මන්ත්‍රී සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාරයට, විමල් සහ ජයන්තට නොතීසි

මන්ත්‍රී සනත් නිශාන්තගේ ඇප අවලංගු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Sanath Nishantha FB

ඡායාරූප ශීර්ෂ වැකිය, මන්ත්‍රී සනත් නිශාන්ත සහ සොහොයුරා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සහෝදරයාගේ ඇප අවලංගු කිරීමට හලාවත මහාධිකරණය සඳුදා (මාර්තු 19) තීරණය කළේය.

ඒ අනුව මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරු, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන දෙදෙනා මැයි මස 24 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් ද විනිසුරු එම්සීබීඑස් මොරායස් නියෝග කළේය.

ඔවුන් දෙදෙනාගේ ඇප අවලංගු කිරීමට ප්‍රධාන හේතුව ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තරංග දිසානායක සඳහන් කළේය.

සෑම ඉරු දිනකම පෙරවරු නවයත් දොළහත් අතර හලාවත පොලිසියේ පෙනී සිටින ලෙස ඔවුන්ට ඇප ලබා දෙමින් හලාවත මහාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබී ඇත.

එහෙත් පසුගිය සමයේ ඔවුන් දෙදෙනාම එම ඇප කොන්දේසිය උල්ලංඝනය කර ඇති බව හලාවත පොලිසිය විසින් හලාවත මහාධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව විනිසුරු වරයා ඉහත නියෝගය නිකුත් කර තිබේ.

මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පැවති උද්ඝෝෂණය
ඡායාරූප ශීර්ෂ වැකිය, මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පැවති උද්ඝෝෂණය

2008 වසරේ නොවැම්බර් මස 24 වන දින එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වරයාව සිටි ධනසේන සුරසිංහට පහර දීම, රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.

මේ අතර නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර වරෙන්තු නිකුත් කළේය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නීති විරෝධී ලෙස රැස්වී මාවත් අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කුරුඳුවත්ත පොලිසිය මගින් කරුණු වාර්තා කර තිබිණ.

සඳුදා (මාර්තු 19) එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නඩුවේ සැකකරුවන් ලෙස නම්කර තිබෙන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර මන්ත්‍රීවරු දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටියහ.

සෙසු සැකකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සෙනෙවිරත්න ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඔවුන්ට යළි ජූනි මස 12 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියම කරනු ලැබිණ.

විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර මන්ත්‍රීවරුන් අඟහරුවාදා (මාර්තු 20) අධිකරණය වෙත භාරදීමට නියමිත බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

පසුගිය පුවත්: