ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"පාර්ලිමේන්තුවේ ආරවුල විසඳීම ජනතාවට භාර කරමු" - මහින්ද රාජපක්ෂ
පාර්ලිමේන්තුව තුළ මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට නම් වහා ම මහමැතිවරණයකට යා යුතු බව අගමැති ධුරයට පත් කරන ලද මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
"දැන් පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයක් අතර මත ගැටුමක් තිබෙනවා. මේ ආරවුල පාර්ලිමේන්තුවේ 225 විසඳ ගන්නේ නැතුව මේ රටේ ලක්ෂ 150 ඉක්මවන ඡන්දදායකයන්ට භාර දෙමු,"
රටට සිදු වෙමින් පැවති හානිය පිළිබඳ සිතාබලා අගමැති ධුරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනය තමන් පිළිගත් බව අගමැති ධුරය සඳහා පත් කරන ලද මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.
ජනතාවට ආර්ථික සහන ලබා නොදෙමින් රටේ සම්පත් විකිණීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ බව ඔහු ප්‍රකාශ කළේය.
තමන් ඇතුළු කණ්ඩායම අන්තර්කාලීන ආණ්ඩුවක් වශයෙන් පත් වූයේ මහමැතිවරණයක් පැවැත්වෙන තුරු පමණක් බව කී හිටපු ජනාධිපතිවරයා පළාත් සභා ඡන්දය ද දිගින් දිගට ම කල් දැමීමට කටයුතු කළ බවට චෝදනා කළේය.
කෙසේ නමුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කතානායක කරු ජයසුරිය කියා සිටියේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති බැවින් අගමැති ධුරය සහ ඇමති ධුර අවලංගු වන බවය.
තමන් අගමැති ධුරයේ දිවුරුම් දුන් වහාම රටේ නව බලාපොරොත්තුවක් ඇති වූ බව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් පැවසීය.
කතානායකවරයා ඔහු නියෝජනය කරන එජාපය සමග එක්ව හඬ අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ බව මහින්ද රාජපක්ෂ කියා සිටී.
කෙසේ නමුත් දිගින් දිගටම එල්ල වූ බාධා මැද හඬ අනුව ඡන්දයක් විමසීමට ස්ථාවර නියෝග අනුව හැකියාව පවතින බව කතානායකවරයා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කෙරුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී වාතාවරණයක් හට ගැනිණි.
මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම්වලින් බාධා එල්ල වූ අතර පසුව මෛත්‍රීපාල - මහින්ද පාර්ශ්වයට සහය පළ කරන මත්රිවරුන් කතානයකවරයා අසලට පැමිණීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශය පිළිගත නොහැකි බවට කරුණු දැක්වීමක් සිදුවූ හෙයින් ඒ සම්බන්ධයෙන් ඡන්දය විමසීමක් කළ යුතු බවට ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කළ බවය.
එම ඡන්ද විමසීමට බාධා කරමින් මහින්ද රාජපක්ෂට සහය පළ කරන මන්ත්‍රීවරුන් "සාහසික ලෙස හැසිරීමත්" සමග ගැටුමක් ඇති වූ බව ඔහු සඳහන් කළේය.
සිකුරාදා පස්වරු 1.30 පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර විශ්වාසභංග යෝජනාවට සහාය පළ කළ දේශපාලන පක්ෂවල නායකයන් පස්වරු 5.00 ට ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාඨලී චම්පික රණවක බීබීසී සිංහල සේවය වෙත පැවසීය.