සජිත් ප්‍රේමදාස "කළකිරීමෙන්" - එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් "විකල්ප පියවරකට සූදානම්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව එම පක්ෂ ක්‍රියාකාරීහු පවසති.
පරාජයට හේතු වශයෙන් පක්ෂයේ නියෝජිතයෝ විවිධ කරුණු ඉදිරිපත් කරමින් සිටිති. ඒ අතරින්, සජිත් ප්‍රේමදාසට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට හඩ නැගූ බහුතර පිරිසගේ අදහස වී ඇත්තේ, නායකත්වය ඇතුළු තනතුරුවල වෙනසක් සිදු විය යුතු බවය.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ඉරිදා (නොවැ: 17) නිවේදනය කළේය.
ඔහුගේ නිවේදනයේ දැක්වුණේ, "මෙම මැතිවරණයෙන් පිළිබිඹු වූ ජනමතය මත පදනම්ව, මම එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් සහ මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙමි," යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අගහරුවාදා (නොවැ: 19) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ, රනිල් වික්‍රමසිංහ නායකත්වය අත්නොහරින්නේ නම් "වෙන ම වැඩපිළිවෙළකට යාමට," සිදුවන බවය.

"එතුමා එහෙම ඉන්නවා නම් එතුමාට පක්ෂය තියාගෙන ඉන්න කියලා අපිට වෙන ම වැඩපිළිවෙළකට යන්න වෙනව. මොක ද අපිට මේ පාක්ෂිකයින්ට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ."
සජිත් ප්‍රේමදාස "කළකිරීමෙන්"
මේ අතර, සජිත් ප්‍රේමදාසගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව ද නලින් බණ්ඩාර ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ "සජිත් ප්‍රේමදාස මහත්තය කිව්වේ, පක්ෂයේ නායකකම් ගන්න රණ්ඩු කරන්න බැහැ කියලයි. එතුමා තීන්දුවක් ගනිමින් ඉන්නවා මොකක් ද කරන්නේ කියලා. එතුමා කිව්වා තව අවුරුදු 5ක් යනකොට මට අවුරුදු 57යි, මම කල්පනා කරමින් යනවා දේශපාලනය කරනවා ද කියලා හිතමින් ඉන්නවා කියලා. රටේ ජනතාවට මාව එපා නම් මං ඒ ගැන තීන්දුවක් ගන්නවා කියන ස්ථාවරයේ තමයි එතුමා හිටියේ." යනුවෙනි.
තමන් බිංගිරිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වන බව ද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසීය.
මේ අතර, සදුදා (නොවැම්බර් 18) මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස "යම් කළකිරීමකට පත්ව සිටින" බවය.
"නායකත්වය වෙනස් විය යුතුයි!"

ඡායාරූප මූලාශ්‍රය, united national party/facebook
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරයේ පසුවෙති.
අජිත් මාන්නප්පෙරුම, හේෂා විතානගේ, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි, නලින් බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් දරති.
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැවසුවේ, නායකත්වයේ වෙනසක් සහ පක්ෂ ප්‍රතිසංවිධානයක් ඉතා ඉක්මණින් සිදු විය යුතු බවය.

ඡායාරූප මූලාශ්‍රය, Hector Appuhamy/Facebook
"පක්ෂයේ නායකත්වය වෙනස් කරලා ප්‍රතිසංවිධානයක් ඇති කළ යුතුයි. රටේ බහුතර ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසට වඩා අවශ්‍ය වෙලා තියෙන්නේ වෙනත් දේවල්. ඒ නිසා ප්‍රතිපත්ති මත පිහිටලා දේශපාලනය කරන්න බැහැ. ඒ නිසා අපේ පක්ෂයේ දේශපාලනික වශයෙන් වෙනස් වෙන්න ඕන."
ඔහු පැවසුවේ, පක්ෂය තුළ පවතින "අර්බුදකාරී" වාතාවරණය තුළ නායකත්වය කෙසේ හෝ ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස කැමැත්තක් නොදක්වන බවය.
"සජිත් ප්‍රේමදාස කැමති නෑ ඩීල් දාල වැඩ කරන්න. අරගල කරල නායකත්වයට එන්නත් එතුමා කැමති නෑ. පක්ෂය එක මතයකට ආවොත් අවශ්‍ය නායකත්වය දෙන්න එතුමා සූදානම්."
හෙක්ටර් අප්පුහාමි ද පැවසුවේ, රනිල් වික්‍රමසිංහ ඉදිරියටත් පක්ෂයේ නායකත්වය අත්නොහරින්නේ නම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇති බවය.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු, අජිත්.පී පෙරේරා, පාඨලී චම්පික රණවක, අශෝක් අබේසිංහ යන අමාත්‍යවරු සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්හ.

තවදුරටත් කියවන්න.








