යුද අපරාධ චෝදනා: "යෝජනා ඉටු කිරීම රණවිරුවන්ට ද්‍රෝහී වීමක් නොවේ"

සිවිල් යුද ගැටුම් හමුවේ කොටු වී සිටි සිවිල් වැසියන්

ඡායාරූප මූලාශ්‍රය, other

ඡායාරූප ශීර්ෂ වැකිය, සිවිල් යුද ගැටුම් හමුවේ කොටු වී සිටි සිවිල් වැසියන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය යළිත් වරක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබේ.

එහි විශේෂයෙන් දැක්වුණේ, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කරන ලෙස ඉල්ලා සිටින බවය.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වල මානව හිමිකම් ආරක්ෂා වීම සඳහා ජාත්‍යන්තර නීතිමය රාමුවක් අවශ්‍ය බවට යෝජනා කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පමණක් නොවේ.

කියවන්න.

බැන්කි මූන්

2009 මැයි මාසයේ යුද ගැටුම් අවසන් වීමත් සමගම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ බැන්කි මූන්, ශ්‍රී ලංකා ආණ්ඩුව සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය.

මහින්ද රාජපක්ෂ සහ බැන් කි මූන් 2013 සැප්තැම්බර් මස නිව්යෝක් නුවර දී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දෙමළ ජනතාවගේ ගැටළු සඳහා රටේ සියලු ම ජනතාවට පිළිගත හැකි ජාතික විසඳුමක් සොයා ගැනීම පිණිස ක්‍රියාකරන බවට මෙන් ම ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාවට නැගීමේ ක්‍රියාදාමයක් දියත් කරන බවට රාජපක්ෂ පරිපලානය ඒ අවස්ථාවේ ප්‍රතිඥා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය

විශේෂයෙන් ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ සිය කැපවීම ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කළ බව ද ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාකිරීමේ සිය දැඩි කැපවීම "ශ්‍රී ලංකාව යළිත් වරක් අවධාරණය කළ," බව ද ඒකාබද්ධ නිවේදනයේ දැක්විණ.

කියවන්න:

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC)

දශක තුනක් පැවති යුද්ධ ගැටුම් අවසන් කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව උදෙසා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළේය.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නියමයෙන් පත් කරන ලද එම කොමිසමේ නිල වාර්තාව 2011 වසරේදී ප්‍රසිද්ධියට පත් කෙරිණ.

එම වාර්තාව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ නිර්දේශයෙහි සිංහල පරිවර්තනය මෙසේය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම

ඡායාරූප මූලාශ්‍රය, Www.defence.lk

"ජාත්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් බලපවත්වන ජාත්‍යන්තර නීතියේ පොදු මූලධර්ම 4 වන පරිච්ඡේදයෙහි විස්තර වන පරිදි අභ්‍යන්තර ගැටුම්වලින් මතු වන සියලු සංකීර්ණතාවන් සහ අභියෝගයන් සැලකිල්ලට ගන්නාක් මෙන්, රාජ්‍යයන් හා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් සම්බන්ධයෙන් බලපවත්වන නීතිමය රාමුවක් පරිස්සමින් නිර්මාණය කිරීමෙන් රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්මවලට වැඩිපුර අවනත බව සහතික කිරීමෙහිලා විසඳුමක් සම්පාදනය කළ හැකිය."

"මෙය අහිංසක මිනිස් ජීවිත ඛේදනීය ලෙස අහිමි කරමින් තිස් වසරක් පුරා ඇදී ගිය ශ්‍රී ලංකාවේ ගැටුමෙන් උගත හැකි පැහැදිලි පාඩමකි. මෙම අත්දැකීම්වලින් පාඩම් උකහාගෙන ප්‍රබල නීතිමය රාමුවක් සකස් කිරීම වූ කලී ගැටුමේ ගොදුරු බවට පත් වුණු සියලු දෙනා වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඉටු කළ යුතු පැහැදිලි වගකීමකි." (සිංහල පරිවර්තනය උපුටා ගැනීම - විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය)

කියවන්න:

දරුස්මාන් වාර්තාව

දරුස්මාන්

ඡායාරූප මූලාශ්‍රය, un

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට සිටි මහ ලේකම් බැන් කී මූන් විසින් පත් කරන ලද දරුස්මාන් කමිටු වාර්තාවේ නිර්දේශ අතර තිබුණු විශේෂ කරුණක් වූයේ, උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමය.

ඉන්දුනීසියානු ජාතික මර්සුකි දරුස්මාන් විශේෂඥ කමිටුවේ සභාපති පදවිය හෙබැවූ අතර, දකුණු අප්‍රිකාවේ සත්‍යය හා ඒකාග්‍රතාවය පිළිබඳ කොමිසමේ කොමසාරිස්වරියක වූ යස්මින් සූකා සහ ඇමෙරිකානු ජාතික ස්ටීවන් රට්නර් එහි අනෙක් සාමාජිකයෝ වූහ.

දරුස්මාන් වාර්තාව 2011 වසරේදී නිකුත් කෙරිණි.

එම වාර්තාවෙන් ද රජයට මෙන් ම එල්ටීටීඊ සංවිධානයට ද චෝදනා එල්ල විය.

කටුබැද්දේදී බස් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීම

ඡායාරූප මූලාශ්‍රය, AFP/Lakruwan WANNIARACHCHI

ඡායාරූප ශීර්ෂ වැකිය, කටුබැද්දේදී බස් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීම

එහි කොටස් 4ක් යටතේ නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබිණි.

ඒ, විමර්ශන, කඩිනම් පරීක්ෂණ සහ වගවීම, දීර්ඝ කාලීන වගවීම් වැඩපිළිවෙළ, එක්සත් ජාතීන්ගේ නිර්දේශ යන කොටස් 4 යටතේය.

කියවන්න:

එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව 2015 වසරේදී නිකුත් කෙරිණි.

එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය, SUNANDA DESHAPRIYA

එම වාර්තාව පහත දැක්වෙන තේමා යටතේ පරිච්ඡේද එකළොසකින් සමන්විත විය.

  • අනීතික ඝාතනයන්
  • නිදහස සීමා කිරිමට අදාළ කෙළෙසීම්
  • බලහත්කාර අතුරුදන් කිරීම්
  • වධහිංසා පැමිණවීම ඇතුළු වෙනත් ආකාරයන්හි කෲර, අමානුෂික සහ ගෞරවය කෙළෙසන ක්‍රියාවන්
  • ලිංගික සහ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන්
  • වැඩිහිටියන් පැහැර ගැනීම සහ බලහත්කාර බඳවා ගැනීම්
  • ළමුන් බඳවා ගැනීම සහ යුද සටන් සඳහා යෙදවීම
  • සිවිල් ජනයා සහ සිවිල් ස්ථාන වෙත යුද සටන් මගින් ඇති වන බලපෑම්
  • සැරි සැරීමේ නිදහස සීමා කිරීම
  • මානුෂීය සහනාධාර වැළැක්වීම
  • අවිවෘත කඳවුරුහිදී විතැන් වූ ජනයාගේ නිදහස ඇහිරීම සහ සෝදිසි කිරීම

එම වාර්තාවේ ප්‍රධාන නිගමනය වූයේ, රජයේ හමුදා සහ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යන දෙපාර්ශවය ම යුද අපරාධ ලෙස සැලකිය යුතු අපරාධයන්ට වගකිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවය.

Human Rights Watch

ඡායාරූප මූලාශ්‍රය, Human Rights Watch

එකී චෝදනා සහ එම චෝදනාවන්ට අදාළව වාර්තාව සඳහන් කරන අදාළ සිදුවීම් අධිකරණමය පරීක්ෂණයකට ලක් කර වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බව එම වාර්තාවේ ප්‍රධාන නිර්දේශයන්ගෙන් කියැවිණි.

වාර්තාවේ තීරණාත්මකම නිර්දේශයක් ද ඊට අදාළ විය. එනම් එවැනි පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට තනිව කළ නොහැකි බව ය.

එබැවින් එම වාර්තාව සකස් කළ කමිටුව ඒ සඳහා මිශ්‍ර අධිකරණයක් නිර්දේශ කළේය.

කියවන්න:

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම සහ වගවීම සම්බන්ධ 30/1 දරණ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළේ 2005 ඔක්තෝබර් මාසයේ දීය.

අලුත් ම නිර්දේශ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය දා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් නිර්දේශ අතර ද ප්‍රධාන වූයේ, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීමය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හමුවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන මහ කොමසාරිස්වරිය

ඡායාරූප මූලාශ්‍රය, FABRICE COFFRINI/AFP/GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හමුවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන මහ කොමසාරිස්වරිය

මෙම නිර්දේශ සවිස්තරව දැන ගැනීම සඳහා පහත ලිපිය කියවන්න.

30/1 යෝජනාවලිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව රජය එකඟ වී ඇති කරුණු 9ක් තිබේ.

  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
  • සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ඇති ගැටුම් නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
  • අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම
  • වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම
  • එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
  • විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍
  • අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
  • ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම
  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම

ඉටු කළ යෝජනා මොනවා ද?

සම්පූර්ණ කළ යෝජනා: 2කි

  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
  • අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම

අඩක් සම්පූර්ණ කළ යෝජනා: 1කි

  • වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම

දුර්වල මට්ටමින් ක්‍රියාත්මක වන යෝජනා:

  • සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ඇති ගැටුම් නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
  • එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම

ක්‍රියාත්මක නොවූ යෝජනා:

  • විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම
  • අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
  • ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම

මේ සම්බන්ධයෙන් වාර්තාවක් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සකස් කරනු ලැබ තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ජනාධිපතිවරයාගේ ස්ථාවරය

ජනාධිපති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්සත් ජාතීන්ගේ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මීට ඉහතදී 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතට පවසා තිබූ අතර ඉන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමා නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පිටත් කර යවන බවය.

"අපිට කරන යෝජනාවලින් බලපෑම් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්න අපි විසඳගන්නම්. යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 10ක් ගත වෙලා නැවත මේ පරණ දේවල් හාර හාර තුවාල පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව අපි සියලු දෙනා ම සාමය සඳහා කැපවෙන්න කියලා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේවා අමතක කරලා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

විපක්ෂ නායකවරයාගේ පැහැදිලි කිරීම

මහින්ද රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙම යෝජනාවලිය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම, අදාළ යෝජනාවේ අන්තර්ගත කරුණුවලින් ශ්‍රී ලංකාවේ "අභ්‍යන්තර කටයුතුවලට විදේශීය මැදිහත් වීමක් පිළිබිඹු කෙරෙන බැවින්" ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන මෙන් ඉල්ලීමක් කර තිබේ.

"මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට හා දේශපාලන ප්‍රධානීන්ට විදේශීය රටවල සංචාරය කිරීමේදී ගෝලීය අධිකරණ බලය ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල අපහසුතාවන්ට ද මුහුණ දීමට සිදු විය හැක," යනුවෙන් ද ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.

එහෙත් එම නිවේදනයට පරතිචාර දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර තිබුණේ, "ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්" වර්තමානයේ මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වී නැති බවය.

ජාත්‍යන්තර ප්‍රජාව වෙත දුන් ප්‍රතිඥා ඉටු නොකිරීම හේතුවෙන් රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ බරපතල බලපෑම් සවිස්තරව සඳහන් කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර, අතුරුදහන් වූවන් සම්බන්ධ කාර්යාලය සහ බලහත්කාර අතුරුදහන් කිරීමෙන් වැළැක්වීමේ පනත ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද විපක්ෂනායකවරයාගේ නිවේදනයේ දැක්වෙන කරුණු අසත්‍ය බව සිය නිවේදනයෙන් පෙන්වා දී තිබුණි.

රජයේ පැහැදිලි කිරීම

රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මීට ඉහතදී නිවේදනයක් නිකුත් කළ අගමැති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කැපවන අතර ම මේ වසරේ ඉදිරිපත් කෙරෙන යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන බවත් අවධාරණය කර තිබිණි.

