ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඒ.ජා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව ගැන සමාලෝචනයක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය යටතේ ශ්‍රී ලාකාව සම්බන්ධයෙන් කරනු ලැබූ සමාලෝචනයේ අවසන් වාර්තාව සඳුදා (මාර්තු 19) සම්මත කර ගෙන තිබේ.
ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 37 වෙනි සැසිවාරයේ දී මෙම අවසන් වාර්තාව සම්මත කර ගනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ එහිදී අදහස් පළකරමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය නොවැම්බරයේ පැවති ඉතා වැඩදායක සංවාදයේදී ශ්‍රී ලංකාවට ලැබුණු නිර්දේශ 253 න් නිර්දේශ 177 ක් ශ්‍රී ලංකාව පිළිගත්තේ ස්වේච්ඡාවෙන් දෙන ලද ප්‍රතිඥා 12 ක්ද සමගින් බව පෙන්වා දුන්නේය.
ඉකුත් වසරේ නොවැම්බරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමාලෝචන සිදු කළ තැන සිට ගෙවුණු මාස කීපයේ ශ්‍රී ලංකාව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය දැනුවත් කළේය.
ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රගතිය වාර්තා කළ නිර්දේශ කීපයක් මෙසේය.
- 2017 දෙසැම්බර් 05 වෙනි දින, වධහිංසාවලට එරෙහි සම්මුතියේ වෛකල්පික මූලලේඛයට ශ්‍රී ලංකාව එක්වූ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය ජාතික නිවාරණ යාන්ත්‍රණය වශයෙන් නම් කිරීම
- සියලු පුද්ගලයන් බලෙන් අතුරුදන් කරවීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත 2018 මාර්තු 07 වෙනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම. මෙමගින් බලෙන් අතුරුදන් කරවීම ශ්‍රී ලංකාවේ සාපරාධී අපරාධයක් බවට පත් වන බව
- අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කරනු ලැබූ නිර්දේශ මත පදනම්ව 2018 පෙබරවාරි 28 වෙනි දින ජනාධිපතිවරයා අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් පත්කොට එය පූර්ණ වශයෙන් ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම. 2018 ජාතික අයවැයෙන් අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.4 ක් එනම් ඇමෙරිකානු ඩොලර් 9 ක් වෙන් කර ඇති බව
- නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමේ කටයුත්තෙහි ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව. මානව හිමිකම් ආරක්ෂණවලට සහ සෙසු ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලවන ත්‍රස්ත විරෝධී පනතක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් දේශීය භාෂාවලට පරිවර්තනය කිරීම ආදී ක්‍රියාදාම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ සලකා බැලීම පිණිස සභාගත කිරීම සඳහා ගැසට් නිවේදනයක් ඉක්මනින්ම ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව.
- හානිපූරණ කාර්යාලයක් නීතියෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය නීති පද්ධතිය නීති කෙටුම්පත් සම්පාදකවරයා ලවා සකස් කරවීමේ කාර්යයට අමාත්‍ය මණ්ඩලය 2018 මාර්තු 06 වෙනි දින සිය අනුමතිය ලබා දී ඇති බව
- ශ්‍රී ලංකාවට 2017 දෙසැම්බර් 13 වෙනි දින පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට (ඔටාවා සම්මුතිය) එක්වීමත්, 2018 මාර්තු 01 වෙනි දින පොකුරු අවි පිළිබඳ සම්මුතියට එක්වීම
ඊට අමතරව කාන්තාවන්ට පළාත් පාලන ආයතනවල වැඩි නියෝජනයක් ලබාදෙමින් 2018 පෙබරවාරි 10 වෙනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන්ට 25% ක කෝටාවක් ලබාදෙන නීතිය ක්‍රියාත්මකවී වාර්තාගත කාන්තාවන් සංඛ්‍යාවක් පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ බව ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ පැවසුවේය.
ඊට අමතරව මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන ද ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා සභාව දැනුවත් කළ අතර "සමහර සංවිධානය වූ කණ්ඩායම් සහ තනි පුද්ගලයන් විසින් උසිගන්වනු ලැබූ මෙම බියගුලු ක්‍රියාවලට අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී, බහුවිධ සමාජයේ තැනක් නැත" යනුවෙන් ද පැවසුවේය.
වින්දිතයන්ට වන්දි පිරිනැමීමේ ක්‍රියාවලි දැනටමත් ආරම්භ වී ඇති අතර වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම් ද සිදු වී තිබෙන බව නිත්‍ය නියෝජිතවරයා පැවසීය.
ජනතාව උසිගන්වා වෛරී සහ සාවද්‍ය ප්‍රචාර පැතිරවීමට පමණක් නොව ප්‍රහාර සංවිධානය කිරීමට ද සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල පණිවිඩ සේවා ප්‍රයෝජනයට ගන්නා බව හෙළිදරව්වීමෙන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තාවකාලික සීමා පනවන්නට රජයට සිදු වූ බව පැවසූ ඔහු ඒ සියලු සීමා දැන් ඉවත් කර තිබෙන බව සඳහන් කළේය.
2018 මාර්තු 06 වෙනි දින රජයට පනවන්නට සිදුවූ හදිසි අවස්ථා රෙගුලාසි 2018 මාර්තු 17 වෙනි දින ඉවත් කරන ලද බව ද ඔහු සභාවට දැනුම් දුන්නේය.
"මේ සිත කළඹවන සිදුවීම් අතරේ සිතට දිරි ගෙන දුන් දෑ වූයේ එකිනෙකාගේ උදව් පිණිස ඉදිරිපත් වූ මගේ රටේ සාමයට ලැදි මිනිසුන්ගේ දයාවෙන් පිරුණු ක්‍රියා, එකමුතුබව සහ සාමය වෙනුවෙන් මහජනතාව කළ ආයාචනා සහ වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව පූජ්‍ය/පූජක පක්ෂය, ප්‍රජා නායකයන්, ක්‍රීඩකයන්, කලාකරුවන් සහ සංගීතඥයන් ආදී සමාජයේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයන් විසින් වෛරය හා ප්‍රචණ්ඩත්වය හෙළාදකිමින් කරන ලද ප්‍රකාශ යනාදියයි" යනුවෙන් පවසමින් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා මහනුවර ජාතිවාදී ගැටුම් ගැන සිය ප්‍රකාශය අවසන් කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් යාවත්කාලීන ලිඛිත වාර්තාවක් 2018 මාර්තු 21 වෙනි දින කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මාර්තු මස 21 වෙනි දින පැවැත්වෙන කවුන්සිලයේ 37 වෙනි සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරු ඇතුළත් වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
වෙනත් පුවත්: