ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය අවසන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම සම්බන්ධ පෙත්සම් විභාගය අවසන් කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය.
එමෙන්ම ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය තීන්දුව ලබා දෙන දිනය දක්වා බලපැවැත්වෙන බව ද නියෝගයේ සඳහන් වේ.
අගවිනිසුරු නලින් පෙරේරා එම විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පාර්ශව 13ක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය සිකුරාදා (දෙසැම්බර් 07) සිව් වෙනි දිනටත් පැවැත්විණ.
පෙත්සම්වලට එරෙහි මැදිහත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු එහිදී යළිත් වරක් මුලින්ම කරුණු දැක්වූහ.
ඉන් අනතුරුව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු කරුණු දැක්වූහ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ප්‍රතිඋත්තර ප්‍රකාශ කිරීම ආරම්භ කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කණගීස්වරන් කරුණු ඉදිරිපත් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහිදී ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට සිවිල් හා අපරාධ නඩුවලින් නිදහස්ව සිටීම සදහා මුක්තියක් හිමි වී තිබුණද එම මුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුලින් යම් සීමා කිරීමකට ලක් කර ඇති බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ විධායක සහ පරිපාලන ක්‍රියාවලට එරෙහිව මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට ප්‍රතිපාදන සලසා ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කණගීස්වරන්, ඒ යටතේ ජනාධිපතිවරයාගේ නිල කටයුතු අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකියාව පවතින බවත් පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් බැවින් ඒ පිළිබඳව ද මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන යටතේ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට හැකියාව තිබෙන බව ද ජනාධිපති නීතිඥ කණගීස්වරන් අවධාරණය කළේය.
පෙත්සම්කාර පාර්ශවයේ සිසු නීතිඥවරුද එම අදහස් අනුමත කරමින් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූහ.
ව්‍යවස්ථා අර්බුදයේ පසුබිම
පෙත්සම් විභාගය පැවැත්වෙන අතරවාරයේ ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තරකොට තිබිණ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකරමින්, මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගයත් සමග ශ්‍රී ලංකාව ව්‍යවස්ථා අර්බුදයකට මුහුණ දී සිටී.
තවදුරටත් රටේ නීත්‍යානුකූල අගමැතිවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වෙනි සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
ඉන් අනතුරුව එය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් නොවැම්බර් 12 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික හිමිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.
එම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 13 වෙනි දින අතුරු නියෝගයක් ප්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දෙසැම්බර් 07 වෙනි දින දක්වා අත්හිටුවන ලද අතර, පසුව එම අතුරු නියෝගය දෙසැම්බර් 10 වෙනි දින දක්වා දීර්ඝ කරනු ලැබ තිබිණ.
තවත් කියවන්න:








