"පාර්ලිමේන්තුවේ මතයට බලපෑම් කරන්න ජනපතිට බෑ" - ජවිපෙ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මතයට බලපෑම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට සිය පක්ෂපාතීත්වය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකුගේ මතය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අවධාරණය කළේය.

ඔහු ඒ බව පැවසුවේ, ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් බදාදා (නොවැ 14) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු බව දන්වමින් කතානායක කරු ජයසූරිය විසින් යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්වා ඇති ලිඛිත ප්‍රතිචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එසේ ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගන්නා ලද තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් තිදෙනා ම ඒකමතිකව ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී සිංහල සේවය සමග සජීවී සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේය.

"රටේ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන ආයතන තුනක් තිබෙනවා. පාර්ලිමේන්තුව, ජනධිපති, අධිකරණය. මේ ආයතන තුන එකිනෙකට ගරු කරන්නේ නැතිනම්, එකිනෙකට තිබෙන ස්වාධීනත්වයට, ව්‍යවස්ථාවට ගරු කරන්නේ නැති නම් රට සම්පුර්ණයෙන් ම අස්ථාවර වෙනවා, විනාශ වෙනවා."

පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කරමින් විශ්වාසභංග යෝජනාව සම්මත කර ඇති බවට ජනාධිපතිවරයා කරන චෝදනාව ඔහු බැහැර කරයි.