අධ්‍යාපන වරම් අහිමි දරුවෝ: "නිලධාරීන්ගේ දැක්ම වෙනස් නොවන තාක් කැලේ පිපෙන මල් කැලේටම පරවේවි"

හෙට්ටිපොළ මදුල්ල මහා විද්‍යාලයේ ආචාරිනි තිලිනා අනුරුද්දිකා
ඡායාරූප ශීර්ෂ වැකිය, හෙට්ටිපොළ මදුල්ල මහා විද්‍යාලයේ ගුරුවරියක වන තිලිනා අනුරුද්දිකා
    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

"අපේ පාසලේ සිටිය විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල දක්ෂම සිසුවා ලහිරු. මම පන්ති භාර ගුරුවරිය විදිහට මෙම දරුවාගේ හැකියාවන් දැකල තිබුණා. ඔහු සෞන්දර්ය විෂයයන් සඳහා තෝරා ගත්තේ නැටුම්. හය ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නැටුම් විෂය හැදෑරුව පාසලේ එකම පිරිමි ළමයාත් මෙම දරුවා. හොඳ සංයමයක් මේ දරුවා තුළ දකින්න ලැබුණා. ඔහු නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ දරුවෙක්. ක්‍රීඩා හා අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් වලින් ඔහු කැපී පෙනුන. සාමුහික බව, හැදියාව ඔහු තුළ තිබුනා. ඔහු පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. අපි දැනගෙන සිටියා මේ ළමයා මේ වගේ ගම්බද පාසලකට වටිනා බව."

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හෙට්ටිපොළ මදුල්ල මහා විද්‍යාලයේ ගුරුවරියක වන තිලිනා අනුරුද්දිකා බීබීසී සිංහල සේවයට තම පාසලේ ඉගෙනුම ලැබූ ලහිරු සම්පත් සිසුවා පිළිබඳව දැක්වූ අදහසයි, ඒ.

හෙට්ටිපොළ මදුල්ල මහා විද්‍යාලය
ඡායාරූප ශීර්ෂ වැකිය, හෙට්ටිපොළ මදුල්ල මහා විද්‍යාලය

පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ ලහිරු, අපොස (සා පෙළ) විභාගයෙන් බී සාමාර්ථ 4 ක්, සී සමාර්ථ 4 ක් සහ එස් සමාර්ථයක් සහිතව සමත්වී තිබේ. නමුත් ඔහු තම පවුලේ පවතින ආර්ථික ගැටලු හමුවේ උසස් පෙළ හැදෑරීමට යොමු නොවී වෙළෙඳ සැලක රැකියාවක් කිරීමට තීරණය කර තිබෙන්නේ අවම තරමින් පියා විසින් ණයට ගත් පදිංචි නිවස හෝ බේරා ගැනීමේ අදහස ඇතිවයි.

ඔහුගේ පියා ආසන්න ප්‍රදේශයක කොහු මෝලක සේවය කළේය. පියා නිවස සමඟ කුඩා ඉඩම මිලදී ගෙන තිබුණේ රු ලක්ෂ 6 කට ආසන්න මුදලකටයි. ඵම මුදලින් කොටසක් ගෙවා ඇති පියා ඉතිරි මුදල කොහු මෝලේ සේවය කර ලබාගන්නා වැටුපෙන් ක්‍රමයෙන් ගෙවා දැමීමට එකඟවී සිටියේය.

නමුත් සේවා ස්ථානයේ දී හදිසියේ සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුට ඉඩමේ ඉතිරි මුදල ගෙවා ගැනීමට නොහැකි වී ඇති අතර ඊට එරෙහිව ඉඩම ලබාදුන් පුද්ගලයා අධිකරණ ක්‍රියාමාර්ගයක්ට් යොමු වී ඇති බව ලහිරුගේ පියා, 50 හැවිරිදි ජී එල් සමන් කුමාර පවසයි.

"වැඩ කරන අතර තුර කොහු මෝලෙ යන්ත්‍ර පටියක් මාරු කරන්න යද්දී අත රෝදයකට අහුවෙලා ඇඟිලි 2 ක් කැපුණා. මැණික් කටුවට උඩින් වැලමිටට පහළින් කඩලා ගියා. මේ කරදරයත් එක්ක මට ඉඩමේ ණය කොටස ගෙවා දමන්න බැරි වුණා. ඉඩමේ අයිතිකරු දැන් උසාවි ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. දරුවා පාසැල් යනවාට මගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ඔහු පාසැල් යවන්න අපිට ශක්තියක් නැහැ. මම දැන් පොල්ගස් නැගල කුලියක් මලියක් කරලා පවුල නඩත්තු කරන්නේ," යනුවෙන් ඔහු බීබීසී සිංහල සේවයට විස්තර කළේය.

ආර් එල් චන්ද්‍රානි ශ්‍රියාලතා
ඡායාරූප ශීර්ෂ වැකිය, ආර් එල් චන්ද්‍රානි ශ්‍රියාලතා

ලහිරුගේ මව, ආර් එල් චන්ද්‍රානි ශ්‍රියාලතා, තිදරු මවකි. ලහිරු සම්පත් ගේ බාල සොහොයුරිය (14) සහ සොහොයුරා (08) මදුල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබති.

පාසලේ විදුහල්පති ඒ පී සරත් ජයපාල බීබීසී සිංහල සේවය සමඟ දහස් දක්වමින්: "අපේ පාසලේ පන්ති පැවැත්වෙන්නේ 11 ශ්‍රේණියට පමණයි. සාමාන්‍ය පෙලෙන් පසුව අපි මව්පියන් කැඳවා දරුවන් උසස් පෙලට වෙනත් පාසැල් කරා යොමු කරවනවා. එහෙම ගොඩක් ළමයි ඇවිත් අපෙන් ඉල්ලුම් පත්‍ර අත්සන් කරගෙන ගියා. නමුත් ලහිරු සම්පත් සිසුවා පාසලට පැමිණියේ නැහැ. මම දරුවා සහ මව්පියන් පාසලට කැඳවා ඇහුවා ඇයි පාසැලක් සඳහා ඉල්ලුම් නොකළේ කියල. මට දරුවත්, ඔහුගේ මව්පියනුත් පවතින ආර්ථික ගැටළු ගැන කිව්වා."

"විෂය ක්‍රියාකාරකම් වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීත් මේ දරුවාට එක පාරක් කියල දීපුවාම ඒක හොඳට අවබෝධ කර ගන්න පුළුවන් දරුවෙක්. අපිට කරන්න පුළුවන් දේ කරලා අපි මේ දරුවට ඉහල ප්‍රතිඵලයක් අරගෙන දීල තියෙනව. අපිට තේරෙනවා මේ දරුවා උසස් පෙළ හදාරලා ඉදිරියට ගියොත් උසස් අධ්‍යාපනයක් ලැබුවොත් ඉදිරියට යන්න පුළුවන් දරුවෙක් කියල."

විදුහල්පති ඒ පී සරත් ජයපාල
ඡායාරූප ශීර්ෂ වැකිය, විදුහල්පති ඒ පී සරත් ජයපාල

එක ශ්‍රේණියේ සිට 13 වසර දක්වා සෑම දරුවෙකුටම පාසැල් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය පසුගිය රජය විසින් බලාත්මක කර ඇත. එසේම ඊට පෙර පැවති රජයන්ද මේ පිළිබඳව සාධනීය ක්‍රියාමාර්ග ගෙන තිබු අතර තාක්ෂණික විෂයන් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සහ ඒ සඳහා පාසැල් පද්ධතිය තුළ තාක්ෂණික විද්‍යාගාර ඇතුළු භෞතික සම්පත් ස්ථාපනය කිරීම එකී සාධනීය ක්‍රියා මාර්ගයි. එහි අරමුණ බවට පත්ව තිබුණේ සාමාන්‍ය පෙළ අසමත් වුවත් දරුවන්ට පාසැල් යෑමට අවස්ථාව සලසා දීම හා විෂය ක්‍රියාකාරකම් වලින් දරුවෙකු කුසලතා නොපෙන්වන්නේ නම් තාක්ෂණික විෂයන් ඔස්සේ ඔවුන් වෘත්තීය සුදුසුකම් සහිත දරුවෙකු ලෙස පාසැල් ජීවිතය හමාර කිරීමට අවස්ථාව සලසා දීමයි.

අනිවාර්ය අධ්‍යාපන නියෝග අනුව අවුරුදු 5 සිට 16 දක්වා සියළුම දෙනාට අධ්‍යාපන අයිතිය ඇති බවට රජය පිළිගන්නා අතර ඒ සඳහා අනිවාර්ය අධ්‍යාපන කමිටුවක් පාසල් මට්ටමින්, ගම් මට්ටමින්, පළාත් හා ජාතික මට්ටමින් පිහිටුවා ඇත.

ගම් මට්ටමින් ග්‍රාම නිලධාරීවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාසල් මට්ටමින් පාසලේ විදුහල්පති, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, ජාතික මට්ටමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එහි නිලධාරීන් මෙයට වගකිව යුතුය.

මෙම ක්‍රියාදාමය මගින් අපේක්ෂා කරන්නේ අවුරුදු 5 සිට 16 ත් අතර සියලුම ළමුන්ට පාසල් යෑමට ඇති අයිතිය තහවුරු කිරීමයි. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය මත අවුරුදු 18 වනතුරු ළමුන් පාසල් අධ්‍යාපනය ලැබිය යුතුය.

ලහිරු සම්පත්ගේ සොහොයුරිය සහ සොහොයුරා
ඡායාරූප ශීර්ෂ වැකිය, ලහිරු සම්පත්ගේ සොහොයුරිය සහ සොහොයුරා

ළමයෙකුට වයස අවුරුදු 16 න් වෘත්තීයක් කිරීමට හැකියාව තිබෙන නමුත් එම වෘත්තීය, අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතු බව ආසියා පැසිෆික් මුල් ළමා විය ජාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත එච් එම් වසන්ත හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.

නමුත් ගැටලුව පවතින්නේ ඇතැම් දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය ආර්ථික හා සාමාජීය තත්වයක් නිර්මාණය නොවීමය. පවුල් තුළ පවතින ගැටළු හමුවේ බොහෝ දරුවන්ට මව්පියන් සමග ජිවත් වීමට අවස්ථාව නොලැබීම මේ ගැටලුවේ බරපතල තත්වයක් බව අධ්‍යාපනඥයෝ පවසති.

ආර්ථික ගැටළු හමුවේ මව්පියන් මැදපෙරදිග ඇතුළු රටවල විදේශ ගතවීම, මත ගැටුම් හා ආරවුල් මත මව පියාගෙන් හෝ පියා මවගෙන් වෙන්ව සිටීම, දරුවන්ට රැකවරණය දිය යුතු පාර්ශව මත්ද්‍රව්‍ය හා වෙනත් සමාජ විරෝධී අකටයුතුකම් වෙත ඇබ්බැහි වී සිටීම, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ ඇති වටිනාකම ඇතැම් මව්පියන් විසින් වැඩිහිටි පාර්ශව විසින් අවබෝධ කර නොගැනීම, එම වැඩිහිටියන් සිටින සමාජ තත්වය මත පමණක් සිටගෙන දරුවන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම, පෞද්ගලික කරුණු මුල් කරගෙන ළමුන් නොසලකා හැරීම හා මැද පෙරදිග ගෘහ සේවය ඇතුළු පුහුණුවකින් තොර විවිධ ක්ෂේත්‍රවල ශ්‍රමිකයින් ලෙස භාවිත කිරීම වැනි හේතු ගණනාවක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීමට බලපා ඇති බව අධ්‍යාපන විද්වතුන්ගේ මතයයි.

පාසැල් නොයන ළමුන් සම්බන්ධයෙන් මෑත කාලයේ සමීක්ෂණයක් සිදුවී නොමැති නමුත් 2016 වසරේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණ වාර්තාවට අනුව අවුරුදු 5 - 17 අතර විවිධ හේතූන් මත පාසල් නොයන ළමුන්ගේ සංඛ්‍යාව 452,661කි. එහි ප්‍රතිශතය 09.9 පමණ වේ. මේ පිරිසෙන් අධ්‍යාපන වටිනාකම නොදැන පාසැල් නොයන සංඛ්‍යාව 77730 කි.

තමන් බලාපොරොත්තුවන පාසැල නොලැබීම මත ළමුන් 4913 ක්, ළමුන්ගේ හා ගුරුවරුන්ගේ බලපෑම මත ළමුන් 3853 ක්, වෙනත් හේතුන් මත 32821 ක් පාසැල් නොයන බව මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

මෙහි දී අනාවරණය වන තවත් විශේෂ කරුණක් වන්නේ පවුලේ එදිනෙදා කටයුතු වලට සහභාගි වීම හේතුවෙන් ළමුන් 7537 ක් පාසැල් ගමන නතර කර ඇති බවයි.

ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පාසල් නොයන ළමුන් සම්බන්ධයෙන් මේවන විට සමීක්ෂණයක් සිදුකරන අතර එහි අවසන් ප්‍රතිපලය නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කළ හැකි බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පැවසීය.

පාසැල් නොයන ළමුන් හඳුනා ගැනීම සහ ඔවුන් අධ්‍යාපනය කරා යොමුකිරීමට මැදිහත්වීම මෙම සමීක්ෂණයේ අරමුණ වී තිබෙන බව ඔහු පැවසීය.

ආචාර්ය ප්‍රභාත් ඒකනායක
ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය ප්‍රභාත් ඒකනායක

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක පවසන්නේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ මිනිසුන් හදවතින් සංවේදී වන නමුත් එම සංවේදී තාව බුද්ධි ගෝචර කරගනිමින් සමාජ ආර්ථිකය ගොඩ නැංවීමට භාවිත කිරීමක් සිදුව නැති බවයි.

දරුවන් හෝ වෙනත් පාර්ශවයක දුකේදී ඇතිවන් සානුකම්පිත බව පමණක් සලකා එම පාර්ශව වල දුප්පත්කම තුරන් කළ නොහැකි බවත්, නිදහසෙන් පසුව ලංකාවේ සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූ බවත් එම ප්‍රතිපත්තිය හරහා දුප්පතුන් නොවන පාර්ශවද දුප්පතුන්ට ලැබිය යුතු සම්පත්වලින් පෝෂණය වන බවත් මෙම ප්‍රතිපත්ති රජය විසින් දැන් යාවත්කාලීන කළ යුතු බවත් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ආචාර්ය ප්‍රභාත් ඒකනායක පැවසීය.

''දැන් උදාහරණයකට ගත්විට විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකුට හොඳ වැටුපක් ලැබෙනවා. ඒ වගේ වෘත්තීන්වල නිරත වන අයට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට හොඳ ආර්ථිකයක් තියෙනව. නමුත් මේ අයටත් මේ සමානාත්මක ප්‍රතිපත්තිය යටතේ නොමිලේ පෙළ පොත් දෙනවා, නොමිලේ ඇඳුම් දෙනවා. හැබැයි සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හඳුන්වලා දුන්නේ දුප්පත් ජනතාවගේ දක්ෂ දරුවන්ට අධ්‍යාපන වරප්‍රසාද ලබා දෙන්න, ඔවුන් ඉදිරියට අරන් යන්න."

වීඩියෝ ශීර්ෂ වැකිය, බත්තලංගුණ්ඩුව ජන දුක

නමුත් අද ශ්‍රී ලංකාව තුළ එම ප්‍රතිපත්තිය දුප්පත් දරුවන් වෙනුවෙන් නොව මධ්‍යම පාන්තිකයින් හෝ ඉහල මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ක්‍රියාවට නැගෙන බවත් මෙය විදේශයන් හි මෙයට වඩා වෙනස් බවත් එහිදී ඉහළ ආදායමක් සහිත ඇති හැකි අයගෙන් වැඩියෙන් බදු අය කර දුප්පත් ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය සදහා වියදම් කරන බව ඔහු පැවසීය.

"අන්න ඒ වගේ මේ සුභසාධන ප්‍රතිපත්ති යාවත්කාලීන විය යුතුයි සහ එය ආර්ථිකයට දැරිය හැකි විදිහට වෙනස් විය යුතුයි. එසේ වෙනස් නොවන තාක් ඔයවගේ ඛේදවාචකයන්ට අපේ රට මුහුණ දෙනවා. සුභසාධන ප්‍රතිපත්තිය, රාජ්‍ය ප්‍රතිපත්තිය සහ නිලධාරීන්ගේ දැක්ම වෙනස් නොවන තාක් මේ වගේ සිද්ධීන් වාර්තා වනවා. දක්ෂ දරුවෝ අර කැලේ පිපෙන මල් කැලේ පරවෙනවා වගේ ඔවුන් ගිලිහෙන එක නවත්වන්න බැහැ."

"ලෝක ළමා දිනයේ සංදර්ශන පැවත්වුවට කමක් නැහැ. නැටුම් ගැයුම් කලාට ළමුන්ට කන්න බොන්න දුන්නට, ළමයි අගය කළාට කමක් නැහැ. හැබැයි අපි භුමියේ යථාර්තයට ආමන්ත්‍රණය නොකරන තාක් අපිට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ," ආචාර්ය ප්‍රභාත් ඒකනායක පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, තරඟ විභාග නැති ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය

කියවන්න: