ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වීමට: රංගනගේ ක්‍රිකට් දිවිය වෙනස් කළ 'දුරකතන ඇමතුම'

BBC

2009 වසරේ ජුලි දෙවන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගාල්ලට පැමිණ පාකිස්තානය සමග ටෙස්ට් තරගයකට සුදානම් වෙමින් සිටියදී රංගන හේරත් සිටියේ, එංගලන්තයේ Staffordshire ලීග් තරගාවලිය සඳහා තමන් ක්‍රීඩා කරන කණ්ඩායමත් සමග පුහුණුවීම් සඳහා සුදානම් වෙමිනි.

දශකයකට පමණ පෙර එනම්, 1999 වසරේ ශ්‍රී ලංකා වරම් ලැබුවත් ශ්‍රී ලංකා පිළේ නිත්‍ය ස්ථානයක් රංගන හේරත්ට අහිමිව තිබුණේ, ලෝකයේ බිහිවූ සාර්ථක ම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේ සිටීම හේතුවෙනි.

මුරලිදරන්ට සහය පන්දු යවන්නෙකු ලෙස තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට ලැබුණත් එහිදී සාර්ථක වීමට රංගනට නොහැකි විය.

2008/09 තරගවාරයේ අජන්ත මෙන්ඩිස්ගේ පැමිණීමත් සමග රංගනට තිබුණු අවස්ථා තවත් අඩු වූ අතර ඇතැමුන් ඒ වන විට 31 වන වියේ පසු වූ රංගනගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අවසන් වී ඇති බවට ද මත පළකර තිබිණි.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

"මම පුහුණුවීම්වල යෙදී ඉන්නකොට මගේ දණහිස එකපාරට ම ආබාධයකට ලක්වුණා, මට ඇවිදින්න බැරි වුණා එතකොට සංගයි, මහේලයි අපි කතා කරා මං වෙනුවට ගන්නේ කවුද කියලා, මම කිව්වා රංගනව ගේමු කියලා, කට්ටිය එකඟ වුණා," රංගනගේ 2009 වසරේ ශ්‍රී ලංකා පිලේ නැවත ආගමනයට තම ආබාධය දායක වූ ආකාරය ගැන මුත්තයියා මුරලිදරන් බීබීසි සිංහල සේවයට එලෙස අදහස් දැක්වීය.

මේ ගැනත් කියවන්න:

අභියෝගයක්

මෙලෙස රංගන හේරත් කණ්ඩායමට කැඳවීමට තීරණය කිරීමත් සමග කණ්ඩායම මුහුණ දුන් අනික් අභියෝගය වූයේ, එංගලන්තයේ සිටින රංගන හේරත් සම්බන්ධ කර ගැනීමය.

රංගනගේ වාසනාවට ඔහු, එවකට කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ වත්මන් ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහට තම දුරකතන අංකය ලබා දී තිබිණි.

"රංගන යන්න කලින් මට දීලා තිබුණා එයාගේ එංගලන්ත අංකය, ඒක මම සංගක්කාරට දුන්නා. එහෙම තමා එයාට කතා කරලා, වහා ම ගෙන්න ගන්න කටයුතු කළේ," චන්දික හතුරුසිංහ තමන් මෙම සිදුවීමට දායකත්වය දුන් ආකාරය බීබීසී සිංහල සේවයට හෙළි කළේය.

එංගලන්තයේ සිටින රංගන සොයා ගැනීමට තවත් පැය කිහිපයක් ගත වී තිබුණේ නම් බොහෝ විට ඔහුට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට තරගයට පෙර පැමිණීමට හැකිවේවි ද යන්න ප්‍රශ්නාර්ථයක් ම වන්නට තිබිණි.

