
උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම හෙවත් එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කොට යුද සමයේදී සිදු කරන ලද බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයට දඬුවම් දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.
ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් එම ඉල්ලීම කලේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් හමාරයේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.
එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ සහ මානව හිමිකම් සම්බන්ධ ජාතික ක්‍රියාකාරී සැලසුම කඩිනම් කිරීමේ අවශ්‍යතාවය තමන් ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම් දුන් බවයි, ඔහු පවසන්නේ.
එමෙන්ම උතුරු පළාතේ රඳවා සිටින හමුදා භට පිරිස් මෙන්ම හමුදාවේ ක්‍රියාකාරකම්ද අවප්‍රමාණය කිරීමේ අවශ්‍යතාව තමන් අවධාරණය කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
එල්ටීටීඊ යට එරෙහි යුද්ධය අවසානයේ සිදුකරන ලද බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය සහ විනිවිද පෙනෙන සුළු ආකාරයේ පරීක්ෂණ පවත්වා, වැරදි කළ අයට දඬුවම් දෙනු ඇතැයි යන්න ඇමෙරිකා එක්සත් ජනපදයේ බලාපොරොත්තුව බවයි, රොබට් බ්ලේක් සහකාර රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ.
එමෙන්ම උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින්ම පවත්වා, දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව අතර සාකච්ඡා යලිත් ආරම්භ කොට පළාත්වලට බලය බෙදීම පිළිබඳව එකඟත්වයක් ඇතිකර ගන්නා මෙන් තමන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කරයි.
මානව හිමිකම් සම්බන්ධයෙන් කථා කිරීමේදී මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සංහිඳියාව ඇති කිරීමෙහිලා අත්‍යවශ්‍ය සාධකයක් බව තමන් පෙන්වා දුන් බවද රොබට් බ්ලේක් පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා, විශේෂයෙන්ම රටේ ආයෝජනය කිරීමේදී එයට බාධා කරන නිලධාරිවාදී බාධාවන් ඉවත්කොට, දූෂණය දුරුකොට, ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා විනිවිද පෙනෙන සුළු ආකාරයේ වාතාවරණයක් සකස් වනු දැකීම තම අභිප්‍රාය බවද සඳහන් කළේය