"ඒ අනුව, සම අනුග්‍රාහිත කල් ඉල්ලීමේ යෝජනා සම්මතයක් මඟින් තවත් වසර දෙකක් කල් ඉල්ලා සිටීම මෙම පසුබිම යටතේ සලකා බැලීම අවශ්‍ය" බව එම නිවේදනයේ සඳහන් වේ.

එහි වැඩිදුරටත්දැක්වුණේ, "30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි හිමිකාරීත්වය ශක්තිමත් කිරීම ඔස්සේ, ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව නැඟෙන ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වළක්වා ලීමට මෙම උපාය මාර්ගය සමත් වනු ඇති," බවය.

යෝජනාවලිය ක්‍රියාත්මක නොකළොත්?

එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් යහපතක් මිස කිසිදු අයහපතක් සිදු නොවන බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පෙන්වා දුන්නාය.

ආචාර්ය හරිනි අමරසූරිය

ඡායාරූප මූලාශ්‍රය, WWW.CMB.AC.LK

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය හරිනි අමරසූරිය

"මේක ක්‍රියාත්මක නොකළොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. මං හිතන්නේ නැහැ ජාත්‍යන්තර වශයෙන් ලොකු බලපෑමක් එල්ල වෙයි කියලා. ඒත් අභ්‍යන්තර දේශපාලනික වශයෙන් එය විශාල බලපෑමක් වනවා. මේ යෝජනාවලියේ තියෙන්නේ ජනතාවට දුන්න පොරොන්දු. ඒවා ඉටු කළ යුතුයි."

"මේ සම්බන්ධයෙන් ජනාධිපති එක මතයක. අගමැති ඇතුළු රජය වෙනත් මතයක ඉන්නේ. විපක්ෂ නායක තවත් එකක් කියනවා. මේ තුළින් පෙනී යන්නේ රටේ දේශපාලන අර්බුදය උග්‍ර වී තියෙනවා කියන එකයි," ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නාය.

යෝජනාවලට එකඟ වීම රණවිරුවන්ට ද්‍රෝහී වීමක් ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවලිය මානව හිමිකම් උල්ලංඝණය වීම්වලට එරෙහිව මිස රණවිරුවන්ට එරෙහිව සකස් කළ යෝජනාවලියක් නොවන බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

යුද කලාපය තුළ දහස් ගණනක් වැසියෝ අවතැන් වී සිටියහ

ඡායාරූප මූලාශ්‍රය, JOE KLAMAR/AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද කලාපය තුළ දහස් ගණනක් වැසියෝ අවතැන් වී සිටියහ

"මේ යෝජනාවලින් රණවිරුවන්ට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. මානව හිමිකම් උල්ලංඝණය කළ දේපාර්ශවයේ ම පුද්ගලයින්ට පමණයි බලපාන්නේ. ඒ නිසා මේක රණවිරුවන්ට කරන ද්‍රෝහීකමක් නෙවෙයි."

ඇය පෙන්වා දුන්නේ, මෙම යෝජනාවලට ප්‍රතිචාර නොදක්වා ශ්‍රී ලංකාවට "රටක් ලෙස ඉදිරියට යා නොහැකි" බවය.

"හැම පාර්ශවයක ම ජනතාව ඉදිරිපත් කරල තියෙන පැමිණිලි අනුවයි ඒ යෝජනා සකස් කරලා තියෙන්නේ. ඉතින් ජනතාව යම් දුක් ගැනවිල්ලක් ගැන පැමිණිලි කළා ම ඒක අපි ගණන් ගන්නේ නෑ කියලා කියන්න රජයට අයිතියක් නෑ. මේ තුවාල සුව කරන්න ඕන නම් ඒවා හොයලා බලන්න ම වෙනවා. යම් චෝදනාවක් එල්ල වුණා ම ඒ චෝදනාවලින් නිදහස් වෙන්න ඕන නම් ඒක විමර්ශනය කරන්න ම ඕන," ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.