ශ්‍රී ලංකා දේශපාලන අර්බුදය: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පාර්ලිමේන්තුව කැඳවේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බදාදා උදෑසන 10 ට කැඳවන බව කතානායක මාධ්‍ය අංශය නිවේදනය කළේය.

කතානායකවරයා විසින් එම තීන්දුව ගනු ලැබ තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත්කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

එම තීන්දුවෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය නීති උපදෙස් ලබාගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට ප්‍රථම පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වෙනි දින යළි කැඳවන බවට ගැසට් නිවේදනයක් නිකුත්කර තිබුණි.

තවත් කියවන්න:

ප්‍රතිචාර කවරේද?

කතානායකවරයාගේ නිවේදනයට පෙරාතුව මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ පදවියෙන් පහකරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ, බදාදා පාර්ලිමේන්තුව යළි කැඳ වූ විට තමන්ට බහුතර බලය තිබෙන බව සනාථ කිරීමට තමන් සූදානම් බව කියා සිටියේය.

මින් අනතුරුව ගතයුතු පියවර සාකච්ඡා කිරීම පිණිස කතානායකවරයා විසින් බදාදා සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක්ද කැඳවා තිබේ.

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ "සමස්ත ශ්‍රී ලංකාවාසීන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ට සිය ආචාරය පුද කරන," බවය.

බදාදා පාර්ලිමේන්තුව කැඳවූ විට සිය බහුතරය පෙන්වා ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති පාලනය යළි පිහිටුවන බව හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබේ. ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකර සිය ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කළේ ඔක්තෝබර් 26 වෙනි දිනය.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවමත් සිය අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කර නොමැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේ කවර පියවරක් ගනු ඇති දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවමත් තමන්ට ලිඛිතව ලැබී නැති බැවින් ඒ පිළිබඳව මේ මොහොතේ අදහසක් දැක්විය නොහැකි බවය.

සිදුවිය හැක්කේ කුමක්ද?

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් අනතුරුව යළි කැඳවන අවස්ථාවක, රටේ විධායක ජනාධිපතිවරයා ද එම උත්සවයට එක්වී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීම සාමාන්‍ය සිරිතය.

එහෙත් පාර්ලිමේන්තුව යළි කැඳවන අවස්ථාවේ ජනාධිපතිවරයා එයට සහභාගිවීමේ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ නීතිමය අවශ්‍යතාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග පැවසීය.

අධිකරණයේ කාර්යභාරය

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වාදුන් ආකාරයටම, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන්නේ අතුරු නියෝගයකි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධ විභාගය ලබන දෙසැම්බර් 4,5,6 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබේ.

මූලික විභාගය සඳහා අගවිනිසුරු නලීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් විනිසුරුවරුන් තිදෙනෙකු පමණක් සහභාගි වුවද, මින් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සියලු දෙනා විභාගයට සහභාගි වනු ඇති බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක සඳහන් කළේය.

එම විභාගයෙන් අනතුරුව දෙසැම්බර් 06 හෝ 07 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කතානායක කරු ජයසූරිය විසින් පාර්ලිමේන්තුව යළි කැඳවනු ලැබ තිබුණ ද, අවශ්‍ය නම් ඒ අතරවාරයේ පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් නීතිවේදී ලාල් විජේනායක වැඩිදුරටත් සඳහන් කළේය.

තවත් කියවන්න: