හොංකොං උද්ඝෝෂණ: චූදිතයන් චීනයට භාරදෙන නීතිය ප්‍රතිවාදීන් දඩයමක් වේද?

අපරාධ චෝදනා එල්ල වෙන හොංකොං වැසියන් චීනයට ගෙන යාමට අවසර ලැබෙන යෝජිත නව නීතියට (extradition bill) එරෙහිව එම දිවයිනේ පැවැත්වුන මහා පෙළපාලියට දසදහස් සංඛ්‍යාත ජනකයක් සහභාගී වෙමින් සිටියහ.

චූදිතයන් චීනයට ගෙන යාමට අවසර ලැබෙන නව පනත් කෙටුම්පතෙහි ඉලක්කය හොංකොං දූපතේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීම යයි එම යෝජිත නීතිය දෝෂ දර්ශනයට ලක් කරන විවේචකයෝ පවසති.

ව්‍යාපාරික ප්‍රජාව සහ නීතිවේදීන්ගේ පටන් ශිෂ්‍යයන්ද, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල පටන් ආගමික සංවිධාන ද ඇතුළු විවිධ සමාජ ස්ථරවලට අයත් බහුවිධ ජනකායක් සුදු ඇඳුමෙන් සැරසී වීදි බැස සටන් පාඨ හඬ නගමින් පෙළපාලියෙන් ගමන් ගනිමින් සිටි බව හොංකොං දූපතෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

"මේ නීතිය හොංකොං දූපතේ අන්තිම සූදුවයි. මේක ජීවිතය සහ මරණය අතර කාරණයක්. එක සලකලයි මම අද පෙළපාලියට එකතු වුණේ" පනස් නව හැවිරිදි මහාචාර්ය රොකී චෑන්(Rocky Chang) රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

"මේක සාතන් ගේ නීතියක්" මහාචාර්ය රොකී චෑන් කියා සිටියි.

හොංකොං දූපතේ චීන පාලනයට එරෙහි සියලු කණ්ඩායම්හි එකතුවෙන් 2014 වසරේ දියත් කෙරුණ මහා විරෝධතා ව්‍යාපාරයට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වු අතර, ඊටත් වැඩි මහජන සහභාගිත්වයක් සැකකරුවන් භාර දීමේ නව නීතියට එරෙහිව ඉරිදා (ජුනි 09) ආරම්භ වූ විරෝධතා පෙළපාලි සඳහා වීදි බසිනු ඇතැයි සංවිධයකයෝ බලාපොරොත්තු පළ කර තිබුණි.

යෝජිත නව නීතිය මගින් නීතියේ සිදුරු වසා දැමෙන අතර එහි අරමුණ මහජන ආරක්ෂාව සැලසීම යයි ආණ්ඩුව පවසයි.

ලබන ජූලි මාසයට පෙර සම්මත කර ගැනීමට නියමිත යෝජිත නීතියේ සංශෝධන ඇති කරන මෙන් හොංකොං දූපත් පාලක කැරී ලෑම්(Carrie Lam) බලපෑම් කර ඇති බවක් ද වාර්තා වෙයි.

ආගමික සහ දේශපාලන කරුණු මත එදිරිවාදීකම්වලට ගොදුරු වෙන ඕනෑම පුද්ගලයකු චීනයට ගෙනයාම වැළැක්වෙන ආරක්ෂක විධිවිධාන නව පනත් කෙටුම්පතට අන්තර්ගත වෙන බව ඊට සහයෝගය දක්වන කණ්ඩායම් පෙන්වා දෙති.

එහෙත් තම දිවයින 'චීනයේ ක්‍රියාත්මක අතිශයින් අවිධිමත් නෛතික රටාවට යටත් වනු ඇත' යන්න එම පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයේ වෙසෙන ඉහත කී නව නීතියට එරෙහි කණ්ඩායම්වල අදහස වෙයි.

එසේම නව පනතත් සමග හොංකොං දූපතේ දැනට පිරිහෙමින් පවතින ස්වාධීන අධිකරණ රටාව තවත් නරක අතට හැරෙනු ඇතැයි ඔවුහු බිය පළ කරති.

නව නීතිය කුමක්ද?

අවශ්‍ය සැකකරුවන් භාර දීමට අදාළ යෝජිත නව නෛතික වෙනස්කම් අනුව, දූෂණය සහ මිනී මැරීම වැනි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන සැකකරුවන් හොංකොං පාලනයෙන් ඉල්ලා සිටීමට චීනය, තායිවානය සහ මැකාවු(Macau) දූපතේ බලධාරීන්ට බලය පැවරෙයි.

