ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"වචන පාවිච්චිය ප්‍රවේශමෙන්" චීනය ට්‍රම්ප්ට කියයි
අර්බුදය තවත් නරක අතට පත්කළ හැකි "වදන් සහ ක්‍රියාවන්ගෙන්" වැළකී සිටින ලෙස චීන ජනාධිපතිවරයා උතුරු කොරියාවෙන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි ඉල්ලීමක් කළ බව චීන මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියාව අතර එදිරිවාදී වාග් ප්‍රහාරයන් හුවමාරුවෙමින් පවතින අතර ඇමරිකානු හමුදා කඳවුරු පවතින ගුවාම් දූපත දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරණ බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීය.
ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේ මින් පෙර නොදුටු විරු "විනාශකාරී කොපාග්නියකට" උතුරු කොරියාව මුහුණ දෙනු ඇති බව පවසමිනි.
නමුත් උතුරු කොරියාවේ එකම බලවත් මිත්‍ර රාජ්‍යය වන චීනය, දෙපාර්ශවයෙන්ම සංවරය සහ හික්මීම ඉල්ලා සිටී.
පවතින උණුසුම් තත්වය තවදුරටත් උග්‍ර වන අයුරින් "අදාළ සියලු පාර්ශව" සිදු කරන "වචන හුවමාරුව" වහා නතර කළ යුතු බව චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති ට්‍රම්ප් දුරකතනයෙන් අමතා පවසනු ලැබූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයක සඳහන් වුයේ උතුරු කොරියාවේ "කුපිත කරවන සුළු හැසිරීම" නතර විය යුතුය යන තීරණයට එක්සත් ජනපදය සහ චීනය එකඟ වූ බවය.
ට්‍රම්ප් පරිපාලනය "කතාව සහ ක්‍රියාව මීට වඩා හොඳින් පවත්වා ගත යුතු" බවත් එසේ නොකළහොත් "ඇමරිකානු අධිරාජ්‍යය ඛේදජනක ඉරණමකට" මුහුණ දෙනු ඇති බවත් උතුරු කොරියාවේ KCNA නිල පුවත් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දෙරට අතර විරසකය උත්සන්න වන්නට පටන් ගත්තේ පසුගිය ජූලි මාසයේ විසින් සිදුකරනු ලැබූ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් දෙකකින් අනතුරුවය.
ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නව සම්බාධක මාලාවක් පැනවූ අතර එය උතුරු කොරියාවේ කෝපයට හේතු විය.
එම ආර්ථික සම්බාධක අනුමත කිරීම උතුරු කොරියාව විසින් පෙන්වාදෙනු ලැබුවේ "අපගේ ස්වෛරීබව ප්‍රචණ්ඩකාරීව උල්ලංඝනය කිරීමක්" ලෙසිනි. ඉන් නොනැවතුණු එරට, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව "වන්දි ගෙවිය යුතුයි" යැයි ද පැවසීය.
"මෑත ඉතිහාසයේ, ඕනෑම රටකට පනවන ලද බරපතළ ම තහංචි මාලාව" මෙය බව එක්සත් ජාතීන් වෙනුවෙන් සිටින ඇමරිකානු නියෝජිතවරිය වන නිකී හේලි පැවසුවාය.
මෙම අලුත් තහංචි පැනවීමෙන් මද වෙලාවකට පසුව චීනය කියා සිටියේ උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීම් නතර කළයුතු බවය. චීනය සැලකෙන්නේ උතුරු කොරියාවේ ජාත්‍යන්තර මිත්‍රයා ලෙසිනි.
නමුත් නව සම්බාධක පැනවීමට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව කියා සිටියේ තම න්‍යෂ්ටික අවි වැඩසටහන දිගටම කරගෙන යන බවය.