මම මෛත්‍රීගේ නායකත්වයට තවමත් විරුද්ධයි - මන්ත්‍රී සනත් නිශාන්ත

ඡායාරූප මූලාශ්‍රය, Mahinda Amaraweera
පක්ෂ විනය කඩ කරන සාමාජිකයන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීම ආරම්භ කරමින් පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගෙන තිබේ.
ඊයේ රාත්‍රියේ රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එම තීන්දුව ගන්නා ලද බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් සංදේශය කළ විමසීමේ දී ඔහු කියා සිටියේ පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ රැස් වී පක්ෂය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ කීපයක් ගත් බවයි.
"පක්ෂයට හානි කරන අයුරින් හා පක්ෂ නායකත්වය විවේචනය කරමින් පසුගිය කාලය පුරාම කටයුතු කළ මන්ත්‍රීවරුන් පිළිබඳ සොයා බැලීමට නීති විශාරදයන්ගේ කමිටුවක් පත් කිරීමටත් කටයුතු කළ බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.
විනය මණ්ඩලයට අතිරේකව මෙම කමිටුව පත් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
එම කමිටුවේ අය සොයා ගෙන යනවා පසුගිය කාලය පුරා පුවත්පත් වාර්තා අනුව පක්ෂයේ සාමාජිකයන් විනය විරෝධී කටයුතු සිදු කරලා ඇත්නම් ඒ අයට එරෙහිව අපි කටයුතු කරනවා. මේක කිසිම පුද්ගලික හේතු මත කරන එකක් නොවේ. " එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේය.
'අපි මේ පක්ෂයේ ලේ උරුමක්කාරයො'
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කළ බව මෙතෙක් කිසිවෙකු විසින් දැනුම් දී නොමැති බව පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත බීබීසී සංදේශය සමග පැවසීය.
"මගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. අපි උපන් ගෙයි ශ්‍රී ලංකා කාරයෝ. ඒ වගේම අපි මේ පක්ෂයේ ලේ උරුමක්කාරයො කියලයි මම කල්පනා කරන්නේ. ඒ නිසා කාටවත් මේ පක්ෂයෙන් මාව අයින් කරන්න බැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ අයිතිකාරයෝ. අපි පක්ෂයෙන් එහාටයි මෙහාටයි පැනපු අය නෙමෙයි." පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අදහස් පළ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
තමාව පක්ෂයෙන් ඉවත් කළොත් ඊට එරෙහිව අධිකරණය වෙත යන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන්නේ පක්ෂයේ නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමි වීම තමන් පිලි නොගන්නා බැවින් යැයි පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ එම චෝදනාව සත්‍ය බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සමග ඇති සම්බන්ධතා නවතා දමා සිය පක්ෂයේ නායකයා ලෙස පක්ෂ සාමාජිකයන් සමග ආණ්ඩුවක් පිහිට වූ දිනයට සිය සහයෝගය ඔහුට හිමි කර දෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසන්නේ.
මේ අතර පළාත් පාලන මැතිවරණයේ සම්මුඛ පරීක්ෂණ ලිපි ගොනු ගිනි තැබූ හිටපු පළාත් පාලන සභිකයන්ට එරහිව ද විනය ක්‍රියාමාර්ගය ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.








