ගෝඨාභය රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 39 ක් ගොනු කර තිබුණු අතර, එම පෙත්සම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවය විසින් ප්‍රතිශෝධන පෙත්සම් 7 ක් ගොනු කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
නීතිවේදිනී භවානි ෆොන්සේකා ට්විටර් පණිවුඩයකින් පෙන්වා දී තිබුණේ, සඳුදා (ඔක් 05) එම පෙත්සම් පිළිබඳ වාචික විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපතිවරයා ඉදිරිපත් කළ තර්කවලට ලිඛිත ප්‍රතිචාර අඟහරුවාදා ඉදිරිපත් කරන මෙන් දැනුම් දුන් බවය.
කියවන්න:









