අම්පිටියේ සුමනරතන හිමි: "සමථයකට පත් නොවූ සිදුවීම අධිකරණයට"

අම්පිටියේ සුමන හිමියන් ක්වින්ටස් නාලක ෆොන්සේකා දේවගැතිවරයාට බැන වදින අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, අම්පිටියේ සුමන හිමියන් ක්වින්ටස් නාලක ෆොන්සේකා 'දේවගැතිවරයා'ට බැන වදින අවස්ථාව

2019 වසර අග ගෙවී ගියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වූ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් සමගය. අම්පිටියේ සුමනරතන හිමි නත්තල් දා අම්පාර, උහන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීමෙන් හටගත් ඒ සිදුවීම 2020 වසරට ද දිග හැරෙන්නේ ඒ සිදුවීමට පාදක වූ තවත් කරුණු ජනවාරි 07 වෙනිදා අධිකරණය හමුවට ගෙන යාමට නියමිත බැවිනි.

එම සිදුවීම මෙන්ම 'බලහත්කාරයෙන් ආගමකට බඳවා ගැනීම' කරන බවට පිරිසකට චෝදනා කරමින් සුමනරතන හිමියන් මංගලගමදී ප්‍රතිචාර දක්වන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් ද දින කිහිපයක සිටම දැඩි සංවාදයකට ලක්වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට විය.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මඩකලපුවේ මංගලගම පොලිස් ස්ථානයට සහ අම්පාරේ උහන පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී තිබේ.

මංගලගම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සමථයකට පැමිණියද උහන සිද්ධියට අදාළව එවැන්නක් සිදු නොවූ බැවින් එය ජනවාරි 07 වෙනිදා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන බව පොලිසිය පැවසීය.

මෙම සිදුවීම් දෙකම පාර්ශව දෙකකට අදාළව හටගෙන ඇති අතර ඒ අම්පිටියේ සුමනරතන හිමිගේ පාර්ශවය සහ ක්වින්ටස් නාලක ෆොන්සේකා නම් 'දේවගැතිවරයා'ගේ පාර්ශවය ය.

''හරි, මම කණේ පහර ගහපු එකේ වැරැද්ද භාර ගන්නම්. පහර කාලා මිනිහා හැංඟුණේ එයා වැරදි නිසයි. එයාට ගහපු එක කවුරුහරි වරදක් ලෙස දකිනවා නම්, එයාව හොයාගෙන ඇවිත් මට නීතිය ක්‍රියාත්මක කරන්න. මටත් ඕන ඔහුව නීතිය ඉදිරියට ගේන්න," යනුවෙන් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ඉතාම ඉවසිල්ලෙන් හා නිශ්ශබ්දව ක්‍රියා කරන්නැයි තමන්ට ශ්‍රී ලංකා අපෝස්තලික නිකායේ නායකයන්ගෙන් උපදෙස් ලැබුණු බව ක්වින්ටස් නාලක ෆොන්සේකා දේවගැතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

''මංගලගමදී ආගම් මාරුව''

මඩකලපුව, මංගලගම පොලිස් වසමට අයත් කෙවිලියාමඩුව ප්‍රදේශයේ දී වෑන් රථයකින් පැමිණි පිරිසක් පියතුමෙකු ලෙස පෙනී සිටින අයෙකු සමග එක්ව 'සිංහල බෞද්ධ පවුල් වෙනත් ආගමකට බඳවා ගැනීමේ උත්සහයක්' ඇති බවට ලද තොරතුරකට අනුව දෙසැම්බර් 18 වෙනි දින එම ස්ථානයට ගිය බව අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.

එම සිද්ධිය සම්බන්ධයෙන් මංගලගම පොලිසියට පැමිණිළි කළ සුමනරතන හිමියන් එහිදී කියා සිටියේ පියතුමෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා කතෝලික පූජකවරයෙකු නොවන අතර ඒ පිළිබඳ අගරදගුරු හිමිපාණන්ගේ අවධානය යොමුවිය යුතු බවකි.

''පියතුමෙකු'' ගේ භූමිකාව

මෙම සිද්ධියට ප්‍රතිචාර දැක්වූ අගරදගුරු පදවි සන්නිවේදන අධ්‍යක්ෂ සහ අගරදගුරු පදවි මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිසන්ත පියතුමා සඳහන් කළේ මේ ලෝගුවකින් සැරසුණු පුද්ගලයා කිසිසේත්ම "කතෝලික පියතුමෙකු නොවන" බවය.

''අතීතයේ සිටම නිල වශයෙන් කලුපාට බදනය සහිත සුදු ලෝගුව පැළඳිය හැකි වන්නේ කතෝලික පුජා ප්‍රසාදීන් වහන්සේලාට පමණයි,'' යනුවෙන් ද ජූඩ් ක්‍රිසන්ත පියතුමා නිකුත් කළ විශේෂ ප්‍රකාශයේ දැක්විණි.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

කෙසේවුවද, බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ මතභේදයට ලක්ව ඇති ''පූජකවරයා'' පැවසුවේ තමන් ශ්‍රී ලංකා අපෝස්තලික නිකායට අයත් ක්වින්ටස් නාලක ෆොන්සේකා 'දේවගැතිතුමා' බවය. අම්පාරේ ඇති තමන්ගේ නිවස, පූජක නිල නිවාසය ලෙස භාවිත කරන බවද සඳහන් කළේය.

තමන්ද යේසුස් වහන්සේ අදහන අතර මෙම නිල ඇඳුම ඇඳීමට හෝ විවාහ වීමට ශ්‍රී ලංකා අපෝස්තලික නිකායට අනුව බාධාවක් නැතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

නත්තල් දින ''කණේ පහර''

දෙසැම්බර් 18 වෙනි දින මංගලගම ප්‍රදේශයේ අත් පත්‍රිකා බෙදන ලද පිරිස නත්තල දින උහන ප්‍රදේශයේ යාඥා මෙහෙයක් සංවිධාන කරන බවට ලද තොරතුරකට අනුව අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු පිරිසක් අදාළ ස්ථානය ආසන්නයට පැමිණි පසු හටගත් සිදුවීම්වල දර්ශන පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත විය.

අම්පිටියේ සුමනරතන හිමි පුද්ගලයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, අම්පිටියේ සුමනරතන හිමි පුද්ගලයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන අවස්ථාව

එදින සිදුවීමේ එක් අවස්ථාවකදී සුමනරතන හිමියන් කිසියම් පුද්ගලයෙකුට පහර දෙන ආකාරය එම දර්ශනවල පැහැදිලිව පෙනෙන්නට වූ අතර එය හෙළා දකිමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අදහස් පළ කළ අතර ඇතැමුන් ඊට වෙනස් මත දරන බව ද පෙනෙන්නට විය.

නත්තල් දින ''කණේ පහර''

ඡායාරූප මූලාශ්‍රය, facebook

නත්තල් දින ''කණේ පහර''

ඡායාරූප මූලාශ්‍රය, facebook

නත්තල් දින ''කණේ පහර''

ඡායාරූප මූලාශ්‍රය, facebook

නත්තල් දින ''කණේ පහර''

ඡායාරූප මූලාශ්‍රය, facebook

"බලහත්කාරයෙන් ආගම් මාරු කිරීමට ජනතාව තුළ පෙළඹවීම් ඇති කිරීම" සහ පූජකවරයෙකු බව කියන අයගේ "පූජකභාවයේ නීත්‍යානුකූල" බව අභියෝගයට ලක් කරමින් අම්පිටියේ සුමනරතන හිමියන් උහන පොලිසියේදී කරුණු දක්වා ඇත.

