නිත්තෑවෝ: 'මායාවක්' වැනි මතය ගැන ආදිවාසී නායකයා කතා කරයි

"නිට්ටෑවන් සමහරවිට ඉන්නවා ඇති" - ආදිවාසි නායක

ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ ඌව පළාත්වල ඝන කැළෑ ප්‍රදේශවල ඈත අතීතයේ "නිත්තෑවන්" නමින් හැඳින්වූ මිනිස් හැඩරුවට සමාන සිරුරකින් යුතු වූ ජීවීන් කොට්ඨාසයක් ජීවත් වූ බවට මත පළවී තිබිණි.

උසින් අඩු කිසියම් ජීවියෙකු දක්නට ලැබුණු බව අම්පාර තොට්ටම ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනෙකු පසුගිය දා පැවසීමත් සමග නිත්තෑවන් පිළිබඳ කතාබහක් යළිත් මතු වී තිබේ.

මේ, ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකි.

නිත්තෑවන් සහ ආදිවාසීන් අතර ගැටුම

නිත්තෑවන් පිළිබඳව ඇති විවිධ මත අතරින් එකක් වන්නේ, ආදිවාසීන් (වැදි ජනයා) සහ නිත්තෑවන් අතර පැවති බව කියන එදිරිවාදිකමකි.

මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට බීබීසී සිංහල සේවය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හමු විය.

එහිදී, ආදිවාසී නායක වන්නිල ඇත්තන් පැවසුවේ, නිත්තෑවන් එක් තැනකට කොටු කළ ආදිවාසීන් ඔවුන් සමූල ඝාතනය කළ බවට පවතින මතය තමා පිළිනොගන්නා බවය.

නිත්තෑවන් ආදිවාසී දරුවන් කා දැමූ නිසා ඔවුන්ව විනාශ කළ බවක් තමාට තමාගේ පියා හෝ වෙනත් මුතුන් මිත්තෙකු කිසි දිනෙක පවසා නැති බව ද ඔහු පැවසීය.

"නිත්තෑවො එකතු කරල ගල් ගුහාවකට දාල ගිනි තියල මරල දැම්ම කියන ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි. ඒ ඇත්තො මීයෝ වගේ නෙමේ නෙ, එකතු කරල ගන්න. අනික එහෙම කණ්ඩායමක් මේ රටේ හිටිය නම් ඒ අය එක් කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කට්ටියක් ඉන්න ඕන. ඒ අයගෙත් පරම්පරාවක් තියෙන්න ඕන. ඉතිං මේ ඔක්කොම නිත්තෑවන් එකතු කෙරුවයි කියල විශ්වාස කරන්න අමාරුයි." යැයි ආදිවාසී නායකයා පැවසීය.

කෙසේ වෙතත්, "නිත්තෑවන් අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ බවට ඇති මතය" තමා පිළිගන්නා බව ඔහු පැවසීය.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ
ඡායාරූප ශීර්ෂ වැකිය, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ

"අපේ අප්පිල ඇත්තන්ගෙ මුත්තිල ඇත්තන්ටයි කිරි අප්පිල ඇත්තන්ටයි කැළෑවෙදි හමුවෙලා තියෙනව මේ නිත්තෑවෝ. හැබැයි මටවත් මගේ අප්පිල ඇත්තන්ටත් මේ නිත්තෑවන් හමුවෙලා නම් නෑ."

ආදිවාසී නායකයා හෙළි කළේ මීට දශක ගණනාවකට පෙර සිය ගමේ ද "වැඩිය උස නැති පවුලක්" වාසය කර ඇති අතර ඔවුන්ගේ උස අඩි 3 ක් පමණ වූ බවය.

"ඒ හින්ද ඒ අයටත් නිත්තෑවන් කියල නමක් දාල තිබ්බ. ඒ මගේ අප්පිල ඇත්තන්ගෙ අප්පිල ඇත්තන්ගෙ කාලෙ ඒ කියන්නෙ අවුරුදු 200කට විතර එහාදි."

ඔවුන්ගෙන් පැවතෙන අය තවමත් ජීවත් විය හැකි බව ඔහු පැවසීය.

"කවද හරි නිත්තෑවන් මගේ ඇස් දෙකින් දැක්කොත් මෙන්න නිත්තෑවන් කියල ලෝකෙට ම ප්‍රකාශ කරනවා. ඔය නිත්තෑවන් සම්බන්ධව මේ දක්වා ම අපේ රැහේ කොහෙන්වත් නම් ආරංචි වෙලා නෑ."

මේ තොරතුරුත් කියවන්න:

අම්පාරේ ඇතැම් කැළෑබද ප්‍රදේශවල නිත්තෑවන් දුටු බවට පැතිරෙන අදහස් ගැන ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

"නිත්තෑවන් රතුගල අම්පාරෙදි මුණ ගැහුණ, කැළැවෙදි දැක්ක කියල කතාවක් තියෙනව. ඒ කතාව ඇත්ත නම් මම හිතනව ඒ නිත්තෑවන් කියන පරම්පරාවෙ තවත් ඈයො ඉතුරු වෙලා ඉන්න ඇතියි කියල. ඒ ඇත්තන්ගෙන් කැකුළියො කැකුළො ඇති වෙන්න ඇති," ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පැවසීය.

මානව විද්‍යා මතය:

නිත්තෑවන් පිළිබඳව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව විටින් විට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ,

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ කණ්ඩායමක් පසුගිය දා තොට්ටම ඝන කැළය පීරුවේ නිත්තෑවන් දුටු බව ගම්වාසීන් පැවසීමත් සමගය.

J'pura University

ඡායාරූප මූලාශ්‍රය, J'pura University

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය යසාන්ජලී

නිත්තෑවන් සම්බන්ධයෙන් සමාජගත වී ඇති අතීත තොරතුරු පිළිබඳව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය යසාන්ජලී දේවිකා ජයතිලකගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේය.

එහිදී ඇය පැවසුවේ, දැනට රට තුළ සමාජගත වී ඇති කරුණු අනුව මෙරට තුළ නිත්තෑවන් පිළිබඳව මුලින් ම කරුණු හෙළි වී ඇත්තේ 19 වන සහ 20 වන ශත වර්ෂවලදී බවය.

"බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන හියු නෙවිල් සහ ඉන් පසුව ෆෙඩ්රික් ලුවිස් කියන කෙනාත් මේ ගැන විස්තර හොයන්න උත්සහ කරලා තියෙනවා."

"ඔවුන් තොරතුරු හොයලා තියෙන්නේ පාලම්පත්තුව, සියඹලාණ්ඩුව පැත්තේ ජීවත් වූවා යැයි පැවසෙන අඩක් මිනිසෙකුට සමාන මානවයෙකුට සමාන සත්වයෙක් ගැන," ඇය වැඩිදුරටත් පැවසුවාය.

"මේක හරියට මායාවක් වගේ කතාවක්. කවුරුවත් හරියට දැකලා නැහැ." මහාචාර්ය යසාන්ජලී දේවිකා ජයතිලක සඳහන් කළාය.