ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නෙදුන්කේනි පුරා විද්‍යා භූමිය: "සාමාන්‍ය වැසියන් හා දේශපාලන නායකයින් මැදිහත්වෙලා විසඳන්න බෑ"
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ඉරිදා (සැප් 09) වවුනියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි, වෙඩුක්කුනාරි හි පිහිටා ඇති පුරාවිද්‍යා භූමියක නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ඔවුන් ඒ නිරීක්ෂණ චාරිකාවට එක්වූයේ අදාළ ගල් තලාව පැවති ස්ථානය ගැන බෞද්ධ සහ හින්දු බැතිමතුන් දෙපාර්ශවයම හිමිකම් කීම හමුවේ අර්බුදයක් මතුවීම හේතුවෙනි.
අතීතයේ පටන් එහි ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ බව පවසමින් එම ස්ථානයේ ශිව කෝවිලක් ඉදිකිරීමට අවසර ඉල්ලා, පසුගිය අගෝස්තු 21 වෙනි දින පිරිසක් නෙදුන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටියහ.
පුරාවිද්‍යා නිළධාරීන්ගේ මතය අනුව, ක්‍රිස්තු පූර්ව 3 - 1 දක්වා යුගයට අයත් මූල බ්රාහ්මීය අක්ෂර සහිත ශිලා ලිපි සහ වංශකතාවලට අනුව 'වඩ්ඩමාන පර්වත විහාරය' නමින් බෞද්ධ ආරාමයක් දැනට නයිනමඩු රක්ෂිතය යනුවෙන් හඳුන්වන භුමියේ පැවත තිබේ.
ගල් තලාව මත ගොඩනැගිලි තිබූ බවට සාධක සපයන කැපුම් සලකුණු ද, කටාරම් සහ සහ මූල බ්රාහ්මීය ලිපි සහිත ලෙන් 8 ක් ද මෙම භුමියේ පිහිටා තිබෙන බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති. මීට අමතරව, පැරණි උළු සහ මැටි බඳුන්වල කොටස් මෙම භූමියෙන් හමුවී තිබේ.
එසේම, පුරාවිද්‍යා භූමිය අවට හෙක්ටයාර නවදහසක පමණ විශාල රක්ෂිත ප්‍රදේශය තුළ, නටබුන් වී ගිය වැව් 11 ක සාධක ඇති බවත්, ඒ අනුව, එකළ මෙම සංකීර්ණය කේන්ද්‍ර කරගත් විශාල ජනාවාස පැවති බව විශ්වාස කළ හැකි බවත්, පුරාවිද්‍යා නිලධාරීන්ගේ මතය වී තිබේ.
- "පරුමුක පුශමිත පුතශ මහා ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ" - ප්රමුඛ පුශමිතගේ පුත්‍රයාගේ මහා ලෙන පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාටය
- "මහ ශමුද පුත ලෙනෙ ශගශ පරුමක පුත මහ ගුතහ ලෙනෙ" - මහා සමුද්‍රගේ පුත්‍ර ගුතගේ ලෙන සංඝයාට, ප්රමුඛ බමදතගේ පුත්‍ර මහගුතගේ ලෙනයි
යනුවෙන් සටහන් ශිලා ලිපි දැනටත් මෙහි දක්නට ලැබෙන බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
ඊට අමතරව පර්වත මුදුනෙහි ස්ථූප දෙකක් තිබී ඇති බවත්, නිදන් හොරුන්ගෙන් සිදුවූ විපත් හේතුවෙන් සහ ස්වභාවික හේතු නිසා ඒවා විනාශයට පත්ව ඇති බවට ද වාර්තා පවතින බව ඔවුහු ප්‍රකාශ කරති.
මෙම ශිව කෝවිල පවත්වාගෙන යන පුද්ගලයන් එම ස්ථූපවල ගඩොල් ගලවා පසෙක ගොඩගසා ඇති බවත් නම හෙළිකිරීමට අකමැති වූ පුරාවිද්‍යා නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
පුරාවිද්‍යා ආඥා පනතේ විධි විධාන ප්‍රකාරව පුරාවිද්‍යා භූමියක් තුළ නව කෝවිලක් සකස් කිරීමට අවසර දිය නොහැකි බව පුරාවිද්‍යා නිලධාරියෙක් පැවසීය.
අගෝස්තු 21 වෙනි දින මේ සම්බන්ධ විරෝධතාවට එක්වූ පිරිස පැවසූවේ, අදාළ භූමිය තුළ පැරණි ශිව කෝවිලක් පැවති නමුත්, වර්තමානයේදී පුරාවිද්‍යා බිමක් ලෙස පවසා වන්දනාමාන වෙනුවෙන් අවසර ලබා නොදෙන බවකි.
වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්, ශිවශක්ති ආනන්දන්, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි සෂිදරන්, උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් සහ උතුරු පළාත් සභා මන්ත්‍රී ජි ටී ලිංගනාදන් ඇතුළු පිරිසක් ඉරිදා මෙම ගැටලු සහගත ස්ථානය නිරීක්ෂණය කිරීම පිණිස පැමිණ සිටියේ මේ තත්වය යටතේ ය.
පුරාවිද්‍යා ස්ථානය නිරීක්ෂණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්, දෙමළ ජනතාවගේ පාරම්පරික භූමිය තුළ දෙමළ ජනතාවට කෝවිලක් ඉදිකිරීමට අවසර ලබානොදීම තරයේ හෙළා දකින බවත්, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.
මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් එළිපෙහෙළි කිරීමේදී ගම්වාසීන් ඊට බාධා කිරීම නිසා තාවකාලිකව එය අත්හැර දැමීමට සිදුවූ පුවතක් ද බීබීසී සිංහල සේවය පසුගියදා වාර්තා කළේය.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව ශ්‍රී ශෛලබිම්බාරාමාධිපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර නාහිමියන්ගෙන් කළ විමසීමේදී, උතුරු පළාතේ පැරණි බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන රැසක් මේ වනවිට විවිධ පුද්ගලයින්ගේ බලපෑම් මත බෞද්ධයින්ට අහිමිවීමේ තත්වයක් උද්ගතව ඇති බව පැවසූහ.
"ඒක, පසුගියදා ඔඩ්ඩුසුඩාන් පුරාවිද්‍යා භූමිය පිරිසිදු කිරීමට යාමේදී ඇති වූ ප්‍රශ්නයෙන් සහ නෙඩුන්කේනි වෙඩුක්කුනාරි පැරණි බෞද්ධ ආරාම සීමාවේ කෝවිලක් ඉදිකිරීමේ ගැටලුව තුළින් පැහැදිළි වෙනවා," එහිමියෝ පැවසූහ.
"මේ ගැටලු සාමාන්‍ය වැසියන් හා දේශපාලන නායකයින් මැදිහත්වෙලා විසඳන්න බෑ. මේවා ගැන හොයා බලා පුරාවිද්‍යා නිලධාරීන් නිරවුල් තීරණයක් දෙන්න ඕනේ. නැත්නම් නැවත මේ ගැටළු තුළින් ආගම්වාදී, ජාතිවාදි ගැටලු පැණ නඟින්න පුළුවන්."
පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට පුරාවිද්‍යා නිළධාරීන් හා රජය මැදිහත්වී නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද, ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජෙනරාල් පී බී මණ්ඩාවලගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ඔහු කියා සිටියේ, වෙඩුක්කුනාරි පුරාවිද්‍යා ස්ථානයේ කෝවිලක් ඉදිකිරීමට යාම සම්බන්ධයෙන් ගැටළුවක් තමා වෙත ඉදිරිපත් වී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් වවුනියාව පුරාවිද්‍යා කාර්යාලයේ නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් සමඟ සාකච්ජා කොට විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වන බවය.