ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යාපනය: “හමුදාව යටතේ වූ සියලු පාසල් නැවත භාර දී අවසන්”
හමුදාව ස්ථානගතව සිටි ස්ථානවල පිහිටි යාපනයේ පාසල් "සියල්ල යළි භාර දී අවසන්" බව හමුදාව පවසයි.
ඔවුන් පවසන පරිදි එය සම්පුර්ණ කෙරුණේ වසර තිහකට ආසන්න කාලයක් ආරක්ෂක අංශ භාරයේ පැවති යාපනය මයිලඩි කලයිමගල් විද්‍යාලය පසුගිය බ්‍රහස්පතින්දා (සැප් 06) යළි පවරා දීමෙනි.
මේ අනුව යාපනය ප්‍රදේශයේ කිසිදු පාසලක් තවදුරටත් හමුදාව භාරයේ නැති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බීබීසී සිංහල සේවයට පැවසීය.
කෙසේවෙතත්, උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එස් සත්‍යසීලන් සඳහන් කළේ පලාලි හි පිහිටි සිත්තිවිනායගර් විද්‍යාලය මෙන්ම පලාලි ගුරු පුහුණු විද්‍යාලය තවමත් නිදහස් කොට නැති බවය.
මීට ප්‍රතිචාර දක්වමින් හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ එම ගොඩනැගිලි පරිශ්‍ර පලාලි ආරක්ෂක සේනා මුලස්ථානය හා එහි මායිමේ පිහිටි බැවින් නිදහස් කළ නොහැකි බවය.
"මේවා වසර 30 - 35 ක කාලයක් භාවිත නොවූ ගොඩනැගිලි."
"2015 වසරෙන් පසු පලාලි ආශ්‍රිත ප්‍රදේශයේ පමණක් පාසල් 06 ක් බාරදී තිබෙනවා, ඒ අනුව මේවන විට අප සියලුම පාසල් බාරදී අවසන්," යැයි බ්‍රිගේඩියර්වරයා කියා සිටියේය.
මයිලඩි විද්‍යාලය යළි පවරා දීමට පියවර ගැනුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේ කළ සංචාරය අතරේදී මයිලිඩි කලෙයිමගල් විද්‍යාලය නැවත පවරා දෙන බව පැවසීමෙනි.
ඒ අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා එම පාසල යළි පවරා දෙනු ලැබිණි.
එම අවස්ථාවේදීම, ආරක්ෂක අංශ පවරාගෙන තිබූ යාපනය ජනතාවගේ ඉඩම් අක්කර 4.4 ප්‍රමාණයක් ද යළි පවරාදෙනු ලැබිණි.
යාපනය මයිලිඩි, කුරුම්බසිඩ්ඩි, ආනෙයිකෝට්ටෙයි ප්‍රදේශවල ජනතාවට අයත් මුල් ඉඩම් එළෙස නැවත පවරා දුණි.නි.