BBC

"මම ජිම් එකට යන්න ලෑස්ති වෙනකොට සංගාගේ කෝල් එක ආව, දවල් 2.30ට පමණ. හොඳ වෙලාවට ෆෝන් එක ආන්සර් කරන්න මට පුළුවන් වුණා, සංගා ඇහුවා මුරලි ආබාධයකට ලක්වුණ නිසා මට මැච් එකට එන්න පුළුවන් ද කියලා, මම ඉන්නේ කොහෙ ද කියල බැලුවේ නැහැ කොහොම හරි එන්නම් කිව්වා," තම ක්‍රිකට් දිවිය වෙනස් කළ දුරකතන ඇමතුම ගැන රංගන හේරත් බීබීසි සිංහල සේවයට පැවසුවේ, එලෙසය.

තවදුරටත් කියවන්න:

රංගන වහා ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එත් සමග ම ආරම්භ කළ ද එතරම් ඉක්මනින් ඔහු ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට් පතක් වෙන් කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

මේ පිළිබඳව දැන ගත් මුත්තයියා මුරලිදරන් වහා ම තම පෞද්ගලික සබඳතා හරහා රංගනට එදින රාත්‍රියේ ම ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට් පතක් වෙන්කර ගැනීමට සමත් විය.

BBC

"රංගනට කතා කළා ම එයා කිව්වේ මට ඉක්මනට එන්න ටිකට් එකක් හදා ගන්න බැහැ කියලා, මම වහා ම මගේ මිත්‍රයෙකුට කතා කරලා ටිකට් එක හදලා දුන්න, කොහොම හරි 3 වන දා රංගනව අපි මෙහෙට ගෙන්නුවා," තමන් වෙනුවට ක්‍රීඩා කරන සගයා කෙසේ හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තරගය ක්‍රීඩා කරවීම මුරලිගේ අරමුණ වී තිබිණි.

"මට ඕන වුණේ ශ්‍රී ලංකාව ජය ගන්න එක, ඒකට මම ගහනව ද නැද්ද කියලා නැහැ, ඒකයි කොහොමහරි රංගනව ගෙන්න ගන්න උත්සහ කළේ. ඒක මගේ වැඩක් නොවුණත්. සංගක්කාරත් මුලින් ම ටීම් එකට ගන්න ඕනේ කියලා ඒ දවස්වල සනත්ට කිව්වේ මම," මුරලි කියා සිටියේය.

හැරවුම් ලක්ෂය

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙලෙස 2009 ජුලි 3 වන දා දහවල් ශ්‍රී ලංකාවට පැමිණි රංගන හේරත් පසුදින (4 වන දා) තම ක්‍රිකට් දිවියේ "හැරවුම් ලක්ෂය" වන තරගයට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩා පිටියට පිවිසියේ, තමන් ශ්‍රී ලංකාවට පැමිණ පැය 24 ක් ගත වීමටත් මත්තෙනි.

තරගයේ පළමු ඉනිමේ බලාපොරොත්තු වූ පරිදි රංගන හේරත්ට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ අතර, ඔහුට පන්දු වාර 16 ක් යවා දවා ගත හැකි වූයේ, ලකුණු 52 ට එක් කඩුල්ලක් පමණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පන්දුවට පහර දීමේදී, ශ්‍රී ලංකාවේ නයිට් වොච්මන් ලෙස ආරම්භක පිතිකරු කාර්යභාරය පැවරුණේ ද රංගන හේරත්ටය. සාර්ථකව එම කාර්යය ඉටු කිරීමට රංගනට හැකි වූ අතර එය තමන්ට දෙවන ඉනිමේ පන්දු යැවීමට ද අවශ්‍ය විශ්වාසය ලබා දුන් බව ඔහු පවසයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වීම නිසා පාකිස්තානයට අවසන් ඉනිමේ ලැබුණේ, ලකුණු 168 ක ඉලක්කයකි. ඔවුන් 3 වන දිනය අවසන් වන විට ලකුණු 71 රැස්කර තිබුණේ, කඩුලු 2ක් පමණක් දැවී ගොස් තිබියදීය. පහසු ජයක් ලබා ගන්නට තවත් කඩුලු 8 ක් අතැතිව ඔවුන්ට රැස්කිරීමට අවශ්‍ය වූයේ ලකුණු 117ක් පමණි.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

4 වන දිනයේ තම පළමු පන්දු වාරයේ ම පාකිස්තානයේ ප්‍රබල පිතිකරුවෙකු වූ මොහමඩ් යූසුෆ් දවා ගැනීමෙන් ඇරඹුණු රංගනගේ කඩුලු දඩයම අවසන් වූයේ පාකිස්තාන ඉනිම ලකුණු 117කට සීමා කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 68 ක විශිෂ්ට ජයක් අත් කර දෙමිනි.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණු රංගන හේරත් පන්දු වාර 11 ක් යවා ලකුණු 15 ට ප්‍රබල පාකිස්තාන කඩුලු 4 ක් බිඳ දැමීය.

"ඇත්තට ම ඒ තරගය තමා මගේ හැරවුම් ලක්ෂය, එතකම් 99 ඉඳලා 2009 වෙනකම් මම ක්‍රීඩා කරේ විටින් විට. මේ තරගයෙන් පස්සේ විශ්‍රාම යනකම් මට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලැබුණා," රංගන හේරත් කියා සිටියේය.

එම තරගයට පෙර රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 10 කදී ටෙස්ට් තරග 14 ක් ක්‍රීඩා කර කඩුලු 36 ක් දවා ගෙන තිබූ අතර, 2009 න් පසු එළඹෙන වසර 9 තුළ ඔහුට ටෙස්ට් තරග 79 ක් ක්‍රීඩා කර කඩුලු 396 ක් බිඳ දැමීමට හැකි වී තිබේ.

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

"ඔහුගේ නාමය අමරණීයයි" - කුමාර් සංගක්කාර

"අපි සියලු දෙනාට ම ජීවිතේ යම් වාසනාවක්, යම් මග පෑදීමක් ඇති වෙනවා, නමුත් රංගනගේ ක්‍රිකට් ජීවිතය වෙනස් වුණේ ඒ දුරකතන ඇමතුමෙන් නොවේ, මං හින්දා හෝ තේරීම් කමිටුව හින්දා නෙවෙයි."

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"එතනට ඇවිල්ල ඒ ලැබුණු අවස්ථාව කොහොම ද භාරගන්නේ, කොහොම ද දස්කම් දක්වන්නේ කියන එක කාටවත් පාලනය කරන්න බැහැ. ඒක පාලනය කරන්නේ රංගන හේරත් විතරයි. ඒක හින්ද තමයි මම රංගනට විශේෂ ගෞරවයක් දක්වන්නේ," ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර 2009 රංගනගේ හැරවුම් ලක්ෂය ගැන අදහස් දක්වමින් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

"ඉතා ම අමාරුවෙන් තරගයට ඉස්සෙල්ලා දවසේ ඇවිල්ලා, අපිට තනිව ම තරගය ජයග්‍රහණය කරලා දුන්න අවුරුදු 4 ක් ජාත්‍යන්තර මටටමේ ක්‍රිකට් ගහලා නැතුව හිටිය ඒ මනුස්සයායි."

BBC

පසුගිය වසර ගණනාවක් තනිව ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා දුන් තම ක්‍රිකට් සගයාගේ නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මෙන් ම ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ අමරණීය එකක් වනු ඇති බව කුමාර් සංගක්කාර පවසයි.

"කවදාවත් දොස් පවරලා නැහැ අය්යෝ මට මේ අසාධරණය වුණා කියලා, ඔහු ඉතාමත් ශක්තිමත් වූ ධෛර්යකින්, තමන්ගේ විදිහට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිලා, මුරලිදරන්ට සමාන වූ විශිෂ්ට ජයග්‍රහණ ශ්‍රී ලංකාවට ලබා දුන්නා."

BBC

"ලංකාවේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තරවත් ඔහුට විශාල ගෞරවයක් තියෙනවා, ඔහුගේ නාමය අමරණීයයි" සංගක්කාර වැඩිදුරටත් කියා සිටියේය.

ලෝකයේ දැනට වැඩි ම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ දැමූ සාර්ථක ම වමත් පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා -එංගලන්ත පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට නියමිතය.