එවැනි ඉල්ලීම් ඉදිරිපත් වුනොත් ඒවා වෙන් වෙන් වශයෙන් සලකා බලනු ඇත.

එවැනි ඉල්ලීමක් කෙරුනොත් අදාළ සැකකරු ඉහත කී බලධාරීන්ට භාරදීම හෝ නොදීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව තම දූපතේ අධිකරණයක් විසින් ගනු ලබන බවත්, දේශපාලන හෝ ආගමික කරුණු මත චෝදනා එල්ල වෙන සැකකරුවන් කිසිදු ආකාරයකින් එලෙස භාර නොදෙන බවත් හොංකොං නිලධාරීහු පවසති.

එපමණක් නොව, වැරදි සිදු කොට පළා ගොස් සිටින පුද්ගලයන් භාරදීම සිදු කෙරෙන්නේ 'ඔවුන්ට දිය හැකි උපරිම දඬුවම හත් අවුරුදු සිර දඬුවමක්ය' යන පොරොන්දුව යටතේ බව පවසන ආණ්ඩුව එවැනි ඇතැම් සහන ගැන සඳහන් කරමින් මහජනයා සෑහීමකට පත් කිරීමට තැත් කරන බවක් ද පෙනී යයි.

එහෙත් මෙම නව නීතියට එරෙහිව දැවැන්ත මහජන මතයක් ප්‍රකාශයට පත් වෙමින් පවතී.

හිතුවක්කාරී ලෙස මහජනතාව අත්අඩංගුවේ තබා ගැනීමට, සාධාරණ නොවන නඩු විභාග සහ චීන අධිකරණ රටාව යටතේ වධහිංසාවලට ගොදුරු කර ගැනීමට එම නීතියෙන් දොරටු විවර වනු ඇතැයි විවේචකයෝ බිය පළ කර ඇත.

ඇයි මෙවැනි නීතියක් ?

ඉහත කී නව නීතිය පෙරට පැමිණියේ හොංකොං දූපත්වාසී දහනව හැවිරිදි තරුණයෙක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සිය විසි හැවිරිදි ගර්භණී පෙම්වතිය සමග තායිවානයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇය මරා දමනු ලැබ ඇති බවට චෝදනා එල්ලවීමත් සමගය.

එම අපරාධය සිදු කළ බවට චෝදනා ලබන සැකකරු පසුව හොංකොං දූපතට පළාවිත් ඇත.

සැකකරු තමන්ට භාර දෙනමෙන් තායිවාන් බලධාරීන් ඉල්ලා සිටින නමුත්, එවැනි භාරදීමක් සඳහා තායිවානය සහ තමන් අතර ගිවිසුමක් නොමැති බව හොංකොං බලධාරීහු පවසති.

එහෙත් තායිවාන් ආණ්ඩුව කියා සිටින්නේ, මිනීමැරීමක් සම්බන්ධයෙන් සැක කෙරෙන තැනැත්තා යෝජිත නෛතික වෙනස්කම් යටතේ තමන් ඉල්ලා නොසිටින අතර, එම ඉල්ලීම වෙනත් කාරණයක් හැටියට මෙහෙයවන ලෙසය.

එක රටයි -ක්‍රම දෙකයි

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොංකොං දූපත 1997 වසරේ මහජන චීන පාලනයට භාර දුන් අතර, ඉන් පසු "එක රටක් -ක්‍රම දෙකක්" (one country, two systems) යන මූලධර්මය යටතේ එය පාලනය කෙරෙයි.

දූපත තුළ ඊට අවේණික නීති සංග්‍රහයක් පවතින අතර, අනිත් අතින් චීනයේ ප්‍රධාන භූමියේ පවතින තත්වයට වඩා වැඩි නිදහසක් හොංකොං වැසියෝ භුක්ති විඳිති.

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් විස්සක් සමග හොංකොං දූපත් බලධාරීන් සැකකරුවන් භාරදීමේ ගිවිසුම් අත්සන් කර ඇති නමුත් චීනයේ ප්‍රධාන පාලනයත් සමග එවැනි ගිවිසුමකින් බැඳී නැත.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පසුගිය දශක දෙක පුරාම සාකච්ඡා පැවැත්වුනත්, චීන ප්‍රධාන භූමියේ බල පැවැත්වෙන නීතිය යටතේ චූදිතයන් සඳහා ඇති දුර්වල නෛතික රැකවරණය එම සාකච්ඡාවන්හි අසාර්ථකභාවයට හේතු වී ඇත යන්න විවේචකයන්ගේ දැක්ම වෙයි.

කියවන්න;