උන්වහන්සේ පිරිසක් සමග එක්ව "නත්තල් දින උත්සවයක් කඩාකප්පල් කළ" බවට දේවගැතිවරයා විසින් ද කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම සිද්ධිය සමථයකට පත්කිරීමට නොහැකි වූ තැන පොලිසිය පියවර ගත්තේ එය අධිකරණයට හමුවට ගෙන යාමට ය.

මේ අතර සුමනරතන හිමියන්ගෙන් පහර කෑ පුද්ගලයා පොලිසියට පවසා තිබෙන්නේ එම සිදුවීම පිළිබඳව තමාට ගැටලුවක් නැති බවය. කෙසේ වෙතත් ඔහු එදින අදාළ ස්ථානයට යතුරු පැදියකින් පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව බැවින් ඔහුට එරෙහිව රථ වාහන නඩුවක් පවරන බව උහන පොලිසිය පැවසීය. ඔහු සතුව තිබී ඇත්තේ කැනඩාවේ රියදුරු බලපත්‍රයකි.

"පරමාදර්ශී භික්ෂුව"

මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියා කලාපය මීට පෙර අවස්ථා කිහිපයකදීම විවේචනයට බඳුන් විය. ඒ අතරින්, 2016 වසරේදී එරාවුර් සංචාරක අධිකරණය විසින් උන්වහන්සේට වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ඉඩමකට බලහත්කාරයෙන් පිවිසීම මුල්කර ගනිමින් හටගත් මතභේදයක් හේතුවෙනි. එම වසරේදීම ග්‍රාම නිලධාරීවරයෙකුට බැනවැදීමේ සිදුවීමක්ද , සුමනරතන හිමියන් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ සිදුවීම් අතර විය.

අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියා කලාපය මීට ඉහතදී ද මතභේදයට ලක් විය (සංරක්ෂිත ඡායාරූපයක්)
ඡායාරූප ශීර්ෂ වැකිය, අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියා කලාපය මීට ඉහතදී ද මතභේදයට ලක් විය (සංරක්ෂිත ඡායාරූපයක්)

කෙසේවෙතත්, අම්පිටියේ සුමනරතන හිමි පමණක් නොව තවත් භික්ෂූන් වහන්සේ කිහිප නමකගේම ''විනය හා ශික්ෂණය'' පිළිබඳ මතභේදාත්මක අදහස් පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ පළ විණි.

මේ පිළිබඳව අදහස් පළකළ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රානි මුණසිංහ පැවසුවේ දීග නිකායේ සාමන්ඥඵල සූත්‍රයේ සහ බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කෙරෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ විසින් සඳහන් කරන ලද ''පරමාදර්ශී භික්ෂුවගේ ස්වභාවය'' අද දක්නට ලැබේද යන්න ගැටලු සහගත බවය. විනය නීති තුළින් ලැබෙන ශික්ෂණය නොමැති වීම මෙවැනි සිදුවීම් වලට හේතුවන බව මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.

''සාපේක්ෂව සමාජය වෙනස්වීමත් එක්ක ඒ පරමාදර්ශී තත්ත්වය පවතින්නේ නෑ සදාකාලිකව. නමුත් යම්කිසි ප්‍රමාණයකට හෝ අර ආදර්ශවත් බව තිබුණොත් සමාජයට හිතකරයි. ප්‍රශ්නයක දී හේතුව හා ඵලය විග්‍රහ කරමින් ඒ න්‍යාය අනුව විසඳුම් සොයන පිරිසක් වෙනුවට කලහකාරී ස්වභාවයකින් නම් ක්‍රියා කරන්නේ සමාජයට මොකක්ද වෙන්නේ? බුදු හාමුදුරුවෝ විනය නීති පනවලා තියෙන්නේ අනිත් මනුෂ්‍යයන්ට හා සියලු සත්ත්ව ප්‍රජාවට, පරිසරයට හිතෛෂී භික්ෂුවක් බිහි කරන්න," යනුවෙන් ද මහාචාර්ය චන්ද්‍රානි මුණසිංහ ප්‍රකාශ කළාය.

කියවන්න: