"රනිල් සමග ආණ්ඩු කරන්න අදහසක් නැහැ" ජනපති කියයි, දෝෂාභියෝගයක් වුවත් ගෙන ආ හැකි බව එජාපෙ සහ ජවිපෙ පවසති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යම් තීන්දුවක් ලබා දෙන්නේ නම් ඊට ගරු කරන නමුත් රනිල් වික්‍රමසිංහ සමග "ආණ්ඩු කිරීමට තමාගේ කිසිඳු අදහසක් නොමැති" යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.
ඔහු ඒ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක්දැයි කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා, "ඡන්දයක් ලබා දෙන්න කටයුතු කළ එක අධිකරණයෙන් වැලක්වුවා එය නීති විරෝධී කියලා. එහි ගැටළුවක් නැහැ, අපි අධිකරණයට ගරු කරනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ ගැන මම එදා ගත්ත තීන්දුව එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔහු සමග ආණ්ඩු කරන්නේ නැහැ කියන දේ ජනාධිපතිවරයා කිව්වා."
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පැවසුවේ දැයි විමසූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ, "එහෙම කිව්වේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිම කෙනෙක් ඊට එක්වෙන්න එපා කියලා කිව්වේ," යනුවෙනි.
මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකු අගමැති සහ අමාත්‍ය තනතුරු දැරීම පිළිබඳ සිකුරාදා ලබා දීමට නියමිත අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුව රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා දීම පිළිබඳ තීන්දුවක් ගන්නා බවත් ඔහු පැවසීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබුනේ "මැතිවරණයක් ඉල්ලා සිටිමින් සහ ඡන්දය දීමේ අයිතිය වෙනුවෙන් සටන් කරමින් අපේ අරමුණ වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට මම ස්තුති කරනවා. ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන්ට වඩා මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගේ අපේක්ෂා වැදගත් යයි සමහරුන් සිතීම කණගාටුවට කරුණක්. ඔබේ නායකයන් තෝරාගැනීමේ ඔබේ අයිතිය ලැබෙන තුරු අපි දිගටම සටන් කරන්නෙමු," යනුවෙනි.
රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීම සඳහා විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී යථා පරිදි සම්මත කරන ලද බව කතානායක කරු ජයසූරිය බදාදා (දෙසැ 12) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිඛිතව දන්වා තිබිණි.
අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් සම්මත කර ගනු ලැබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමග අගමැති ධුරයෙන් ඉවත් කරන ලද රනිල් වික්‍රමසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුනේ ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ විධායකය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ එක හා සමාන වටිනාකමින් යුත් ස්ථම්භ වන අතර, එමගින් සපයනු ලබන සංවරණ හා තුලන රටක පුරවැසියන්ගේ ස්වාධිපත්‍යය සහතික කිරීමෙහිලා තීරණාත්මක සාධකයන් වේ," යනුවෙනි.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ ප්‍රතිචාරය දක්වන එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, "අත්තනෝමතිකව වැඩ කළ ජනාධිපතිවරයෙක්, චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවත් අයුතු ලෙස බලය පරිහරණය කර ඇති බවත් උසාවිය විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඔප්පු කළ අවස්ථාවක් ලෙස අප මෙය දකිනවා," යනුවෙන් සඳහන් කළේය.
"මෙය මෛත්‍රීපාල සිරිසේන මහතා ලද බලගතු පරාජයක්. ලබන වසරේ ජනාධිපතිවරණයෙන් යළි ජනාධිපති වීමේ සිහිනය බිඳ වැටීමක්," යයි කී පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක නඩු යට ගැසීම සඳහා උත්සාහ කළ පුද්ගලයන් ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පරාජයට පත් වූ බව සඳහන් කළේය.
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ බලය යුතු ලෙස යොදා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ජනාධිපතිවරයා පදවියෙන් ඉවත් කිරීමට අවශ්‍ය දෝෂාභියෝගයකට අවශ්‍ය පදනම ඉන් සැකසෙන බව ජනාධිපතිවරයා සිහි තබා ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත "ටොකු අනිමින් කියා දී ඇත්තේ වෙන කවරක් නොව ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමේ වැදගත්කම" යයි ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සිට මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
"දැන්වත් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට යටත්ව කටයුතු කරන්න බැඳී සිටිනවා," යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.
එහිදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ "ජනාධිපතිවරයා සිතමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ඔප්පු වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වෙනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි බවය."
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ සහාය අවශ්‍ය කෙරෙන අතර එය සම්මත කර ගැනීම සඳහා 2/3 බහුතරයක් ද අවශ්‍ය වේ.











