ඒකාබද්ධ විපක්ෂයත් එජාප කැරලිකරුවන්ට එක් වෙයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
බීබීසී සිංහල සේවය සමග 'ෆේස්බුක්' ඔස්සේ සිකුරාදා (මාර්තු 02) ලන්ඩන්යේ BBC මූලස්ථානයේදී සජීවී සංවාදයකට සහභාගී වූ මන්ත්‍රීවරයා, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා දැනටමත් අත්සන් එකතු කර ඇති අතර එයට සහයෝගය දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව ඇති බව සඳහන් කළේය.
එම විශ්වාසභංග යෝජනාව සකස් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් එවැනි යෝජනාවක් සඳහා යොමුවීමට පෙර බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති නව පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කොටසක් වන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් විමසීමක් කළ විට "තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වන අතර, පළාත් පාලන මැතිවරණයේ දී පුළුල් සන්ධානයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිටතට පැමිණි" බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පිළිතුර විය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කොටසක් නම් එම නව පක්ෂය අනාගතයේ විසුරුවා හරිනු ලබන සංක්‍රාන්තික සංවිධානයක්දැයි විමසූ විට එම නව පක්ෂය දැන් විශාල මහජන සහයෝගයක් සහිත හෙයින් තත්ත්වයේ වෙනසක් සිදුව ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එබැවින් නව පක්ෂය විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මේ අතර "ආහාරවලට වඳ පෙති මිශ්‍ර කළ බවට" පැතිර ගිය රාවයක් හේතුවෙන් පසුගිය 26 වෙනිදා අම්පාර ප්‍රදේශයේ හටගත් උණුසුම් තත්ත්වය සහ පසුගියදා තඹුත්තේගම ගොවීන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එම ගැටුම් සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුවට පැවරෙන බව කියා සිටියේය.
සබැඳි යොමු:









