උතුරු පළාත දෙමළ ජාතිකයන්ගේ පමණක් නොවේ - ගෝඨාභය රාජපක්ෂ

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක ලේකම් වරයා පවසන්නේ යුද්ධයේ අවසාන අදියරේ දී අනතුරට ලක් වූයේ සාමාන්‍ය වැසියන් ඉතා සුළු පිරිසක් බවයි

ශ්‍රී ලංකාවේ උතුරු පළාත බහුතර දෙමළ ප්‍රදේශයක් ලෙසින් සැලකීම සාධාරණ නොවන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බීබීසී යට ප්‍රකාශ කළේය.

එමෙන්ම ආරක්ෂක ලේකම් වරයා පවසන්නේ එල්ටීටී ඊ සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේ දී අනතුරට ලක් වූයේ සාමාන්‍ය වැසියන් ඉතා සුළු පිරිසක් බවයි.

නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු මානව හිමිකම් සංවිධාන පවසන්නේ එහිදී දහස් සංඛ්‍යාත සාමාන්‍ය වැසියන් මරු මුවට පත්වූ බවයි.

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව වෙසෙන සියලුම ජාතීන්ට සමාන අවස්ථා සහිත නව ශ්‍රී ලංකාවක් බිහි වෙමින් තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයා කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්ට ප්‍රකාශ කළේය.

කෙසේ වුවද පසුගිය මැයි 18 වෙනිදා ජනාධිපති සමාවකින් නිදහස් කෙරුනු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පිළිබඳව කිසිවක් සඳහන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

යුද අපරාධ

කොළඹ පිහිටි දැඩි ආරක්ෂාව සහිත ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලයේදී ඔහු හමුවූ බීබීසීය, මුලින්ම ඔහුගෙන් විමසුවේ මෑතදී ආණ්ඩුව විසින් උතුරේ දෙමළ ජාතික පරිපාලන නිලධාරීන් වෙනත් ප්‍රදේශවලට මාරු කොට උතුරට සිංහල පරිපාලන නිලධාරීන් පත් කිරීම පිලිබඳවය.

"යුද්දෙට කලින් ඒ පළාතේ හිටපු සේරම නිලධාරීන් සිංහලයන්," ඔහු පැවසීය.

දකුණේ බොහෝ පළාත්වල බොහෝ දෙමළ ජාතික නිලධාරීන් සේවය කරන්නා සේම, සිංහල සහ මුස්ලිම් නිලධාරීන්ට උතුරේ සේවය කිරීමටද අයිතියක් තිබිය යුතු බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

"උතුරත් ලංකාවේම කොටසක්," ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

එබැවින් උතුර බහුතර දෙමළ ප්‍රදේශයක් ලෙසින් සැලකීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි ඔහු පවසන්නේ.

"ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මේ රටේ ඕනෑම තැනකට ගිහිල්ල ඉඩමක්, නිවාසයක් ගන්න අයිතිය තියෙන්න ඕනේ. මම කථාකරන්නේ බලහත්කාරයෙන් පදිංචි කිරීම් ගැන නෙමෙයි, මම කථාකරන්නේ මේ රටේ ඕනෑම තැනක ජීවත්වෙන්න මේ රටේ ජනතාවට තියෙන අයිතිය ගැන," ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.

මෑතදී ආණ්ඩුව විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව සටන් වලට මැදි වූ සාමාන්‍ය වැසියන් 7400 ක් යුද්ධයේ අවසාන අදියරේදී මියගිය බව හෙළිවී තිබේ.

නමුත් එයින් බහුතරය එල්ටීටීඊ සාමාජිකයන් බව පවසන ආරක්ෂක ලේකම්වරයා, සාමාන්‍ය වැසියන් ඒ අතර සිටියේ ඉතා සුළු පිරිසක් බවද පැවසීය.

සාමාන්‍ය වැසියන්

ආරක්ෂක හමුදාවලට එරෙහිවේ එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ චාර්ල්ස් හැවිලන්ඩ්ට කියාසිටියේ එවැනි අපරාධ සිදුවී තිබෙන්නේනම් වැරදිකරුවන්ට දඬුවම් දීමට තමන් සූදානම් නමුත්, චෝදනා කරන්නන් එම චෝදනා සනාත කළ යුතු බවයි.

Former General Sarath Fonseka saluting his supoorters (file photo)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'එක එක කට්ටිය එක එක නොම්මර කියන එක කිසිසේත්ම අපිට හරියට පිළිගන්න බැහැ'

මේ අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසන්නේ එල්ටීටීඊ යට එරෙහිව ශ්‍රී ලංකා රජය දියත් කළ යුද්ධයේ දී සාමාන්‍ය වැසියන් කොපමණ මිය ගියේදැයි සොයා බැලීමට නිසියාකාර විමර්ශනයක් කළ යුතු බවයි.

මේ සඳහා දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයන්ගේ සහභාගිත්වය අවශ්‍ය බවද සරත් ෆොන්සේකා පැවසීය.

කෙසේ වුවද බීබීසී සංදේශය සමග එක්වූ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක දී ජෙනරාල් ෆොන්සේකා ශ්‍රී ලංකා රජයේ හමුදාවට එල්ල වන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

උගත් පාඩම් හා සංහිඳියා කොමිසම හමුවේ මන්නාරමේ අගරදගුරු රායප්පු ජෝසප් උපුටා දැක් වූ සංඛ්‍යා ලේඛන අනුව යුද්ධයේදී ආ ගිය අතක් නොමැති සංඛ්‍යාව එක ලක්ෂ හතලිස් හය දහසක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ වාර්තාවේ නිගමනය වී ඇත්තේ හතලිස් දහසක් පමණ සාමාන්‍ය වැසියන් යුද්ධයෙන් මියගිය බවයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මේ වසරේ සංගණනය අනුව වන්නියේ ජීවත් වූ නව දහසක් පිලිබඳ තොරතුරු නැහැ.

යුද්ධයෙන් දෙලක්ෂ පනස් දහසක් පමණ දිවි ගලවා ගෙන පැමිණ ඇතැයි බීබීසී සංදේශයට පැවසු හිටපු හමුදාපතිවරයා ඔවුන් පිලිබඳ කැරෙන විශේෂ විමර්ශනයකින් මියගිය ඥාතීන් පිලිබඳ නිවැරදි දත්ත හෙළිදරව් කරගත හැකි වෙතැයි විශ්වාසය පල කළේය.

"එක එක කට්ටිය එක එක නොම්මර කියන එක කිසිසේත්ම අපිට හරියට පිළිගන්න බැහැ," ඔහු පැවසීය.

විමර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ රජයත්, රතු කුරුස සංවිධානයත්, දමිළ දේශපාලකයන් සහ පළාතේ හිටපු පරිපාලන නිලධාරීනුත් සහභාගී කර ගත හැකි බවයි හිටපු හමුදාපති වරයා යෝජනා කරන්නේ.