'අයිඑස් නායකයාගෙන්' වීඩියෝවක්: ශ්‍රී ලංකාවේ ප්‍රහාර ගැනත් සඳහනක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
තම නායකයා ලෙස අයි එස් සංවිධානය විසින් හඳුන්වනු ලබන අබු බකර් අල්-බග්දාදි නැමැති පුද්ගලයා පෙනී සිටින වීඩියෝවක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නිකුත් කර තිබේ. ඉන් කියැවෙන්නේ, තමන්ට අහිමි වූ භූමිය වෙනුවෙන් පළිගැනීමට බලා සිටින බවය.
සිරියාවේ සහ ඉරාකයේ කොටස් හරහා නිර්මාණය කෙරෙන "මහමත්තුමාගේ පරම්පරාවෙන් පැවතෙන රජුගේ රාජ්‍යය" ("caliphate") මෝසුල්හි සිට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 2014 වසරේ සිට ඔහු දකින්නට ලැබුණේ නැත.
මෙම වීඩියෝව මගින්, බග්දාදි පිළිගෙන ඇත්තේ, අයිඑස් සංවිධානයේ අවසන් බලකොටුව ලෙස සැලකුණු සිරියාවේ බාඝස් නගරයේදී (Baghuz) තමන් පරාජයට පත්වූ බවය.
එම වීඩියෝව පටිගත කර ඇත්තේ කවදා ද යන්න පැහැදිලි නැත. අයිඑස් කණ්ඩායම පවසා ඇත්තේ, එය අප්‍රේල් මාසයේදී පටිගත කළ බවය.
අදාළ වීඩියෝව අයිඑස් කණ්ඩායමට අයත් අල්-ෆුර්ඛාන් මාධ්‍ය ජාලය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, විශ්ලේෂකයින් යොදවා අදාළ වීඩියෝවේ සත්‍යාසත්‍යතාව විමර්ශනය කරන බවය. ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා "ඉතිරි වී සිටින" අයිඑස් "නායකයින්ට ඔවුන් විසින් ම අත්පත් කර ගනු ලැබූ ප්‍රතිවිපාක අනුව සාධාරණය ඉටු කරන," බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඔහු කියන්නේ කුමක් ද?
වීඩියෝවේ අවසාන භාගයේ බැග්ඩෑඩි ගේ රූපය ඉවත වී ඔහුගේ හඬ පටයක් විකාශය කෙරේ. එහිදී ඔහු පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල වූ ප්‍රහාර ගැන අදහස දක්වන අතර, එමගින් ඉඟි කෙරෙන්නේ එම කොටස ප්‍රධාන වීඩියෝවන් පසුව පටිගත කරන ලද බවකි.
බග්දාදි යනුවෙන් හඳුන්වා ඇති පුද්ගලයා පවසන්නේ, සිරියාවේ බාඝස් නගරයේ බලය අහිමි වීම නිසා ඊට පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවට පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාර එල්ල කළ බවය.
බීබීසී පුවත් සේවයේ මීනා අල්-ලැමී පෙන්වා දෙන්නේ, අයිඑස් කණ්ඩායම පළමුවෙන් ම ශ්‍රී ලංකා ප්‍රහාරයේ වගකීම භාර ගත් අවස්ථාවේ අදාළ සිරියානු නගරය සම්බන්ධයෙන් සඳහනක් නොකළ බවය.
බුර්කිනා ෆාසෝ සහ මාලි රාජ්‍යයන්හි කැරලිකරුවන් ද තමන් සමග සම්බන්ධ වී සිටින බව ඔහු පවසා ඇත. ඊට අමතරව, සුඩානයේ සහ ඇල්ජීරියාවේ විරෝධතා පිළිබඳව ද ඔහු අදහස් පළ කර තිබේ.
වීඩියෝව අවසානයේදී බග්දාදි ලෙස හඳුන්වන පුද්ගලයාගේ රූපය ඉවත් වන අතර ඉන්පසු පටිගත වූ ශ්‍රව්‍ය කොටසේ සඳහන් වන්නේ, බාඝස් පරාජය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රහාර සිදු කළ බවට කරන සාකච්ඡාවකි. ඉන් වැටහෙන්නේ, එම කොටස වීඩියෝව පටිගත කිරීමෙන් අනතුරුව පටිගත වී ඇති බවය.
ඉරාක වැසියෙකු වන බග්දාදිගේ සැබෑ නම ඊබ්‍රාහිම් අව්වාඩ් ඊබ්‍රාහිම් අල්-බද්රි වේ. අවසන් වරට ඔහුගේ හඬ පටයක් නිකුත් වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය.
බීබීසී මැද පෙරදිග වාර්තාකරු මාර්ටින් පේෂන්ස් පවසන්නේ, එම අවස්ථාවේ ඔහුගේ කණ්ඩායම දිගින් දිගට ම ලැබූ පරාජයන් දෙස අවධානය යොමු වීම වැළැක්වීම සඳහා එම ශ්‍රව්‍ය පටය නිකුත් කළ බවය.
එහෙත්, ඔහු නිකුත් කර ඇති මිනිත්තු 18ක් වූ මෙම නවතම වීඩියෝවේ ඔහු සිය පරාජයන් ගැන සඳහන් කර තිබේ.
"බාඝස් වෙනුවෙන් කළ සටන ඉවරයි," ඔහු පවසා තිබේ. "මේ සටනට පස්සේ තවත් බොහෝ දේ සිදු වෙයි."
සිය කණ්ඩායම "පරාජයට එරෙහි සටනක" නිරත වන බව ඔහු පවසා ඇතැයි ද වාර්තා වේ.
මේ තොරතුරුද කියවන්න:
'රජුගේ රාජ්‍යය'ට මොකද වුණේ?
අයිඑස් කණ්ඩායම බලවත්ව සිටි කළ ඉරාක - සිරියා දේශ සීමාවේ වර්ග කිලෝමීටර් 88000කට අධික භූමි ප්‍රමාණයක් පාලනය කළේය.
එහෙත්, 2016 වසරේ සිට ඔවුන්ගේ පසුබැසීම ආරම්භ විය. ඊළඟ වසරේදී ඔවුන්ට ඉරාකයේ මෝසුල් නගරය අහිමි විය. ඔවුන් 'රජුගේ රාජ්‍යය' ප්‍රකාශයට පත් කර තිබුණේ ද එහි සිටය.
ඔක්තෝබර් මාසයේදී ඔවුහු සිරියාවේ රඛා නගරයෙන් පළවා හරිනු ලැබූහ.
ඔවුන් 2018 වසර පුරා ඔවුන්ට දිගින් දිගට ම සිය පාලන භූමිය අහිමි විය. ඒ අනුව ඔවුන්ට සිදු වූයේ, සිරියාවේ බාඝස් නගරය කරා පසුබැසීමටය.

පසුගිය මාර්තු මාසයේදී අයිඑස් කණ්ඩායම වසර 5ක් පවත්වාගෙන ගිය "රජුගේ රාජ්‍යයේ" අවසානය සටහන් කරමින්, කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකාය ප්‍රකාශයට පත් කළේ, බාඝස් නගරයේ බලය සිය පාලනයට නතු කර ගත් බවය.
අබු බකාර් අල්-බැග්ඩෑඩි යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, AFP
අබු බකාර් අල්-බැග්ඩෑඩි 1971 වසරේදී ඉරාකයේ සමරාහිදී උපත ලැබීය.
ළමා කාලයේදී ඔහු කුරාණයේ ඉගැන්වීම් සහ ආගමික නීතිය සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දක්වා තිබිණි. ඔහුගේ දැඩි ආගමික ගති පැවතුම්වලට බාධාවක් වූ සිය පවුලේ සාමාජිකයින්ට පවා ඔහු දඬුවම් දී ඇතැයි වාර්තා වේ.
ඉරාකයේ සදාම් ඉස්ලාම් අධ්‍යයන විශ්වවිද්‍යාලයෙන් කුරාණ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය හදාරන සමයේ ඔහු දැඩි මතධාරී ඉස්ලාම් කණ්ඩායම් සමග සම්බන්ධ වී තිබේ.
2000 වසර අවසන් භාගයේදී ඔහු ජිහාඩ් මතවාද වැළඳගෙන තිබිණි. ඔහු ඉරාක අල්-ඛයිදා සංවිධානය සමග සම්බන්ධ වී ඇත්තේ ඉන් පසුවය. අයිඑස් කණ්ඩායම ආරම්භ වූයේ, එම ඉරාක අල්-ඛයිදා සංවිධානය තුළිනි.
2014 වසරේදී ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් පසු ඔහු දීර්ඝ කාලයක් නිහඬව සිටියේය. ඒ අතරතුර ඔහු සම්බන්ධයෙන් අසන්නට ලැබුණේ, ඔහු මියගිය බවට පළ වූ තහවුරු නොකළ වාර්තා සහ තහවුරු නොකළ ශ්‍රව්‍ය පට කිහිපයක් පමණි.








