ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය: නැගෙනහිර පළාතේ ඒකාබද්ධ මෙහෙයුමක්

ආරක්ෂක තත්වය

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් සොයමින් ආරක්ෂක අංශ තවදුරටත් සෝදිසි මෙහෙයුම් වල නිරතව සිටිති.

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල්වලට එල්ල වූ ප්‍රහාරයෙන් 250 කට වැඩි පිරිසක් මරුමුවට පත් වූ අතර, තවත් සිය ගණනක් තුවාල ලැබූහ.

දිවයිනම ආවරණය වන පරිදි සේනාංක හතක් සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටින අතර බස්නාහිර පළාතේ සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද, නාවික, ගුවන් හමුදා සහ පොලිස් වසම් අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතට පත්කර තිබේ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරන අතර, මෙම ඒකාබද්ධ මුලස්ථානයේ නිලධාරීන් ගෙවුණු පැය 24 තුළ කොළඹ, මාතර, දික්වැල්ල, බණ්ඩාරවෙල ඇතුළු පළාත් කිහිපයක සෝදිසි මෙහෙයුම්වල නිරත වූ බව හමුදා මූලස්ථානය බදාදා (මැයි 01) නිවේදනය කළේය.

මිට අමතරව කල්මුනේ, නින්දවූර්, සයින්දමරුදු, සමන්තුරේ, කාත්තන්කුඩි, පොතුවිල් මෙන්ම මඩකලපුව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් වලින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පැවසීය.

ඔවුන් සන්තකයේ තිබී ISIS සංවිධානයේ ප්‍රකාශ ඇතුළත් පොත් පත්, කඩු මෙන්ම පිහි කිහිපයක් ද සොයාගෙන තිබේ.

සෝදිසි මෙහෙයුම්

ඡායාරූප මූලාශ්‍රය, ARMY MEDIA

සෝදිසි මෙහෙයුම්

ඡායාරූප මූලාශ්‍රය, ARMY MEDIA

සෝදිසි මෙහෙයුම්

ඡායාරූප මූලාශ්‍රය, ARMY MEDIA

සෝදිසි මෙහෙයුම්

ඡායාරූප මූලාශ්‍රය, ARMY MEDIA

මේ අතර ඉකුත් දින කිහිපයේ නැගෙනහිර පළාතේ අඩාලව පැවති ජන ජීවිතය දැන් සාමකාමී තත්වයට පැමිණෙමින් පවතින බව යුද හමුදාව පවසයි.

මඩකලපුව තන්මුනෙයි හි ශාන්ත ජෝසප් දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මෙහෙය යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ සිදුකෙරුණු අතර ඊට බැතිමතුන් 800 කට ආසන්න පිරිසක් එක්ව සිටි බව යුද හමුදා මාධ්‍ය ඒකකය තහවුරු කළේය.

වාර්ෂික දේව මෙහෙය

ඡායාරූප මූලාශ්‍රය, ARMY MEDIA

ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුව ශාන්ත ජෝසප් දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය
මඩකලපුව ශාන්ත ජෝසප් දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය

ඡායාරූප මූලාශ්‍රය, ARMY MEDIA

ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුව ශාන්ත ජෝසප් දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය
මඩකලපුව ශාන්ත ජෝසප් දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය

ඡායාරූප මූලාශ්‍රය, ARMY MEDIA

ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුව ශාන්ත ජෝසප් දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය

මේ අතර ආරක්ෂක බලධාරීහු නැගෙනහිර පළාතේ ආගමික සහ සිවිල් සංවිධාන නියෝජිතයින් මුණගැසී ප්‍රදේශයේ ආරක්ෂක තත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

ආරක්ෂක තත්වය

ඡායාරූප මූලාශ්‍රය, ARMY MEDIA

අම්පාර ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තර කිරිමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඒකාබද්ධ සේනාංක ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ආරක්ෂක තත්වය

ඡායාරූප මූලාශ්‍රය, Army media

විශ්වවිද්‍යාලය

ඡායාරූප මූලාශ්‍රය, Army media

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔලුවිල්

ඇමරිකානු නිවේදනය

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමේ තවත් සාමාජිකයන් සැඟ වී සිටිය හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපදය විශ්වාස කරන බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිවරිය අඟහරුවාදා (අප්‍රේල් 30) සඳහන් කළාය.

ඔවුන් ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටිනවා විය හැකි බව ද තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් Alaina Teplitz රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් ද ඒ හා සමාන අදහස් පළ කර තිබේ. ඇය තම ප්‍රකාශයට එම තොරතුරු ද පාදක කරගෙන තිබේ.

අත්අඩංගුවේ පසුවන්නන්

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේත් සිටින සමස්ථ සැකකරුවන් සංඛ්‍යාව 69 ක් බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඡායාරූප මූලාශ්‍රය, ARMY MEDIA

ඒ අතරින් පුද්ගලයින් අතුරින් 44 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තවදුරටත් රඳවා තබා ප්‍රශ්න කෙරෙන අතර කාන්තාවන් හත්දෙනෙකු ද ඒ අතර සිටින බව පොලිසිය පැවසීය.

මීට අමතරව තවත් සැකකරුවන් 15 දෙනෙක් ත්‍රස්ත විමර්ශන අංශ අත්අඩංගුවේ පසුවේ. එම පහළොස් දෙනා අතර එක් කාන්තාවක් ද සිටින බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටී.

ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ දෙහිවල පිපිරීමට අදාළ සැකකරුවන් හත් දෙනෙකුද ඒ අතර වන බවය.

මිය ගිය විදේශීය ජාතිකයින් ගැන

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විදේශිකයින් 42 ක් මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශ වාර්තා උපුටා දක්වමින් PTI ඉන්දීය පුවත් ඒජන්සිය පවසයි. මියගිය පුද්ගලයින් අතර ඉන්දීය ජාතිකයින් 11 දෙනෙක් මෙන්ම චීන ජාතිකයින් ද ඇතුළුව තවත් විදේශිකයින් සිටින බව එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් තහවුරු කර තිබේ.

ඉන්දියානුවන් 11 දෙනාට අමතරව බංග්ලාදේශ ජාතිකයෙක්, චීන ජාතිකයින් සිව් දෙනෙක් , ඩෙන්මාර්ක් ජාතිකයින් තිදෙනෙක්, ජපාන, ඇමරිකානු, නෙදර්ලන්ත, පෘතුගාල සහ ස්විට්සර්ලන්ත ජාතිකයින් ඇතුළුව 5 දෙනෙක්, සවුදි, ස්පාඤ්ඤ, තුර්කි ජාතිකයින් දෙදෙනා බැගින් 6 දෙනෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයින් 6 දෙනෙක්, එංගලන්ත සහ ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය සහිත දෙදෙනෙක්, ස්විට්සර්ලන්ත සහ ඕලන්ද ද්විත්ව පුරවැසි භාවය සහිත පුද්ගලයෙක් මෙන්ම ඕලන්ද සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි භාවය සහිත පුද්ගලයෙක් මියගිය විදේශික පිරිසට අයත් වේ.

එමෙන්ම ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන නාඳුනන මළ සිරුරු අතුරින් 12 ක් විදේශිකයින් ගේ බව ද ඉන්දියානු පුවත් ඒජන්සිය වාර්තා කර තිබිණ.

ජනපති ආරක්ෂක ප්‍රධානින් හමුවෙයි

මේ අතර ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ වාර්තාව ලැබීමත් සමඟ එම තොරතුරු සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නව ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරුණු ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ බදාදා පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආරක්ෂක අමාත්‍යාංශයේ

ඡායාරූප මූලාශ්‍රය, President media

මෙම ත්‍රිපුද්ගල කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළලගොඩ, හිටපු අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් යන සාමාජිකයෝ අයත් වෙති.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින බව වාර්තාවන පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු පිරිසකගෙන් පරීක්ෂණ මණ්ඩලය මේ වන විටත් කරුණු විමසා තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

ඉහළ ම අධිකරණ බලයක් ඇති ව මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, එහි වාර්තාව භාරදීමට නියමිතව ඇත්තේ සති දෙකක කාලයකින් බවත්, එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත් ප්‍රකාශ කළේය.

අගමැතිගේ ප්‍රකාශය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Information department

මේ අතර බදාදා විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අයි එස් අයි එස් නායක අබු බකර් අල් බග්දාදි වීඩියෝවක පෙනී සිටිමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විදේශ බුද්ධිඅංශ තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බව පැවසීය.

එය "මුළු ලෝකයටම අනතුරුදායක ප්‍රකාශයක්" බවත් එම නිසා අපි "රටේ ආරක්‍ෂක විධිවිධාන තර කළ යුතු" බවත් අග්‍රාමාත්‍යරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කාළේය.

පාස්කු ඉරිදා මේ ප්‍රහාරය සිදුවූ සැණින් රජය ඒ සඳහා කඩිනම් පියවර ගත් බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

"අයි එස් අයි එස් නායක අබු බකර් අල් බග්දාදි වසර 4කට පසුව වීඩියෝවක පෙනී සිටිමින් ප්‍රකාශයක් නිකුත් කළා. මේ ප්‍රකාශය පිළිබඳව විදේශ බුද්ධිඅංශ තවදුරටත් පරීක්‍ෂණ පවත්වනවා. එහිදී ඔහු සඳහන් කළේ ඔවුන් සතුව තිබූ අවසන් බලප්‍රදේශය වූ සිරියාවේ බග්ගුස් නගරය කුර්දි ප්‍රමුඛ මිත්‍ර හමුදා අල්ලා ගැනීමට පළිගැනීමක් ලෙස මේ ප්‍රහාරය එල්ල කළ බවයි. ශ්‍රී ලංකාවේ කිතුනුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද අල් බග්දාදි කිව්වා. ඔහු ප්‍රකාශ කළ තවත් කරුණක් වූයේ ලැබෙන ඕනෑම අවස්ථාවක ලෝකයේ ඕනෑම රටකට ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බවයි. මෙය මුළු ලෝකයටම අනතුරුදායක ප්‍රකාශයක්. ඒ නිසා අපි අපේ රටේ ආරක්‍ෂක විධිවිධාන තර කළ යුතුයි. පාස්කු ඉරිදා මේ ප්‍රහාරය සිදුවූ සැණින් අප මේ සම්බන්ධ කඩිනම් පියවර ගත්තා. සිදු වූ අඩුපාඩු ගැන වාද විවාද කරමින් හිඳීම වෙනුවට මම අනුගමනය කළේ තත්වය සමනය කොට රටේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම සඳහා පියවර ගැනීමටයි. තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම සුදුසු නැහැ," අග්‍රාමාත්‍ය වරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගන්නා බවය.

"අපේ බුද්ධි අංශවල දස දහසකට වැඩි දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. ආරක්‍ෂක හමුදාවල ලක්‍ෂයකට අධික පිරිසක්. මේ සියල්ල සිය කටයුතු නිසි පරිදි සිදු කරනවා. ඒ නිසා අපි ළඟදීම මෙයට සම්බන්ධ ඉතිරි කීප දෙනාත් අල්ලා ගන්නවා. නමුත් ඒ සියල්ල අල්ලා ගත්තත් අනතුර පහව යන්නේ නෑ. අල් බග්දාදිගේ ප්‍රකාශය අනුව ඔවුන් කුමනාකාර පසුබෑමකට ලක්වුණත් ඉදිරියටත් ලෝකයේ තැන තැන මෙවැනි ප්‍රහාර සැලසුම් කරන බව පෙනී යනවා. මෙහිදී කළ යුත්තේ මුළු ලොවම එකක් හැටියට මේ ජිහාඩ් ත්‍රස්තවාදයට මුහුණ දීමයි. ඒ නිසා ත්‍රස්තවාදයට විරුද්ධ සියළු රටවල් සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කරන්නට අප බලපොරොත්තු වෙනවා. බුද්ධි තොරතුරු හා විශේෂඥ දැනුම බෙදා හදා ගන්න අප බලාපොරොත්තු වෙනවා.

මෙහිදී ඉකුත් දින කිහිපයේ පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

"පසුගියදා කැබිනට් රැස්වීමේදී මම නිකාබ් ඇඳුම් තහනමට විරුද්ධ වුණා කියා සමහර ජනමාධ්‍ය විශාල ඝෝෂාවක් කළේත් ඒ සැලැස්මට අනුවයි. ඇත්ත වශයෙන්ම මුස්ලිම් ආගමික නායකයන් කළ මේ යෝජනාවට මුළු කැබිනට් මණ්ඩලයම එකඟවුණා. නමුත් ජනමාධ්‍ය කළ මේ බොරු ප්‍රචාරයට අපේ සමහර ගිහියන් පමණක් නොව ආගමික නායකයිනුත් රැවටුණා. එයින්ම පැහැදිලි වෙනවා මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීමෙන් තොරව කටයුතු කිරීමේ පල විපාක. වෙසක් දිනයේ වටිනාකම නොදන්නා, වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට සැරසෙන මෙවැනි ජනමාධ්‍ය අදහන්නේ කුමන ධර්මයක් දැයි මට හිතාගන්නට අමාරුයි."

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තම වගකීම් සිහියේ දරාගනිමින් සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩකටයුතු ආරම්භ කළ යුතු අතර ආරක්‍ෂක අංශ මහජනයාගේ යහපත වෙනුවෙන් කැපවී සිටින බවය.

කියවන්න: