ශ්‍රී ලංකාවේ ප්‍රහාර: බුර්කාව තහනම් කරන්න අගමැති රනිල් විරුද්ධ වුනා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් 250 කට වැඩි පිරිසක් ඝාත්නයස් කරමින් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අනතුරුව, මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා ඇඳුම තහනම් කළ යුතු ද යන්න ගැන යළිත් වරක් අවධානයට ලක් වී තිබේ.
එවැනි තවත් ප්‍රහාර එල්ලවනු ඇතිදැයි රට පුරා බොහෝ ජනතාව දැඩි දියෙන් පසුවන අතර, මතු වූ ආරක්ෂක වාතාවරණය හේතුවෙන් බුර්කා ඇඳුමට එරෙහිව ජනතාවගෙන් විරෝධයක් පළවන අකාරය සමාජ ජාල ඔස්සේ වාර්තා කෙරිණ.
බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යෝජනාවක් ඉදිරිපත් කළ අතර, මුස්ලිම් කාන්තාවගේ ඇඳුම සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ද පසුගිය සතියේ සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළේය.

"පවතින තත්වය සැලකිල්ලට ගෙන අපගේ සහෝදරියන් විසින් මුහුණු ආවරණය (නිකාබ්) පැළඳීමෙන් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑමට සිටින ආරක්ෂක අංශයන්ට බාධාවක්වන අයුරින් කටයුතු නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු," යනුවෙන් එම සංවිධානය පසුගිය බදාදා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ ගැන පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී ද අවධානයට ලක්විය.
මේ අතර, බුර්කා ඇඳුම භාවිත කිරීම තහනම් කළ යුතු බවට අමාත්‍යවරුන් පිරිසක් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විරුද්ධත්වය පළ කළ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන අගමැති කාර්යාලය පවසන්නේ, එය "සම්පූර්ණයෙන් අසත්‍ය" වාර්තාවක් බවය.
"අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ බුර්කාව භාවිතය නැවැත්වීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව විසින් යෝජනාවක් සම්මත කරනු ලැබ ඇති බැවින් අධිකරණ අමාත්‍යවරිය එම සභාව සමග ද සාකච්ඡා කොට නීති කෙටුම්පත සැකසීම සිදු කරන ලෙසය," යනුවෙන් ද අගමැති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
කෙසේ වුවත් මුස්ලිම් කාන්තාවන්ගේ සියලුම හිස් ආවරණ අදාළ තහනමට ඇතුළත් වන්නේ ද, නොඑසේනම් එසේ තහනම සඳහා සලකා බලනු ලබන්නේ බුර්කා ඇඳුම පමණක් ද යන්න පැහැදිලි නැත.
බුර්කාව තහනම් කළ යුතු බවට අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ කැබිනට් මණ්ඩලයට යෝජනා කළ අවස්ථාවේ, මිස්ලිම් ප්‍රජාව හරහා එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය යයි තමන් පෙන්වාදුන් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට පවසා තිබුණි.
විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ අතිබහුතර මුස්ලිම් ප්‍රජාවක් කම්පනයට පත්වී සිටින අවස්ථාවක කැබිනට් මණ්ඩලය විසින් එවැනි යෝජනාවක් සම්මත කිරීම අනුවන ක්‍රියාවක්ය යන්න සිය ස්ථාවරය වූ බව ද අමාත්‍ය මංගල සමරවීර පවසා තිබුණි.

මේ අතර පසුගියදා නිවේදනයක් නිකුත් කළ ජාතික මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකාව වැනි බහු ආගමික සහ බහු වාර්ගික රටක් විවිධත්වයට මෙන්ම බහුත්වභාවයට ගරු කළ යුතු බව සඳහන් කර තිබුණි.
කොමිසම එම නිවේදනය කළේ පාසැල තුළ අබායා ඇඳුම තහනම් කිරීමට එරෙහිව 2018 වසරේ ත්‍රිකුණාමලය ශම්මුගරාජා හින්දු කාන්තා විද්‍යාලයේ සහකාර ගුරුවරුන් සිව් දෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවය.
එසේ අබායා ඇඳුම පාසල තුළ තහනම් කිරීමෙන් ත්‍රිකුණාමලය ශම්මුගරාජා හින්දු කාන්තා විද්‍යාලය මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව ද මානව හිමිකම් කොමිසමේ නිගමනය විය.
අබායා යනු මුස්ලිම් ජාතික කාන්තාවන් හිසේ සිට දෙපතුල දක්වා මුළු සිරුරම ආවරණය වන පරිදි අඳින සාම්ප්‍රදායික ඇඳුමකි.
එමගින් බුර්කාව මෙන් පූර්ණ මුහුණු ආවරණය වීමක් නොවන නමුත් හිස ආවරණය කෙරේ.
බුර්කා තහනම් කළ රටවල්
පූර්ණ මුහුණු ආවරණ (full-face veils) තහනම් කළ පළමු යුරෝපීය රට ප්‍රංශය වේ. 2011 අප්‍රේල් මාසයේදී බුර්කා සහ නිකාබ් ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කළේ, කැපී පෙනෙන ආගමික සංකේත රාජ්‍ය පාසල් තුළ තහනම් කිරීමේ නීතිය හඳුන්වා දී වසර හතක් ගතවීමෙන් අනතුරුවය.
ඉන් මාස කීපයකින් අනතුරුව බෙල්ජියම ද එම පියවරට එළැඹිණි. ආරක්ෂක හේතු මත අඩක් හෝ පූර්ණ මුහුණු ආවරණ එරට ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කළේය.
එතැන් සිට පූර්ණ හෝ අර්ධ මුහුණු ආවරණ තහනම ඔස්ට්‍රියා, බල්ගේරියා මෙන්ම දකුණුදිග ජර්මානු ප්‍රාන්තයක් වන බැවේරියා හි පැනවුණු අතර අනතුරුව ඩෙන්මාර්කයේ ද ආරම්භ විය.
ඩෙන්මාර්කයේ නව නීතියට එරෙහිව විරෝධය පැන නැගුනු අතර එම නීතියෙන්, බුර්කා සහ නිකාබ් නාමිකව සඳහන් නොකෙරුණ ද "ප්‍රසිද්ධ ස්ථානවල ඇඳුමකින් මුහුණ ආවරණය කරන කවරකු හෝ වුව ද දඩයකින් දඬුවමකට යටත් කෙරෙනු ඇත" යැයි ඉන් කියැවේ.
තවත් කියවන්න:








