යාපනය කල්වියන්කාඩු හි මිනිස් අස්ථි හමුවීම පරීක්ෂාවට අධිකරණ අවසරය

BBC

යාපනය, කල්වියන්කාඩු ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් සකස් කිරීමේදී පොළව යට තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවූ ස්ථානය පිළිබඳ පරීක්ෂණ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අඟහරුවාදා (24) ආරම්භ කළ බව යාපනය පොලිසිය පවසයි.

අදාළ අස්ථි කොටස් හමුවු ස්ථානය යාපනය මහේස්ත්‍රාත් සින්නදුරෙයි සදීශ්කරන් මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබූ අතර, මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ යාපනය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් මයුරන් මහතාගේ මූලිකත්වයෙන් යාපනය පොලිසිය ස්ථානීය පරීක්ෂා ආරම්භ කළ බව පොලීසිය පවසයි.

යාපනය ප්‍රදේශයට ජලය රැගෙනයාමට ජල නළ ව්‍යාපෘතියක් සකස් කිරීමට පොළොව කැනීමේදී කල්වියන්කාඩු ප්‍රදේශයේ තිබී පසුගිය 20 වෙනිදා පළමුවරට අස්ථි කොටස් හමුවු බව යාපනය පොලිසිය පැවසීය.

කල්වියන්කාඩු

ඡායාරූප මූලාශ්‍රය, Google

පොළොවේ අඩි තුනක් පමණ ගැඹුරින් අදාළ අස්ථි කොටස් හමුවි ඇති බවද යාපනය ආරක්ෂක අංශ සදහන් කරති.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වෙත කරුණු වාර්තා කිරීමට ජල නළ ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කිරීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරිණි.

BBC
BBC

මීට පෙර යාපනයේ සමූහ මිනිවලක් හමුවූ චෙම්මනි ප්‍රදේශය ද පිහිටා ඇත්තේ කල්වියන්කාඩු සිට මද දුරකිනි.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති දැරියක් 1996 අගොස්තු මාසයේදී අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් ‍ගොනු කළ නඩු විභාගයකදී ඉදිරිපත් වු සාක්ෂි මත යාපනය චෙම්මනි ප්‍රදේ‍ශයේ සමූහ මිනිවලක් සොයා ගත් අතර 1999 වර්ෂයේදී අදාළ ස්ථානයෙන් මිනිස් සිරුරු 15 ක කොටස් සොයා ගනු ලැබීය.

එනමුත් කල්වියන්කාඩුවල පසුගිය දින සොයා ගන්නා ලද අස්ථි කැබලි එවන් සමූහ මිනිවලකට කොටසක්දැයි තවම තහවුරු වී නොමැත.

සබැඳි පුවත්: