"නිල ඇඳුමක් ඇඳ ගත්ත හැමෝම රණවිරුවෝ නොවෙයි"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අපිට කරන යෝජනාවලින් බලපෑම් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්න අපි විසඳ ගන්නම්."
"යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 10ක් ගත වෙලා නැවත මේ පරණ දේවල් හාර හාර තුවාල පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව..."
ජිනීවා මානව හිමිකම් කොමිසමේ "ගැටේ ලිහන්නට" තමන් සැරසෙන ආකාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විස්තර කළේ මේ ආකාරයට ය.
මෙම ප්‍රකාශය ජනාධිපතිවරයාගේ මුවින් පිටවූ වහා ම අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඊට පරස්පර නිවේදනයක් නිකුත් විය.
ඉන් කියැවෙන්නේ සම අනුග්‍රාහකත්වයෙන් යුක්තව සම්මත වූ 30/1 දරන ජිනීවා යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය තුළ ඇති කැපවීම සහ අධිෂ්ඨානය අඛණ්ඩව ම ප්‍රදර්ශනය කරන බවකි.
ජිනීවා යෝජනාවලිය ගැන කොහේ හෝ සඳහනක් වේ නම් බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ යුද අපරාධ පරීක්ෂණ කෙරෙහිය.
යුද අපරාධ පරීක්ෂණ ගැන යළි කතාබහ කරන්නට පටන් ගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 40 වන සැසිවාරය ආරම්භ වීමත් සමගය.
යුද්ධය නිම වී දස වසරක් ගත වී ඇති බැවින් "පැරණි තුවාල පෑරීම" නතර කළ යුතු ද?
"මේ ප්‍රශ්න අප විසඳ ගන්නම්" යන ස්ථාවරයට පැමිණ එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය ඉවත ලා සංහිඳියාව වෙනුවෙන් තනිව ගමනක් යා හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, VISAKHA DHARMADASA/FACEBOOK
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අතුරුදහන් වූ රණවිරුවන්ගේ මව්පියන්ගේ සංගමයේ සභාපතිනි විශාඛා ධර්මදාස කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නායකයන් සංහිඳියාව වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ යම් පොරොන්දුවක් දී ඇත්නම් එය ඉටු කළ යුතු බවය.
"යුද්ධ හමුදාවට දරුවන් දෙන්නෙක් දුන්න අම්ම කෙනෙක් හැටියට මම හමුදාවට ගොඩක් ආදරෙයි. මගේ එක දරුවෙක් ක්‍රියාන්විතයේදී අතුරුදන් වුණා. යුද්ධයකදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒ හැම දේකට ම දඬුවම් දෙන්න බැහැ කියල අපි පිළිගන්නවා. නමුත් රටක් හැටියට සමස්ත ජනතාවගේ හැඟීම් තේරුම් අරගෙන එකට ගමනක් යන්න ඕන. එතනදී කාගේ හරි හිත රිදිලා තියෙනවා නම් ඊට විසඳුම් සෙවිය යුතුයි." ඇය ප්‍රකාශ කළාය.
රණවිරුවා?
විශාඛා ධර්මදාස තවදුරටත් කියා සිටියේ යුද්ධයේදී සිදුවන ඇතැම් සිදුවීම් වෙනුවෙන් දේශපාලන නායකත්වය වගකීම භාර ගත යුතු බවය.
"දේශපාලන නායකත්වය තමයි යුද්ධයට අණ දෙන්නේ."
යම් හමුදා භටයෙකු වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් දීම යනු මුළු හමුදාවට ම එරෙහිව යාමක් හෝ "රණවිරුවන්ට" දඬුවම් දීමක් හෝ නොවන බවත් ඇය අවධාරණය කරන්නීය.
"යුද්ධයේදී වීරත්වයක් දක්වපු පුද්ගලයායි රණවිරුවා. නිල ඇඳුමක් ඇඳ ගත්ත හැමෝ ම නොවෙයි. අනුරාධපුරෙන් එහාටවත් නොගිය අයත් නොවෙයි. රණ ශූරත්වයෙන් වීරත්වයක් දක්වපු අය තමයි රණවිරුවෝ. පැහැදිලිව ම ඒ වගේ අයට දඬුවම් දෙන්න බැහැ. මේක යුද්ධයක්. පෞද්ගලික තරහකට කරපු දෙයක් නෙවෙයි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කියවන්න:
"තුවාලේ ඔහොම තියෙද්දෙන්"
කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ වැඩසටහන් අධ්‍යක්‍ෂිකා කුමුදුනී සැමුවෙල් මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ "ළඟදී පැවැත්වීමට නියමිත ඡන්දයක්" ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ නිකුත් කිරීම රටට හිතකර නොවන බවය.
"2015දී මේ දෙදෙනා ම ඡන්දෙට එන්නේ යම්කිසි පොරොන්දුවක් එක්ක."
පශ්චාත් යුද සමයක රට ඉදිරියට ගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා ජනතාව ඉදිරියට පැමිණෙන්නේ යම් පොරොන්දුවක් සමග බව ඇය පවසන්නීය.
"තුවාල සුව කරන්න ඕනෙ නම් අපි ඇත්තට ම කළ යුත්තේ තුවාලවලට බෙහෙත් දැමීම. තුවාල පාරන්න එපා හැබැයි තුවාලේ ඔහොම තියෙද්දෙන් කියනව නම් ඒකෙන් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ."
"මේක ජාත්‍යන්තරය වෙනුවෙන් කරන දෙයක් නොවෙයි. රටේ දරුවන් වෙනුවෙන් කරන දෙයක්. යුද්ධ හමුදාවට පමණක් අදාළ දෙයකුත් නොවෙයි. ආයෙත් මේ ජාතිවාදය ඉස්මතු නොවෙන්නත් මෙවැනි යුද්ධයක් යළි ඇති නොවෙන්නත් කරන දෙයක්." යැයි කුමුදුනී සැමුවෙල් කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තවත් කියවන්න:
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් එළඹෙන සැසිවාරයේදී තමා නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කළේය.
ඔහු මේ බව පැවසුවේ බදාදා (මාර්තු 06) මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවේදීය.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ, පොලීසියේ ක්‍රියා කලාපය, ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ කටයුතු ඇතුළු කරුණු ගණනාවක් ගැන මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළකර තිබිණි.










