ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහවැලි එල් කලාපය: නැවත පදිංචි කිරීම පිළිබඳ මතුවූ ගැටලුව කුමක්ද?
මහවැලි එල් (L) කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නවතා දමන ලෙසට ඉල්ලීම් කරමින් පිරිසක් පසුගිය 28 වෙනිදා මුලතිව් නගරයේදී විරෝධතාවක නිරත වූහ.
මහවැලි එල් කලාපය ලෙස නම් කරමින් වැලිඔය ප්‍රදේශයේ සහ මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඔවුන්ගේ චෝදනාව විය.
මහවැලි සංවර්ධනය කිරීම් යටතේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම නවතා දමන ලෙස ද විරෝධතාකරුවෝ එහිදී ඉල්ලා සිටියහ.
මේ පිළිබඳ බීබීසී සිංහල සේවය එම විරෝධතාව මෙහෙයවූ උතුරු පළාත් සභා මන්ත්‍රී ටී රවිහරන්ගෙන් කළ විමසීමේදී, තමන් විරෝධතා දක්වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි, වැලිඔය - නාමල්පුර, හැලඹ වැව, කල්‍යාණපුර 02 ගම්මානය හා මහවැලි එල් කලාපය වෙත පවරා ගත් බෝගස් වැව, සැළලිහිණිගම, නාමල්ගම, නන්දිමිත්‍රගම ආදි ගම්මාන සම්බන්ධයෙන් බව ප්‍රකාශ කළේය.
මහවැලි එල් කලාපය
මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මහවැලි එල් කලාපයේ හෙක්ටයාර් 48 000 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට මහවැලි සංවර්ධන අධිකාරිය ඇස්තමේන්තු කර තිබේ.
අදාළ කලාපය උතුරු මායිමෙන් මුලතිව් නගරය ද, දකුණු මායිමෙන් කැබිතිගොල්ලෑව ද, නැගෙනහිර මායිමෙන් පුල්‍මුඩේ හා බටහිර මායිමෙන් නෙඩුන්කේනි දක්වා ද විහිදී තිබෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහවැලි එල් කලාපය භාර ප්‍රාදේශීය කළමණාකාර එච්.කේ.පී. ජයනාථ පැවසීය.
"නමුත් වර්තමානයේ මහවැලි එල් කලාපය යටතේ සංවර්ධනය වන්නේ වැලිඔය හා බෝගස් වැව කලාප පමණයි."
"පැරණි දෙමළ ගම්මාන"
ඉහත ව්‍යාපෘතිය යටතේ දැනට පවුල් 3000 ක් පමණ පදිංචි කර ඇති බව රවිහරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
මේ ඉඩම්වල අයිතිය දෙමළ ජනතාවට තිබෙන බවට සාක්‍ෂි තිබේද? එසේනම් ඒ මොනවාදැයි බීබීසී සිංහල කළ විමසීමට පළාත් සභා මන්ත්‍රීවරයා පැවසුවේ, "අදාළ ඉඩම් පැරණි දෙමළ ගම්මාන. පැරණි දෙමළ ජනපද තිබිලා තිබෙනවා," යනුවෙනි.
කෝකිලායි ගම්මානවල සිංහල පවුල් වෙනුවෙන් ඉඩම් බලපත්‍ර ලබාදී ඇති නමුත්, දෙමළ ජනතාව වෙනුවෙන් එසේ ලබාදී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
"බෝගස් වැව කලාපය හා වැලිඔය කලාපය තුළ නව සිංහල පවුල් පදිංචි කිරිම කියන කාරණා තමයි තමයි මේ ගැටලුවට මූලික වි තිබෙන්නේ."
අදාළ ප්‍රදේශවල ජනතාවට බීමට පවා ජලය නොමැති අවස්ථාවක රජය මහවැලි සංවර්ධන වැඩසටහන් දියත් කිරීම විහිළුවක් බව ද හෙතෙම සදහන් කළේය.
"නව පදිංචි කිරීම්"
බෝගස් වැව නැවත පදිංචි කිරීම් කරන අතරතුර නව පදිංචි කිරීම් ද සිදුකොට තිබෙන බව මහවැලි අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු පවසයි. මෙහිදී යුද්ධය හේතුවෙන් මුල් පදිංචි ඉඩම් හැරගිය පිරිස් හා ඉඩම් අහිමි පිරිස් වෙත මූලිකත්වය ලබාදී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
"පසුගියදා පැවැත්වු විරෝධතාවයට ප්‍රධාන හේතුවවුණේ, මුලතිව් කෝකිලායි ප්‍රදේශයේ ධිවර පවුල් 08 ක් වෙනුවෙන් වාර්ෂික ඉඩම් බලපත් ලබාදීමේ ගැටලුවක්."
"දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන නෑ. රජයේ අනුමැතිය යටතේ සිංහල ජනතාව පදිංචිව සිටි පැරණි ගම්මානවල නැවත පදිංචි කිරීම් සිදුකරලා තිබෙන්නේ," මහවැලි එල් කලාප කළමනාකරු පැවසීය.
අඟහරුවාදා (28) පැවති විරෝධතාවට උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුහු මුලතිව් නගරයේ වීදි පුරා ගමන් කරමින් විරෝධතාව පළ කළහ.
සබැඳි පුවත්: