ලෝන්ලි ප්ලැනට් අංක 1 තවමත් ශ්‍රී ලංකාවට: පාස්කු ප්‍රහාරයෙන් පසුබෑමට ලක්වූ සංචාරක පැමිණීම යළිත් ඉහළට

ඡායාරූප මූලාශ්‍රය, Tourism Sri Lanka/Facebook
අප්‍රේල් 21 පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව යම් පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි යථාතත්ත්වයට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් බීබීසී සිංහල සේවයට පැවසුවේ, ජූනි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් 63072 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, tourismsrilanka.gov.lk
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට සංචාරක පැමිණීමේ දත්ත පහත දැක්වේ.
ඉහත දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව දැඩි පසු බෑමකට ලක්වූ සංචාරක කර්මාන්තය මේ වන විට යථාතත්ත්වයට පත්වෙමින් පවතින ආකාරයයි.
ජූනි මාසයේදී දිනකදී පැමිණ ඇති සංචාරයකයින් සංඛ්‍යාව 2000 ඉක්මවයි.
එය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ඇතිවූ තත්ත්වයට සාපේක්ෂව 66%ක දෛනික වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් පැවසීය.
මෙම වර්ධනය සිදුව ඇත්තේ, ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් රටවල් රැසක තවමත් අනතුරු ඇඟවීම් පැවතියදීය.
ලෝන්ලි ප්ලැනට් අංක 01
ලෝකයේ සංචාරය කළ යුතු හොඳ ම ගමනාන්තය ශ්‍රී ලංකාව බවට ලෝක ප්‍රකට 'ලෝන්ලි ප්ලැනට්' සංචාරක සඟරාව පසුගිය සතියේදී යළිත් ප්‍රකාශයට පත් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Lonely Planet
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද බදාදා (ජූලි 03) විශේෂ ප්‍රකාශයක් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk
"ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳ ම ගමනාන්තය බව ප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන ලෝන්ලි ප්ලැනට් සඟරාව මේ වසර ආරම්භයේදී ප්‍රකාශයට පත් කර තිබුණා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සිටි සංචාරකයන් රටින් පිටව ගියා. ඒ අවස්ථාවේ ලෝන්ලි ප්ලැනට් සඟරාව සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථානය අපේ රටට අහිමි වී යනු ඇතැයි සියලුම දෙනා කල්පනා කළා."
"නමුත් පසුගිය සතියේ ලෝන්ලි ප්ලැනට් සඟරාව නැවතත් ප්‍රකාශයට පත් කර තිබුණේ ගැටලු තිබුණත් තවමත් ලෝකයේ සංචාරය කළ යුතු ම ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි. එය අපට ආඩම්බරයට කරුණක්."
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද ධනාත්මක අදහස් පළ වී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, facebook
හෝටල් කර්මාන්තය
පාස්කු ප්‍රහාරවලින් පසු සංචාරක කර්මාන්තයේ ඇති වූ පසුබෑම සෘජුව බලපෑ ක්ෂේත්‍රයක් වූයේ, හෝටල් කර්මාන්තයයි.
මෙම තත්ත්වය මහා පරිමාණ , මධ්‍යම හා සුළු පරිමාණ හෝටල්වලට බලපෑ අතර ඒවායෙහි සේවය කරන 190,000 ක් පමණ වන ශ්‍රී ලංකාවේ හෝටල් සේවකයන්ට ද අහිතකර ලෙස බලපෑවේය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී අමල් ගුණතිලක බීබීසී සිංහල සේවයට පැවසුවේ, මේ වන සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් දක්නට ලැබෙන බවය.
"පාස්කු ප්‍රහාරවලින් පස්සේ ඇති වුණ තත්ත්වයත් එක්ක හෝටල් කර්මාන්තයේ යම් ගැටලු ඇති වුණා සංචාරකයින්ගේ පැමිණීම අඩු වුණ නිසා. ඒත් මේ වෙනකොට ඒ තත්ත්වය ක්‍රමයෙන් යථාතත්ත්වයට පවතින බව කියන්න පුළුවන්," ඇය පැවසීය.
රජයේ නව ව්‍යාපෘති
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ද ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව, නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, HOANG DINH NAM/AFP/GETTY IMAGES
නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ ආයෝජනයක් යටතේ නානුඔය දුම්රිය ස්ථානය, නුවරඑළිය තුරග තරග පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුන යා කරමින් කුඵණු 21ක් මත මෙම ව්‍යාපෘතිය ගොඩනැගීමට යෝජිතය.
මෙය මගීන් 10කට ගමන් කළ හැකි කුටි 86කින් සමන්විත වන අතර එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.
තවදුරටත් කියවන්න.








